රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිධූරය සඳහා ව්ලැඩිමීර් පූටින්ගේ පත්වීම ලෝක ජනමාධ්‍යවලට විශේෂ ප්‍රවෘත්තියක් වී තිබේ. එසේ වන්නට ඇත්තේ පූටින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජය ලැබූ සිව්වන අවස්ථාව මෙයවීම නිසාය. රුසියාව ඉතිහාසයේ කිසිදු කාලයක ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ ජනතා ඡන්දයෙන් පත්වන රාජ්‍ය නායකයන් ගැන හෝ විශ්වාසය තැබූ රාජ්‍යයක් නොවීය. පසුකාලීනව එම රටේ ඇතිවූ දේශපාලන ප්‍රතිසංස්කරණවලින් පසුව මැතිවරණ ක්‍රමය ආරම්භ වූ අතර එමගින් සිව්වැනි වරටත් පූටින් තෝරාපත්කර ගැනීම සම්බන්ධව පිටස්තර ලෝකය විවිධ මත ප්‍රකාශ කිරීම ආරම්භව ඇත.

 

නවීන විද්‍යාවේ සොයාගැනීම් සහ නව තාක්ෂණයේ දියුණුව නිසා ලෝකය කුඩා ගම්මානයක් බවට පත්ව ඇති බව බොහෝ දෙනාගේ මතය වේ. එය හඳුන්වන්නේ ගෝලීයකරණය යනුවෙනි. මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ සිදුවන එදිනෙදා ක්‍රියාකාරකම් බොහෝමයක් අඩු වැඩි වශයෙන් අනෙකුත් රටවල පැවැත්මට බලපාන බව නොරහසකි. සිව් දෙසින්ම ඉන්දියන් සාගරයෙන් වටවූ, දේශ සීමා නැති, දූපත් රාජ්‍යයක්වුවද ශ්‍රී ලංකාවටද මෙම තත්ත්වය සාධාරණවේ. විශේෂයෙන්ම රුසියාව වැනි බලවත් හා මිතුරු රාජ්‍යයක රාජ්‍ය නායකත්වය පිළිබඳව මතුවන තත්ත්වයන් ගැන අපේ පාඨකයන් තුළද මතයක් පැවතීම අතිශයින්ම ස්වභාවිකය. මෙම ලිපිය ඒ සම්බන්ධයෙනි.


දුර ඈත අතීතයක සිට රුසියානු රාජ්‍යය බොහෝ භාෂා කතා කරන විවිධ ගෝත්‍රයන්ගෙන් යුතු දුප්පත් ජනයා බහුතරයකින් සමන්විත රටක් විය. දහඅට වැනි ශත වර්ෂය වනවිටත් රුසියාව යුරෝපය සමඟ සමීප සබඳතා පැවැත්වූයේ ඉතා අඩුවෙනි. ඉඩම් හිමියන් සුළු පිරිසක් හා වහලුන් විශාල පිරිසකගෙන් යුතු රුසියානු ජන සමාජය පාලනය කළේ සාර් නමින් හැඳින්වූ රජවරුන් හා සාරිනා නම්වූ රැජිනියන් විසිනි. මුළු රට පුරාම දරිද්‍රතාව, මන්දපෝෂණය වහල්බව ආදී සමාජ ව්‍යසනයන් රජ කරද්දී මෙකී රජවරුන් සහ රැජිනියන් තමන් පෙර කළ කුසල් බලයෙන්යැයි කියවෙන මහත්වූ කාමභෝගී, සැපවත් ජීවිත ගත කළහ.

 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමග.

හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සමග.

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සමග

 

එම සැපසම්පත් විඳින්නේ අප්‍රමාණ දුක් පීඩාවන් විදිමින් රජයට බදු ගෙවන ජනතාවගේ මුදලින් යැයි ඔවුහු කිසිවිටෙකත් නොසිතුහ. මෙම රට බොහෝ සෙයින්ම ආසියානු රාජ්‍යයක හැඩතල පෙන්වුවා මිස සමකාලීන යුරෝපයේ පැවති අධිරාජ්‍යයන්ගේ නැගීඑමින් පැවති නව ප්‍රවණතා රුසියාවේ දක්නට ලැබුණේ නැත. මාරියා තෙරේසා අග රැජිනියගේ ඔස්ට්‍රො-හන්ගේරියන් අධිරාජ්‍ය හැප්ස්බර්ග් රාජ වංශයත්, ප්‍රංශ අධිරාජ්‍ය පාලනය කළ ලුවි රජවරුන්ගේ බූර්බෝන් රාජවංශයක් බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ වික්ටෝරියානු පරම්පරාවත් ලෝකය බෙදා ගෙන පාලනය කරද්දී රුසියාවේ රොමනව් රාජ වංශයේ සාර්වරු මධ්‍යකාලීන සමාජයේ පැවති ගති ලක්ෂණ පෙන්වමින් රුසියාව පාලනය කරමින් සිටියහ. සාමාන්‍ය ජනතාවගේ ඉරණම ලෙස ලියැවී තිබුණේ රජුගේ හෝ රදල පන්තියේ හෝ පූජක පක්ෂයේ හෝ ඉඩම්වල දාසකම් කිරීම පමණි. නොයෙකුත් හිරිහැර, දුක් පීඩාවලට බඳුන්වූ ඔවුහු ඕනෑම කාර්යයක් කරනු සඳහා බලකළ හැකි නීතිමය පදනමක කටයුතු කළහ. බරපතළ බදු ගෙවීමටත් විකුණා දමනු ලැබීමටත්, කස පහර දීමටත්, සිරගත කරනු ලැබීමටත් එමෙන්ම පිටුවහල් කිරීමටත් යටත්ව ජීවත් වූහ. 


රුසියාවේ පසුකාලීන ඉතිහාසය සලකා බලන විට සාර් රජවරුන් ඉතා කෙටි රාජ්‍ය කාලයක් එම වරප්‍රසාද භුක්ති විදි අතර අධිරාජිනියෝ දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ සාරිනා පදවිය දරමින් රුසියානු සිහසුන දැරූහ. පළමුවැනි කැතරින් රැජින රුසියානු ඉතිහාසයට මහත් බලපෑමක් කළ පාලිකාවක් ලෙස සඳහන්වේ. මහා කැතරින් යන විරුදාවලි ලැබූ ඇයගේ කතාව මෙම රජ පවුල්වල ජීවන රටාව පිළිබඳ මනා නිදසුන් සපයයි. නිමක් නොවන ඇයගේ ස්වාමිපුරුෂයන්ගේ නම් ලැයිස්තුව තවදුරටත් දීර්ඝ නොවී තිත තැබූණේ ඇය අශ්වයෙකු සමඟ ලිංගික ක්‍රියාවක යෙදී සිටියදී මියයාම නිසායැයි කියවේ.

පළමුවැනි ඈන් රැජින 1730 සිට 1740 දක්වාත් එළිසබෙත් 1741 සිට 1762 දක්වාත් රජකම් කළහ. මහා පීටර් නමින් ප්‍රසිද්ධ බලවත් සාර් රජුගේ සහ මහා කැතරින්ගේ දියණිය වූ එළිසබෙත් සාරිනාගේ කාලය රුසියාවට මහත් අපල කාලයක් විය. යාබඳ ප්‍රසියානු (ජර්මන්) අධිරාජ්‍යයේ ප්‍රතාපවත් නායකයාවූ මහා ෆෙඞ්රික් රජු සමග සත් වසරක කාලයක් දරුණු යුද්ධයක නිරතවීමට රුසියාවට සිදුවිය. ඒ සා දීර්ඝකාලයක් රටේ මුදල් අනෙකුත් සම්පත් මෙන්ම මිනිස් සම්පත්ද යුද්ධයට කැපකළ ඇය රට අන්ත අගාධයකට මෙහෙයවූවාය. මෙසේ පරම්පරා උරුමය අනුව 1917 වන විට රජකම් කරමින් සිටියේ දෙවැනි නිකුලස් සාර්වරයාය. 

 

ජූඩෝ ක්‍රීඩා කරමින්...


මේ වනවිට රුසියානු සමාජය යම් පමණක දැනුවත් බවක් ලබා සිටි අතර ලියෝ ටෝස්ටෝයි, ඇන්ටන් චෙකොෆ් වැනි ඇලෙක්සැන්ඩර් පූෂ්කින්, නිකොලොයි ගෝගොල් වැනි මහා ලේඛකයන්ගේ ලියැවිලි මෙන්ම ප්‍රංශයේ වෝල්ටෙයාර් වැනි ලේඛකයන්ගේ ප්‍රකාශන සහ දේශපාලන වශයෙන් ප්‍රංශ විප්ලවයේ අභාසයද රුසියාවට දැනී තිබුණි. යාබද ජර්මනියේ ඉපිද නවතම දර්ශනයක් ලොවට දායාද කළ කාර්ල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස්ගේ ඉගැන්වීම්ද රුසියාවට තදින් බලපා තිබුණි. ඔහුගේ මත ඉස් මුදුනින් පිළිගත් විලැඞ්මීර් ඉලියනොව් ලෙනින් ජෝසප් විසරියානොව් ස්ටාලින්. ලියොන් ට්‍රොට්ස්කි ආදී නායකයන් සමූහයක් සාර් රාජ්‍ය පාලනයේ දූෂිත බව විනාශකාරී බව සහ අනර්ථකාරී බව පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් එම පාලනයට එරෙහිව ගොවි කම්කරු පිරිස් සටනකට සංවිධානය කිරීමට කටයුතු කරන ලදී. ඉතා දැඩි දුක් විඳිමින්, සිරබත් කමින්, පිටුවහල් කිරීම්වලට ලක්වෙමින් මෙම නායකයන්ගේ මෙහෙයවීමෙන් ගෙනගිය සටන 1917 නොවැම්බර් 7 වැනි දින (ග්‍රෙගරි කැලැන්ඩරයට අනුව) ඔක්තෝම්බර් 17 වැනි දින ජයග්‍රහණයෙන් නිමා විය. රටේ පවතින උග්‍ර ආහාර හිඟයට විසඳුමක් වශයෙන් පාන් මිල අඩුකරන ලෙස ඉල්ලමින් ග්‍රීක ඕතඩොක්ස් ආගමික නිකායේ නායක පූජකයෙකුගේ  නායකත්වයෙන් පැවැත්වුණ පෙළපාළියකට නිකුලස් සාර්ගේ රාජ්‍යරක්ෂක කොසැක් හමුදාව විසින් වෙඩි තබා කම්කරු ජනතාව විශාල පිරිසක් මරා දැමීම නිසා රාජ්‍ය විරෝධී අරගල වඩාත් වැඩි දියුණුවිය. 1905 දී ආරම්භ වූ කැරලි කෝලහල සහ සටන් ව්‍යාපාරය අසාර්ථකවූ නමුදු එයද ආදර්ශයට ගනිමින් 1917 දී ඇතිවූ සටන් රැල්ල ලෙනින්ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කරා දියත් කිරීමට රුසියානු නිර්ධන පන්තිය සමත්වූවේය. සෝවියට් ඔක්තෝම්බර් විප්ලවය නමින් ලෝක ඉතිහාසයට එක්වූ මෙම සංසිද්ධිය ඉතිහාසයේ ගමන්මග වෙනස්කළ හැරවුම් ලක්‍ෂ්‍යය වූ බව බොහෝ දෙනා විශ්වාස කරති. අධිරාජ්‍යවාදය, ධනේෂ්වර වාදය හා වැඩවසම් වාදය රජකළ ලෝක ජන සමාජය තුළ නිර්ධන පන්ති ජනතාවගේ මතය නියෝජනය වන ප්‍රථම රාජ්‍ය පාලනය බිහිවූවේ සෝවියට් රුසියාවෙනි. ජනතා බලය පිළිබිඹු කරන ගොවි කම්කරු සභා ව්‍යුහයක් මගින් රට පාලනයවූ නිසා සෝවියට් රුසියාව නමින් එම රාජ්‍යය හැඳින්වීමට බාහිර ලෝකය පුරුදු වූවේය. ද්වි ඝඨනාත්මක භෞතිකවාදය මත පදනම්ව පන්ති අරගලය මගින් පිහිටුවන ලද සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට භූමිතලයෙන් හයෙන් එකක ප්‍රමාණයක පාලනය අයිති විය. එම රාජ්‍යයේ අසහාය නායකයාවූ වී.අයි. ලෙනින් ප්‍රතිවාදී බලවේගයන් විසින් සියලු අතින් වටකර පහර දෙද්දී දුර දක්නා නුවණින් යුතුව මෙම ළදරු රාජ්‍යය ආරක්ෂා කරගනිමින් සහ ස්ථාවර කර ගැනීමට සමත්විය. එතෙක් මනෝරාජික දර්ශනයක් ලෙස පැවති මාක්ස්වාදය මහ පොළොව මත යථාර්ථවක් බවට පත් කිරීමේ පුරෝගාමියා ලෙස ලෙනින් ඉතිහාසයට එක්විය. 1924 දී සිදුවූ ඔහුගේ අභාවයෙන් පසු රාජ්‍යයේ නායකත්වය පිළිබඳව ලෙනින්ගේ සමීපතමයන් දෙදෙනාවූ ජෝසප් ස්ටාලින් සහ ලියොන් ට්‍රොට්ස්කි අතර උග්‍ර බල අරගලයක් ඇතිවී එයින් ස්ටාලින් ජය ගත්තේය. දැඩි මර්දනකාරී ඒකාධිපති පාලකයෙකු ලෙස බාහිර ලෝකයේ විවේචනයට ලක්වූ නමුදු දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී සෝවියට් දේශය හා නැගෙනහිර යුරෝපය පැසිස්ට්වාදයේ ග්‍රහණයෙන් මුදවා ගැනීම උදෙසා ලබාදුන් පුරෝගාමී නායකත්වය සමස්ත ලෝකවාසි ජනතාව අගය කළ බව සත්‍යයකි.


යුද්ධයෙන් පසු එහි ප්‍රතිඵල මත ආරම්භවූ යෝල්ටා සාකච්ඡාවට එහි නායකයන් හතර දෙනාගෙන් කෙනෙක් ලෙස ස්ටාලින්ද සහභාගිවිය. ඒ අනුව බිහිවූ නව ලෝක රටාව ඇති කිරීමටද ඔහු දායක විය. වැඩවසම් සමාජ ක්‍රමයක් රජකළ ලෝකයේ පසුගාමී දිළිඳු රටක් ලෙස පැවති රුසියාව ලෝක බලතුලනයේදී ඇමරිකාව සමග සමමට්ටමේ රාජ්‍යයක් ලෙස උසස් තැනකට ගෙන ඒමට ස්ටාලින් සමත් විය. යුද්ධයෙන් පසු සමයේ නැගෙනහිර යුරෝපයේ පෝලන්තය, හංගේරියාව, බල්ගේරියාව, චෙකොස්ලෝවේකියාව, ඇල්බේනියාව, යුගොස්ලෝවියාව, රුමේනියාව සහ නැගෙනහිර ජර්මනිය යන රටවල්වලද විප්ලවවාදී රතු ධජය ඔසවා එකම කඳවුරක් ලෙස පවත්වාගෙන යාමට ඔහුට හැකිවිය. 1949.10.02 වැනි දින චීන විප්ලවය ජයග්‍රහණය කිරීමටද ඔහු ලබා දුන් අනුපමේය සහායද සිහිපත් කළ යුතුයි. ස්ටාලින් මරණයට පත්වනවිට පෘථිවි ගෝලයෙන් විශාල භූමි ප්‍රදේශයක කොමියුනිස්ට් වාදය රජකරමින් තිබුණ අතර එම රටවල් බාහිර ලෝකය සමග සබඳතා පැවැත්වීම දැඩි ලෙස සීමා කර තිබුණි. එය බටහිර රටවල් විසින් විවේචනාත්මකව හඳුන්වන ලද්දේ යකඩ තිරය යනුවෙනි. 


බටහිර ඔත්තු සේවාවන් සහ කුමන්ත්‍රණකාරී බලවේග තම රටට ඇතුළුව කොමියුනිස්ට්වාදී පාලන ක්‍රමය දුර්වල කරනු ඇතැයි ලෙන්න්ගේ මෙන්ම ස්ටාලින්ගේද මතය වූ බැවින් එවැනි සීමා කිරීම පනවා තිබුණි. ස්ටාලින් ජීවිතයෙන් සමුගැනීමෙන් පසු බුල්ගනින්, නිකිතා කෘෂෙව්, ඇලෙක්සි කොසිජින්, ලියොනීඞ් බ්‍රෙස්නෙව්, යූරි අන්දොපොව් ආදී නායකයෝ රුසියාව පාලනය කළහ. බටහිරින් පැමිණි නොයෙකුත් උපද්‍රව සහ යටිකූට්ටු ක්‍රියාවන්ට එඩිතරව මුහුණදෙමින් සෝවියට් රුසියාවේ රතු බලය ආරක්ෂා කරගැනීමට ඔවුනට හැකිවිය. හංගේරියාවේ, ඉම්රේ නාගි, චෙකොස්ලෝවේකියාවේ ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් ආදී නායකයෝ තම රටවල් කොමියුනිස්ට්වාදී පීල්ලෙන් පිට පන්නවා ගැනීමට උත්සාහ කරන ලද නමුදු ඒවා යටපත් කර දැමීමට රුසියානු පාලකයෝ සමත්වූහ.


කාලය වේගයෙන් ගලා ගියේය. 1990 දශකය එළඹෙමින් තිබුණි. නව ප්‍රවණතා බිහිවෙමින් ලෝකයේ නොයෙකුත් සංසිද්ධීන් පැවතුණු යුග පසුකරමින් ඉදිරියට ගියේය. දැඩි මතධාරි රතු පාලනයට අභියෝග කරමින් නව දේශපාලන මතයක් දැරූ ලෙහ් වැලේසා නම් කම්කරු නායකයෙක් පෝලන්තයේ බලයට පත්විය. එය කිසිවෙකු අපේකෂා නොකළ තත්ත්වයක් විය. මේ වනවිට සෝවියට් රුසියාවේ නායකයාවූ මිකායෙල් ගොර්බචෝප්, තම පූර්වගාමින් මෙන් වැලේසා යටපත් කිරීමට ඉදිරිපත්වූයේ නැත. මෙම පූර්වාදර්ශය දුටු නැගෙනහිර යුරෝපයේ අනෙකුත් රටවලද උද්ඝෝෂණ පැන නැගෙන්නට විය. ගොර්බචෝප් නිහඬවිය. චෙකොස්ලෝවේකියාව රාජ්‍ය දෙකක් වශයෙන් වෙන්විය. ඒවා වෙක් ජනරජය සහ ස්ලොවැක් නම් විය.

 

 


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ