“අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියෙකි. ඔහු සමග සටන් කළ යුතු වන්නේත්, ලෝක සමාජවාදී විප්ලවය සාර්ථක කළ යුතු වන්නේත් පවත්නා සමාජවාදී රාජ්‍ය පද්ධතිය ආරක්‍ෂා කර ගත හැක්කේත් තුවක්කු බටය හරහා පමණකි. 


අධිරාජ්‍යවාදය සමඟ සාමකාමී සහජීවන ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිර්මල මාක්ස් ලෙනින්වාදයට විරුද්ධය එනිසා එම සංශෝධනවාදී අදහස් පරාජය කළ යුතුය.” චීන නායක සභාපති මාඕ ත්සේතුං ප්‍රකාශ කළේය. ඒ මෙයට අඩසිය වසකට එහා අතීතයකදීය. එනම් 1962 දීය. එවකට එකම රතු ධජයක් යටතේ විප්ලවවාදී ගමන් මගක පෙරට ගිය ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ මහ බලවතුන් දෙදෙනා වූ එවකට පැවති සෝවියට් රුසියාව සහ මහජන චීනය අතර පැවති ජාත්‍යන්තරවාදී සහෝදරත්වය මෙම මත ගැටුම හේතුවෙන් අහෝසි වී ගියේය. 


ලොව පුරා කොමියුනිස්ට් පක්‍ෂ කදවුරු දෙකකට බෙදී ගියේය. චීන මතයට එකඟ වූ සියලුම පක්‍ෂ තදින්ම විශ්වාස කළේ තම රටවල සමාජවාදී විප්ලවය ජයගත හැකි වන්නේ මාක්ස් සහ එංගල්ස් ප්‍රකාශ කළ සහ ලෙනින් විසින් ක්‍රියාත්මක කර පෙන්වූ ආයුධ සන්නද්ධ අරගලය මගින් පමණක් බවය. සාමකාමී සහජීවන ප්‍රතිපත්තිය මත අධිරාජ්‍යවාදය සමඟ ගනුදෙනු කිරීමට ගිය සෝවියට් දේශය ප්‍රමුඛ නැගෙනහිර යුරෝපය බිඳවැටී එම මතක සටහන් ඉතිහාසයට එක්වෙද්දී තුවක්කු බටය තුළින් පමණක් සමාජවාදය ආරක්‍ෂාකර ගත හැකියැයි ඇදහූ චීනය. තවමත් ස්වකීය විප්ලවීය අරමුණු සහ ප්‍රතිපත්ති රැක ගනිමින් කටයුතු කරනු දැකිය හැකිය.
සභාපති මාඕ සේතුංගේ අතිශය හිතවත් සමකාලීනයකු සහ සමාජවාදී කොරියානු ජනරජයේ නිර්මාතෘවරයාද වූ කිම් ඉල් සුං පිළිගත් ප්‍රතිපත්තිය වූවේ කිසි විටෙකත් අධිරාජ්‍යවාදයට හිස නොනමා ඕනෑම ගැටුමකට සූදානමින් පසුවිය යුතු බවයි. ඒ සඳහා යුද ශක්තිය දියුණු කළ යුතු බවයි. තුවක්කු බටයේ කාලය ඉකුත්ව ගොස් ඇති නිසා න්‍යෂ්ටික බලය අත්කර ගත යුතු යැයි කිම් ඉල්සුං තම ජාත්‍යන්තර මිතුරන් සමග ප්‍රකාශ කර තිබුණි. චීන - සෝවියට් ආරාවුල නොතිබුණානම් ඔහුගේ යුගයේදීම න්‍යෂ්ටික තාක්‍ෂණය රුසියාවෙන් ලබාගෙන ශක්තිමත් වීමට කිම් ඉල් සුංට හැකියාව තිබුණි. එහෙත් එය සිදු නොවුණි. ඔහුගේ මරණයෙන් පසු බලයට පත් වූවේ කිම් ඉල් සුංගේ පුත් කිම් ජොං ඉල්ය. කොමියුනිස්ට්වාදය තුළ පවුල්වාදයක් පැවතිය හැකිද යන ප්‍රශ්නයක් පැවතියද අධිරාජ්‍යවාදයට එල්ල කරන්නට සූදානමින් ඇති බලවත් තුවක්කු තමන්ටද එල්ලවිය හැකි බව දන්නා “සහෝදරවරු” මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාය මෙයදැයි විමසන්නට නොගියහ. එසේ ප්‍රශ්න කළ අය සිටියානම් නිසැකවම ඔවුන් වළ පල්ලේය. එනිසා කිම් ජොං ඉල්ගේ මරණයෙන් පසු රාජ්‍ය පාලනය ලැබුණේ ගැටවර දඟකාරයෙකු වූ කිම් ජොං උන්ටය. දැඩි කැපවීමෙන් සහ උනන්දුවකින් ක්‍රියා කළ මෙම ගැටවරයා තම රටට න්‍යෂ්ටික බලය ලබා ගැනීමේ අරමුණ ජය ගත්තේය. මෙය ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ දැඩි විරෝධයට හේතුවූවද ඔවුනට කළ හැකි දෙයක් නොවීය “කපන්නට බැරි අත ඉඹිනවා” යැයි කියමනක් තිබේ. දැඩි ප්‍රයත්නයකින් සහ ප්‍රචාරයකින් පසු ඉතිහාසයේ පළමුවරට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර හමුවක් මෙම බදාදා සිංගප්පූරුවේදී සිදුවිය එය ලෝක ජනමාධ්‍යයන්ගේ දැඩි අවධානයට යොමු වූ සිදුවීමක් විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු රාජ්‍යයක් වූ කොරියාව අතිතයේදී හඳුන්වනු ලැබුවේ චෝසන් දේශය නමිනි “හිරු නැගෙන රට” යන අරථය එයින් කියවෙන බව සඳහන් වේ. චීනය හා ජපානය යන රටවල්වල බලපෑම කොරියානු ඉතිහාස පුරා විහිදී පවතී. වරෙක චීනයේ යටත් විජිතයක් වශයෙන්ද තවත් විටක ජපානයේද සමහර විට චීන, ජපන් දෙවර්ගයටමද යටත්ව සිටීමට චෝසත් දේශයට සිදුවූ බව කියනු ලැබේ. 1900 සියවස උදාවන විට එය ජපානය විසින් අල්ලා ගන්නා ලදී. බොහෝ කාලයක් ජපානය පැවතුණේ හුදකලා රාජ්‍යයක් වශයෙනි. කිසිදු විදේශිකයෙකුට ජපන් රටට පැමිණීම තහනම් කර තිබුණි. එය තම රටේ ජාතික ආරක්‍ෂාවට මෙන්ම ආගම සංස්කෘතිය සහ සදාචාරයත් ආරක්‍ෂා කර ගැනීමට ඇති හොඳම මාර්ගය බව එවකට ජපානයේ අධිරාජයා විශ්වාස කළේය. මෙසේ වසර දෙසීයක් තනිව හුදකලා රාජ්‍යයක් වශයෙන් පැවතීම නිසා ආසියාවේ අනෙක් මොනම රටකටවත් නොලැබුණු වාසියක් ජපානයට අත් විය. එනම් සාමයේ ආශිර්වාදයයි. සාමය පවතින රටක් දියුණුවෙන් දියුණුවට පත්වීම ස්වභාවික සංසිද්ධියකි. එමනිසා ජපන් රට තාක්‍ෂණයෙන්, කර්මාන්ත නිෂ්පාදනවලින් සහ ආර්ථික ශක්තියෙන් ආසියානු කලාපයේ අංක එක බවට පත් විය.


මේ වන විට ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් කර්මාන්ත අතින් දියුණු වූවාක් මෙන්ම එම නිෂ්පාදන අලෙවි කිරීමට එම රටවලට වෙළඳපොලක් වශයෙන් යටත් විජිත තිබුණි. බි්‍රතාන්‍යය නිෂ්පාදන සඳහා ඉන්දියාව, කැනඩාව, ඕස්ටේ්‍රලියාව ආදී සුවිශාල රටවල් තිබුණි. ලන්දේසින්ට ඉන්දුනීසියාව, සුමාත්‍රා ආදී කලාපයක් අයත්ව පැවතුනි. පෘතුගීසීන්ට අප්‍රිකාවේ විශාල රටවල් සංඛ්‍යාවක් යටත් විජිත ලෙස අයිතිය තිබුණි. එහෙත් ශක්තිමත් කාර්මික රාජ්‍යයක් වශයෙන් නැගී සිටින විට ජපානයට වෙළඳපොලක් ලෙස මෙන්ම අමුද්‍රව්‍ය නොමිලේ හෝ අඩු මිලට ලබාගැනීමට හෝ යටත් විජිත නොමැතිවීමේ පාඩුව හොදින්ම දැනෙන්නට විය. මේ මොහොතේ ජපන් රටේ අවධානයට යොමු වූයේ නිදහස් චෝසන් දේශය සහ චීන මහා රාජ්‍යයට අයත් ප්‍රාන්තයක් වූ මැංචූරියාවද යන ප්‍රදේශ දෙක වෙතය. ජපානය මෙම ප්‍රදේශ දෙකම අල්ලා ගැනීම නිසා කොරියානු අර්ධද්වීපය ජපානයට අයත් භූමි ප්‍රදේශයක් වශයෙන් පැවතුණි.

 

 

 

මතු සම්බන්ධයි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ.