ලෝකෙට පොලිස්කාරයා වන ඇමෙරිකා එක්සත් ජනපද නායකත්වයෙන් යුත් බටහිර රටවල් වෙනුවෙන් පෙනීසිටින විචාරකයින් සහ ව්‍යාපාරික ජනමාධ්‍ය රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ ලැබූ දේශපාලන ජය අවතක්සේරු කිරීමට, අවඥාවට ලක්කිරීමට නොගන්නා උත්සාහයක් නැත. එය ඔහු බලයට පත්වූ 2000 වසරේ සිට මේ දක්වාම සිදුකෙරේ. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ ඇමෙරිකා බලපෑම් පසෙකලා රුසියාව පාලනය කරන ලෝක දේශපාලනයේ අසහාය නායක ව්ලැදිමීර් පුටින් වෙනුවෙනි.


සෝවියට් සංගමයේ ලෙනින්ග්‍රාඞ් හි දී 1952 වසරේ ඔක්තෝබර් 07 වැනිදා උපන් ව්ලැඩිමීර් ව්ලැඩිමිරීච් පුටින්  2012 වසරේ මැයි 07 වැනිදා සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙසින් රට පාලනය කරමින් සිටින්නේ සුවිශේෂී වූ ජනවරමකිනි. ඊට පෙර එනම් 2000 සිට 2008 දක්වා ජනාධිපතිවරයා ලෙසින් සේවය කළ හෙතෙම, ඉන්පසුව 1999 සිට 2000 සහ නැවතත් 2008 සිට 2012 දක්වා රුසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙසින් සේවය කළේය. අග්‍රාමාත්‍යවරයා ලෙසින් සේවය කළ අවසන් ධුරකාලය තුළදී, යුනයිටඞ් රසියා දේශපාලන පක්ෂයේ සභාපති ලෙසින්ද හෙතෙම කටයුතු කළේය. 


ලෙනින්ග්‍රාඞ් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් නීතිය හැදෑරු ඔහු 1975 දී උපාධිය සම්පූර්ණ කළේය. පුටින් විදේශ බුද්ධි නිලධාරියෙකු වශයෙන් කේ. ජී. බී. සංවිධානයට වසර 16 ක් සේවය කළේය. 1991 දී විශ්‍රාමගත් පුටින් ශාන්ත පීටර්ස්බර්ග් හි දේශපාලන කටයුතුවලට ඇතුළත් විය. 1996 දී මොස්කව් වෙත ගිය පුටින් ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ ආණ්ඩුවට සම්බන්ධ විය. ඉක්මනින් තනතුරුවලින් ඉහළට ගිය පුටින්, යෙල්ට්සින් පදවිය අත්හැරීම නිසා 1999 දෙසැම්බර් 31 වැඩබලන ජනාධිපති බවට පත්විය. 2000 ජනාධිපතිවරණය ඡන්ද සියයට 53 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. 


2004 ජනාධිපතිවරණය ඡන්ද සියයට 72 ක් ලබාගනිමින් ඔහු ජයග්‍රහණය කළේය. ඔහුගේ පළමු ජනාධිපති ධුර කාලයේදී රුසියාවේ ආර්ථිකය වසර තිස්සේ වර්ධනය විය. ඉහළ තෙල් මිල සහ යහපත් ආර්ථික ප්‍රතිපත්ති ඊට හේතුවිය. ව්‍යවස්ථාවෙන් අවහිර කර ඇති නිසා පිට පිට තුන්වන වරටත් 2008 වර්ෂයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පුටින් ට අවස්ථාව නොලැබුණි. 2008 ජනාධිපතිවරණය දිමිත්‍රි මෙද්වදෙව් විසින් ජයග්‍රහණය කරන ලදී. 


2011 සැප්තැම්බරයේදී ජනාධිපති ධුර කාලසීමාව වසර 4 සිට 6 දක්වා දීර්ඝකිරීමත් සමග තමා තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පුටින් නිවේදනය කළේය. 2012 ජනාධිපතිවරණය ඔහු ඡන්ද සියයට 64 ක් ලබාගනිමින් ජයග්‍රහණය කළේය. තෙල් මිල පහළ බැසීම සහ රුසියාව, ක්‍රිමියාව අත්පත් කරගැනීම හා නැගෙනහිර යුක්රේනය තුළ සිදුකළ හමුදා මැදිහත්වීම් නිසා 2014 මුල් කාලයේදී පනවන ලද අන්තර්ජාතික සම්බාධක හේතුකොටගෙන 2015 දී තාවකාලික ආර්ථික පසුබෑම නිමාවට පත් කරමින් 2016 වන විට තරමක සුළු වර්ධනයක් සමග රුසියානු ආර්ථිකය වැඩි දියුණු විය. 2018 මාර්තු මස පැවති ජනාධිපතිවරණයෙන් සියයට 76ක ඡන්ද ප්‍රතිශතයක් සමගින් පුටින් ජයග්‍රහණය කළේය. ඒ අනුව 2024 දක්වා ජනාධිපති ධුරය දැරීමට ඔහුට අවස්ථාව හිමිවූයේය.


පුටින් හිට්ලර් බඳු ඒකාධිපතියකු ලෙස චිත්‍රනය කරන බටහිර ජනමාධ්‍ය ඔහු ඡන්ද ජයගනුයේ මර්දනය, බලහත්කාරය සහ දූෂණ ක්‍රියා මගින් යෑයි කියා සිටී. මෙවර පුටින්ගේ දෙස් - විදෙස් ප්‍රතිවාදීන්ට තවත් අවියක් ලැබිණ. ඒ ඉහළ ජනප්‍රසාදයක් ඇති දේශපාලනඥයෙකු ලෙස බටහිර මාධ්‍ය විසින් හඳුන්වනු ලබන ප්‍රගති පක්ෂයේ ඇලෙක්සේයි නවාල්නි දූෂණ චෝදනා මත අධිකරණය විසින් තරගවැදීමෙන් වළක්වාලනු ලැබීමය. නවාල්නි ඉවත් කිරීම ජනාධිපති පුටින්ගේ සැලැස්මකැයි බටහිර ජනමාධ්‍ය සහ විචාරකයෝ විවෘතව චෝදනා කළහ. ඡන්ද පොළවල සිදුවිණැයි කියැවෙන අක්‍රමිකතා පෙන්නුම් කරන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබේ.  


රුසියාවේ බහුතර ජනතාවට ජනාධිපති ධුරය සඳහා පුටින් තෝරාගැනීමට සාධාරණ හේතු ගණනාවක් තිබේ. පැරණි අවධියේ ප්‍රබල අධිරාජ්‍යයක්ව පැවැති රුසියාව 1917 බෝල්ෂේවික් විප්ලවයෙන් පසු බිහිවූ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ ප්‍රමුඛතම රාජ්‍යය විය. 1991 දෙසැම්බර් මස බලසම්පන්න සෝවියට් දේශය බිඳවැටුණු විට එහි අනුප්‍රාප්තික රාජ්‍යය බවට පත්වූයේ රුසියාවය. වර්ග කිලෝමීටර මිලියන 17 කට මඳක් වැඩි භූමි ප්‍රමාණයක් සහිත රුසියාව අදත් ලෝකයේ විශාලතම රටය. සෝවියට් දේශය බිද වැටීමෙන් අනතුරුව රුසියාවට උදාවූයේ ඉතා අභාග්‍යසම්පන්න සමයකි. උත්සන්න වන දේශපාලන අස්ථාවරත්වය, අඛණ්ඩ සමාජ ආර්ථික පරිහානිය, ජනතාවගේ ජීවන මට්ටම බරපතළ ලෙස පිරිහීම, නායකයන්ගේ සහ නිලධාරීන්ගේ මහා පරිමාණ දූෂණය, රාජ්‍ය දේපළ ඉතා අඩු මිලට දේශීය විදේශීය මහ ධනපතීන් අතට පත්වීම, රුසියාවේ අභිමානය බිඳවැටීම, චෙච්නියාව, දගෙස්තානය බඳු ස්වතන්ත්‍ර සමූහාණ්ඩුවල සන්නද්ධ බෙදුම්වාදය වර්ධනයවීම, ජාතික ආරක්ෂාව අනතුරට ලක්වීම ආදීය ඊට හේතුවිණි.


කොමියුනිස්ට් පාලනය ගැන කුමන විවේචන තිබුණද එම ක්‍රමය විසින් රුසියානුවන්ට අවම ජීවන මට්ටමක් සහතික කර තිබිණි. වසර ගණනාවක් ආර්ථික වර්ධනය ඇනහිට තිබුණ ද ආසන්න පූර්ණ සේවා නියුක්තිය පවත්වා ගැනීමට පාලකයෝ සමත් වූහ. පශ්චාත් සෝවියට් රුසියාවේ මේ සියල්ල බිඳවැටී ගියේය. 1991 දෙසැම්බර් සිට 1999 දක්වා රට පාලනය කළ බොරිස් යෙල්ට්සින් අකාර්යක්ෂම, අත්තනෝමතික, අදූරදර්ශී, බේබදු පාලකයෙක් විය. 


එහෙත් පුටින් යටතේ රුසියාව බලවත්වීම නිසා ඉරාකයට සහ ලිබියාවට කළ විනාශය සිරියාවට හා යුක්රේනයට අත්කර දීමට බටහිර කඳවුරට හැකිවූයේ නැත. රුසියාව හා චීනය බලවත් නොවූයේ නම්, සමස්ත පෘථිවි ගෝලයම සිය අණසක යටතට ගැනීමට තරම් ඔවුන් ප්‍රබලය. ව්ලැදිමීර් පුටින් ආරම්භයේ සිටම දෘඪ පාලකයෙක් විය. දේශපාලන ආර්ථික හා සාමාජීය වශයෙන් ඇදවැටුණු රාජ්‍යයනට අභිමානවත් ලෙස සිය දෙපයින් යළි නැගී සිටීමට හැකිවූයේ එබඳු පාලකයන් නිසාය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි