උතුරු ෂැන්සි හි අප ගතකළ ඒ කාලයේ සතුරු හමුදා භටයෝ දහස් ගණනක්, ඇතැම් විට දස දහස් ගණනක් නිරතුරුවම අප පසු පස හඹා ආවෝය. අපේ පැවැත්මට පවා තර්ජනයක් පැවති ඒ කාලයේ ජියැන්ග් කිසි දිනක හෝ මාවෝ සමග ආරවුල් ඇතිකර ගත්තේ නැත. එය සතුරාගේ අනතුරින් බේරීම සඳහා අප හැමකෙනෙක්ම එකට සමගියෙන් සිටිය යුතු කාලයක් විය.


මේ පිඩනය අවසන්වි අපේ ජිවිත යථා තත්ත්වයට පත්වීමත් සමග අපි යැන්ග්ජියාගෝ කරා සේන්දු වී සාජිආඩියාන් ජයග්‍රහණයෙන් පසු මාස හයක පමණ කාලයක් එහිම ගත කළෙමු. මාවෝ සහ ජියැන්ග් අතර ආරවුල මතුවුවේ මේ කාලයේදීය. ලී -නේ ගේ සාත්තු සේවිකාව හරහා හටගත් අවුල ඒ පිළිබඳ ඉදිරිපත් කළහැකි පළමු උදාහරණයයි.


මෙම සාත්තු සේවිකාව සේවයට පැමිණි මුල් දිනයේම ජියැන්ග් ඇය වඩාත් ප්‍රිය කළ ඇගේ ජැකැට්ටු සහ රතුපැහැති සමින් කළ සපත්තු ඇයට තෑගි කළාය. ගැහැනු දෙදෙනෙකුගේ මුල් හමුවිමෙන් ඔවුන් ඕනෑවටත් වඩා එකට සමිපවීම පසුවට කරදරයක් ඇතිවිමට හේතුවක් බව මට හැඟුණු කරුණකි. ජියැන්ග් හා සාත්තු සේවිකාව අතර පසු කාලයේදි ඇතිවුවේද මා ඒ අනුමාන කළ දෙයමය. 


ලී-නේ බලාකියා ගැනිමට අමතරව මාවෝ ගේ ඉරුණු රෙදි අණ්ඩ දැමිමේ කාර්යයද සාත්තු සේවිකාවට පැවරුණි. දිනක් ඇය කළ මැස්මක් දෙස බලා ජියැන්ග් අවඥා සහගතව සිනා සුනාය. “මේ මැහුම දිහා බලන්නකො, මේක හරිම කැතයිනෙ.” ඇය කිවාය. 
සාත්තු සේවිකාව දහහත් වැනි වියේ පසුවු තරුණියක් වු අතර ඇය ඉන් පෙර කිසි දිනක ඉඳිකටුවකින් වැඩකර නොතිබුණි. ජියැන්ගේ අවඥාසහගත ප්‍රකාශයෙන් නින්දාවට පත්වු තරුණිය හිස පහත් කරගෙන සිටියාය. එසේ වුව ද ජියැන්ග් ඒ කරුණ යටපත්වෙන්නට ඉඩ දුන්නේ නැත. ඇය තරුණිය මාවෝ ඉදිරියට ගෙන ගියාය.


“බොස් මේ මැහුම් දිහා බලන්නකො.” ඒ දිනවල ජියැන්ග් මාවෝ ඇමතුවේ බොස් කියාය. එවෙලෙහි වැඩක නිරතව සිටි මාවෝ ගේ සිත තිබුණේ වෙනතකය. ඔහු යම්තම් හිස ඔසවා බැලුවේය. සාත්තුසේවිකාවගේ මුහුණ දුටු විට ජියැන්ග් මොනතරමක් නම් ඇගේ සිත අවුල්කර තිබුණා දැයි ඔහුට එක්වරම වැටහුණි. ක්ෂණයෙන් ඔහුගේ සිත තරහින් පිරී ගියේය.


“මොනවද මේ කියන්නේ?.” මාවෝ ජියැන්ග් දෙස බලා මහ හඬින් ඇසුවේය. “ඔයානම් මහ මෝඩියක්.” අනතුරුව සාත්තු සේවිකාව දෙසට හැරී ඔහු අනුකම්පාවෙන් ඇය සැනසුවේය. “ස්තුතියි ළමයා. මට නම් මේ මැහුමේ වරදක් පෙනෙන්නේ නෑ.” අනතුරුව සාත්තු සේවිකාව එතැනින් පිටව ගිය පසුද මාවෝ ජියැන්ග් ට කේන්තියෙන් බැණ වැදුණේය. “ඔයා අරටු බැහැපු සුළු ධනේශ්වර වාදියෙක්.”
පසුව ජියැන්ග් මේ කාරණාව සම්බන්ධයෙන් තරුණියගෙන් සමාව ගත්තාය. “මම ඔයාට රිදවන්න හිතුවේ නෑ නර්ස්. මම ඒ වගේ නරක කෙනෙක් නෙමෙයි. තවත් ඒ ගැන හිතන්න එපා ඒක අමතක කරලා දාන්න.”


ජියැන්ග් සාත්තු සේවිකාවට කිවේ බොරුවක් නොවේ. සාත්තු සේවිකාවට රිදවන්න ඇත්තටම ඇයට උවමනාවක් නොවීය. ඒ ඇගේ ගති සොබාවේ හැටිය.


සාත්තුසේවිකාව සමග ඇතිකරගත් කෝන්තරයෙන් පසු ජියැන්ග් ඇයට මැහුම් වැඩ උගන්වන්න පටන්ගත්තාය. දින කිහිපයකට පසු ඇගේ වැඩ ගැන පැහැදීමක් නොවුණ තැන ඇය නැවතත් අසරණ කෙල්ල වෙත කඩා පැන්නාය. “මේකත් මැහුමක් කියලද උඹ හිතන්නේ. බලපන් මේක කොච්චර කැතද කියලා. ආපහු මහපන්.”


නමුත් පසුදින ඇය නැවතත් කෙල්ලගෙන් සමාව ගත්තාය. “ඊයේ අර විදිහට මං ඔයාට කතාකරපු එක ගැන මට හරි කනගාටුයි. මම නරක ගැහැනියක් නෙමෙයි. ඒක අමතක කරලා දාන්න.”


ජියැන්ගේ මේ සමාව ගැනිම වංචනික ක්‍රියාවක් සේ මට පෙනුණි. ඇය එසේ කරන්නේ සාත්තුසේවිකාව ඇය ගැන තිබෙන ආරෝවට තම දියණියගෙන් පළිගනීවි යන හැඟිම නිසා බැව් මම සිතුවෙමි. 


එක් දිනක් සවස “ස්වයං විවේචන” වාරයෙන් පසු ජියැන්ගේ ආරාධනාවට අනුව ඇය සමග මම රාත්‍රී භෝජනයට සහභාගි වුනෙමි. ජෙනරාල් හේ ලොන්ග් ගෙනැවිත් දී තිබුණු මාළු ඇය මට දුන්නාය. ඇය උදක්ම බලකර සිටි නිසා මට එය ප්‍රතික්ෂේප කිරිමටද නොහැකිවිය. අනිත් අතින් අපි නිතරම ආහාරයට ගන්නා කළු සෝයාවලට වඩා මාළු රසවත් ආහාරයකි. ආහාර ගනිමින් සිටින අතරවාරයේ ඇය එක්වරම ආහාර ගැනිම නවත්වා මාදෙස බලා තරහින් කතා කරන්නට වූවාය.


“අවලම්මු.” ඇය කතාව පටන් ගත්තේ එලෙසිනි. “මගේ පරණ වාර්තා උන් පිළිගන්නේ නෑ. මම විප්ලවයට සම්බන්ධ වුණේ 1932 දී. ඒකෙ කිසිම සැකයක් නෑ. එත් උන් කියන්නේ මං 1935 එකතුවුණා කියලා. ඒක මහ අභූත කතාවක්.”


මම කිසිවක් නොපැවසීමි. නායකයින් අසතුටට පත්වුණු අවස්ථාවලදි ඔවුන්ගේ හැඟිම් පිට කිරිමට තවත් කෙනෙක් අල්ලාගන්නා බව පළපුරුදු පෞද්ගලික ආරක්ෂකයෙක් ලෙස මම දැන සිටියෙමි. එසේ අල්ලා ගන්නේ තවත් නායකයෙක් නොව බොහෝවිට පෞද්ගලික ආරක්ෂකයෙකි. එනිසා මම හැම දෙයක්ම නිහඬව, සාවධානව අසා සිටියෙමි.