මාඕ ත්සේතුං  174

 

 

1960 වසරේ ශීත ඍතුව රට දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ඇද දමූ ඉතාමත් දරුණුතම එකක් විය. දිවා කාලය ඉතාමත් කෙටිවීම නිසා, නිවසට එන්නට මෝටර් රථයක් යැවීමටත් නොහැකිවිමෙන්, ලී නේට විශ්ව විද්‍යාලයේ සිට නිවසට එන්නට සිදුවූවේ සති දෙක තුනකට වරක් පමණි. ඇගේ සොයුරිය ලී මින් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නිවසට වී සිටියද ලී නේ විශ්ව විද්‍යාලයේ රැඳී සිටියාය.


දිනක් මම අපේ ශරීර ආරක්ෂකයින්ගෙන් කෙනෙක් වූ යින් ජින්ග්ෂෙන් ඇය බලන්නට පිටත්කර හැරියෙමි. ගැහැනු ළමයාගේ පෙනුම සුදුමැලි විය. ඇය අසනිපයෙන් දැයි යින් ඇසු විට කිසිවක් නොකියා ටික වේලාවක් ඇද පැද සිට රහසක් කියන්නාක් මෙන් ඇය ඔහුට මෙසේ කීවාය. “ඔයාට ඇත්තම කියනවා නම් අංකල් යින් මම ඉන්නේ සෑහෙන බඩගින්නෙ.”


යින් ආපසු පැමිණ මට මේ ගැන කියු විට ඇය වෙනුවෙන් යමක් කරන්නට මම තීරණය කළෙමි. උතුරු ෂෙන්සිහි ගතකළ දුෂ්කර කාලයේදී අප දෙදෙනා අතර සෙනෙහසේ බැඳිමක් ඇතිවිය. කළු සෝයා හැරෙන්නට වෙනත් අහරක් ගැනීමට ඇයට නොහැකිවිමේ මතකය මෙන්ම ඒ සියලු දුක් දරාගෙන ඇය අප වෙනුවෙන්ම බීජිං ඔපෙරා ගිත ගයමින් ඇය අප පිනවන්නට උත්සාහ කිරීමත් ඒ කාලයේ මා ඇයට සමීපවෙන්නට හේතුවිය. මම කිසිවෙකුටවත් නොදැනෙන්නට නිහඬව ඇයට විස්කෝතු පාර්සලයක් රැගෙන ගියෙමි.


පාර්සලය විවර කර බැලූ ඇය කිසිවෙක් හෝ මෙය නුදුටු බවට සැකහැර දැන ගැනීමේ අරමුණින් රහසින් මෙන් වටපිට සෝදිසිකර බැලුවාය. අනතුරුව විස්කෝතු දෙකක් ගෙන මුව තුළට තල්ලුකර ඉක්මනින් ඒවා විකන්නට වූවාය. ඇය දෙස බලා සිටි මට ඇතිවුවේ දැඩි කනගාටුවකි. එහි තිබුණේ විස්කෝතු ටිකකි. නමුත් ඇය ඒවා කෑවේ ඉතා රහසිගත ලෙසිනි. ඇය ඉතිරි විස්කෝතු ඉතා සුරක්ෂිත තැනක තැබුවාය. ඇයට ඒවා ඉතාමත් රසවත් විය. එනිසා එකවර අවසන් නොකර ළඟ තබාගෙන වරින් වර කෑමට ඇයට උවමනා විය. “සේරම කන්න. මම තවත් ගෙනත් දෙන්නම්.” මම ඇයට පැවසුවෙමි. 


ජියැන්ග් කුයින්ට මේ ගැන දැනගන්නට ලැබුණු විට ඇය මට නොසෑහෙන ලෙස දොස් පැවරුවාය. නමුත් මමත් ඒවාට පෙරළා උත්තර දුන්නෙමි. පසුගිය සමයේ මෙන් ඇය සමග ආරෝවක් ඇතිවේද යන බියක්ද මට ඇතිවිය. කෙසේ වෙතත් අනිත් ශරීර ආරක්ෂකයින්ට මෙන් ඇය මට තදින් කතා නොකළාය. නමුත් මා කළ දේ ඇය මාවෝට කීවාය. මාවෝ මට කතා කළේය.


“මම තමුන්ට කී වරක් නම් කියලා තියෙනවද කිසිම විශේෂ වරප්‍රසාද ගන්න එපා කියලා?.”මාවෝ කිවේ කේන්තියෙනි. 


“ඒත් අනිත් ළමයි ගෙවල් වලින් අමතර කෑම ගේනවා....”මම ගොත ගසමින් පැවසුවෙමි. මොනතරම් තරහ ගත්තත් ජියැන්ග් කුයින්ට මා බියගන්වන්නට නොහැකි වුවත් මාවෝ ට ලේසියෙන්ම එය කළ හැකිවිය.
“ඔවුන්ට පුළුවන්. නමුත් මගේ දුවට බෑ!. අමතරකෑම එයාට ගන්න බෑ. එක විස්කෝතුවක්වත් බෑ.” මේසයට අතින් පහරක් දෙමින් ඔහු මේ ටිකද එයට එක් කළේය. “එයා මාවෝ ත්සේතුංගේ දුව.!”


තවත් යමක් කියන්නට මට ධෛර්යය නැතිවිය. එතැන් සිට ලී නේ ට මගෙන් තවත් නම් දේ නොලැබුණි. එදින මම නිවසට පැමිණි විට සිදුවුණු දේ ගැන මගේ බිරිඳට පැවසුවේ මාවෝ ට ඒ කතාව කිම ගැන ජියැන්ග් කුයින් විවේචනය කරමිනි. නමුත් ජියැන්ග් කුයින් නිවැරදි බව මගේ යටි සිත දැන සිටියේය. මොන දේ වුවත් ලී නේ ඇගේ දියණියයි.


මේ සිදුවිමෙන් වැඩි දවසක් යන්නට පෙර එක් සෙනසුරාදාවක ලී නේ ආපසු නිවසට පැමිණියාය. යින් ජින්ග්ෂෙන් මාවෝට තේ පිළියෙල කරමින් සිටින අතරවාරයේ මේ ගැන ඔහුට කීවේය. “සභාපති සහෝදරයා, ලී නේ ඇවිත්. ඔබතුමා අද එයත් එක්ක රෑ කෑම ගන්නවද? මොකද සති කිහිපයකට පස්සෙනෙ එයා ගෙදර ආවේ.”


මාවෝ ඉතා කාරුණික ලෙස ඔහු වෙත කෘතවේදි බැල්මක් හෙළමින් මෙසේ කීවේය. “ඔව්. ඒක හොඳ අදහසක්.”


මේ ගැන කියන්නට ජියැන්ග් කුයින් කරා දිව ගිය යින් තරමක් පසුබා සිට පහත් හඬින් ඇය ඇමතීය. “අමතර බතුයි, එළවළු තෙලුයි එක්ක රහට කෑමක් හදන්න.”


මාවෝ ගේ නිවසේ කෑම ගන්නා කාමරයක් නොවීය. ඔහුගේ නිදන කාමරයේ හෝ ඔහුගේ කන්තෝරු කාමරයේ හෝ සිට ශරීර ආරක්ෂකයින් ඔහුට ආහාර රැගෙන එන බාස්කට් එකෙන්ම ඔහු ආහාර ගත්තේය. එදින කෑම වර්ග හතරක් සහ සැර ගම්මිරිස්, මුදවාපු සෝයා කිරි සමග සුප් පිළියෙල කර තිබුණි. 


තමන් පිළියෙල කළ කෑම ගැන අරක්කැමියා කතා කළේ ඉමහත් ආඩම්බරයකිනි. “මම මේ කෑමට හාල් දෙගුණයක් දැම්මා.”

 

 

 

 

 

 

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත