1906 අප්‍රේල් මුල් භාගයේ ලෙනින්, රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සිව්වැනි (සමගි) සම්මේලනයට සහභාගීවීම සඳහා ස්ටොක්හෝම් බලා පිටත් විය. සමුළුව අප්‍රේල් 10 වැනි දින, ස්වීඩනයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් පිළියෙල කරන ලද ජනතා මන්දිරයේදී ඇරඹුණි. ලෙනින් ගොවිජන ප්‍රශ්නය සහ  “වත්මන් තත්ත්වය හා නිර්ධන පංතියේ පංති කාර්යයන්” පිළිබඳ වාර්තා ද, දූමාව පිළිබඳව දැරිය යුතු ආකල්පය කුමක්ද යන්න පිළිබඳව ඒකාබද්ධ වාර්තාවක් ද, ඉදිරිපත් කළ අතර, සන්නද්ධ නැගිටීම සහ සංවිධාන ප්‍රශ්නය පිළිබඳව කතා පැවැත්වීය. රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා තෝරා ගන්නා ලද කමිටුවේ වැඩවලටද ඔහු සහභාගී විය.

 

සම්මේලනය, බෝල්ෂෙවික්වරුන් හා මෙන්ෂෙවික්වරුන් අතර, විශේෂයෙන්ම ගොවිජන ප්‍රශ්නය පිළිබඳව, අතිශයින් තියුණු අරගල බිමක් බවට පත් විය. ලෙනින් සමග බෝල්ෂෙවික්වරු විශාල වතු රාජසන්තක කිරීම හා සියලු ඉඩම් ජනසතු කිරීම එනම් ඉඩම්වල පෞද්ගලික අයිතිය අහෝසි කොට, එතැන් සිට රාජ්‍ය දේපල බවට පත් කිරීම සඳහා නැගී සිටියෝය. ඉඩම් ජනසතුව කළ හැකි වූයේ ඒකාධිපත්‍යය  පෙරළා දැමුවේ නම් පමණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බෝල්ෂෙවික්වරු ගොවිජන වැඩ පිළිවෙළ සාර්ට හා ඉඩම් හිමියන්ට එරෙහිව නැගි සිටින ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියහ. 


මෙන්ෂෙවික්වරුන්ගේ ස්ථාවරය කුමක් විද? ඔවුහු ඉඩම් ජන සතු කිරීමට විරුද්ධ වූහ. ඒවා පළාත් පාලන ආයතන සතු කරන ලෙස ඉල්ලා සිටියෝය. එයින් අදහස් කරන්නේ ඉඩම්වල හිමිකම පළාත් පාලන ආයතනවලට පැවරීම හා එම ආයතනවලින් ගොවියන් විසින් ඉඩම් බද්දට ලබා ගැනීමකි. ලෙනින් මෙන්ෂවික් වැඩ පිළිවෙළ දැඩි ලෙස විවේචනය කළේය. එම වැඩ පිළිවෙළින් අදහස් වූයේ ඉඩම් හිමියන් සමග හෙට්ටු කිරීමක් හා සාර්ගේ හා ඉඩම් හිමියන්ගේ පාලනය පෙරළා නොදමා ගොවිජන ප්‍රශ්නය විසඳිය හැකි යැයි පුහු බලාපොරොත්තු ඇති කිරීමකි. 


සම්මේලනය තුළ ඔවුන්ගේ සංඛ්‍යාත්මක වශයෙන් වැඩි බරෙහි වාසිය උපයෝගී කර ගනිමින්, මෙන්ෂෙවික්වරු සිය පළාත් පාලන ආයතන සතු කිරීමේ වැඩ පිළිවෙළ ඇතුළුව, සියලුම ප්‍රධාන ප්‍රශ්න පිළිබඳව ඔවුන්ගේම යෝජනා සම්මත කර ගත්හ. මෙන්ෂෙවික්වරු මධ්‍යම කාරක සභාවේ බහුතරයක් දිනා ගත් අතර පක්ෂයේ ප්‍රධාන පුවත්පත වන සොත්සියල් දිමොත්‍රාත් හි පාලනය අල්ලා ගත්හ. කෙසේ වුවද, මෙන්ෂෙවික් ජයග්‍රහණය කල්පවත්නා එකක් නොවීය. විප්ලවීය මාක්ස්වාදයෙන් විප්ලවීය මූලෝපායයේ හා උපක්‍රමවලත් ජයග්‍රහණය පිළිබඳ ලෙනින් තරයේ විශ්වාස කළේය. මෙන්ෂෙවික්වරුන් පරාජය කළ හැකි යයි ඔහු තුළ විශ්වාසයක් තිබුණි. 


රුසියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ එක්සත් රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයක් වශයෙන් ඒකාබද්ධ කළ යුතු යැයි සම්මේලනය විසින් තීරණයක් ගෙන තිබුණි. මෙම එක්සත් කිරීම බෝල්ෂෙවික්වරුන්ට රුසියාවේ පදිංචිව සිටින සියලුම ජාතික කොටස්වලට අයත් කම්කරුවන්ගේ පුළුල් කොටස්වලට බලපෑමක් කිරීමට හැකියාවක් ඇති කළ අතර, මෙන්ෂෙවික්වරුන් හෙළිදරව් කිරීම හා හුදකලා කිරීම පහසු කළේය. 


සම්මේලනය අවසන් වූ වහාම ලෙනින්ට යළිත් කාර්ය බහුල විය. සම්මේලනයේදී හටගත් අරගලය පිළිබඳව ලෙනින් පුළුල් කම්කරු කොටස්වලට දැනුම් දුන්නේය. ඔහු සම්මේලනයේ බෝල්ෂෙවික් නියෝාජිතයන් වෙනුවෙන් පක්ෂයට ආයාචනයක් ද, රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සමගි සම්මේලනය පිළිබඳ වාර්තාවක් (ශාන්ත පීටර්ස් බර්ග් කම්කරුවන්ට ලිපියක්) යන හිසින් පත්‍රිකාවක් ද ලිවීය. 


ලෙනින් බෝල්ෂෙවික් ක්‍රියාමාර්ගයේ නිවැරදිතාව ආරක්ෂා කිරීම හා පැහැදිලි කර දීම අවෙහෙසකර ලෙස දිගටම කරගෙන ගිය අතර කම්කරුවන්, බුද්ධිමතුන්, කාර්යාල සේවකයන් සහ ශිෂ්‍යයන් හමුවී ඔවුන්ට කතා කිරීමට තිබූ කිසිම ඉඩ ප්‍රස්ථාවක් පැහැර හැරියේ නැත. 1906 මැයි 09 වැනි දින ශාන්තපීටර්ස්බර්ග් හිදී ඔහු තුන් දහසක් ජනයා සහභාගි වූ රැස්වීමක් “කර්පොව්” යන නමින් පෙනී සිට ඇමතුවේය. එම රැස්වීමේදී ඔහු ධනේශ්වර කැඩෙට් පක්ෂය ඒකාධිපත්‍යයත් සමග කර තිබූ ගනුදෙනුව හෙළා දුටු අතර, නිර්ධන පංතියේ විප්ලවීය ක්‍රියාමාර්ගය ආරක්ෂා කරමින් කතා කළේය. ඔහුගේ කතාවට දැඩි අවධානයකින් සවන් දුන් ප්‍රේක්ෂකයෝ එම කතාවෙන් ගැඹුරු ලෙස සසල වූහ. කෲප්ස්කයා සිය මතක සටහන්වල මෙසේ සඳහන් කරයි. 


“ශාලාව තුළ දැඩි නිහඬතාවක් ඇති විය. ඉල්යීච්ගේ කතාවෙන් පසු සුවිශේෂ උද්දාමයකට රැල්ලක් සියලුම ප්‍රේක්ෂකයන් පීරාගෙන මතු විය. ඒ මොහොතේ සියලු දෙනාම ඉදිරිපිට අවසානය දක්වා ගෙන  යාම පිළිබඳ කල්පනා කරමින් සිටියෝය. ලෙනින් නිතරම කම්කරුවන් ඇමතීමටත් ඔවුන්ට උපදෙස් දීමටත් විප්ලවීය අරගලයට සම්බන්ධ සියලුම ගැටලු පැහැදිලි කර දීමටත් උනන්දුවක් දැක්වීය. ඔහු නාර්මා දිස්ත්‍රික්කයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සම්කරුවන්ගේද, ෂප්ෂලා දුම්කොළ කම්හලේ සේවිකාවන්ගේද, සෙම්යනිකොව් දිස්ත්‍රික්කයේ කම්කරුවන්ගේද රැස්වීම් සහ තවත් බොහෝ කම්කරු රැස්වීම් ඇමතීය. 


තියුණු අරගලයකින් පසු ලෙනින්ට පක්ෂ සංවිධාන බෝල්ෂෙවික්වරුන් වටා ඒකරාශී කිරීමට හැකි විය. ඒ වන විට ඔහු තවත් පක්ෂ සම්මේලනයක් කැඳවීමේ ප්‍රශ්නය මතු කොට ඒ සඳහා සූදානම්වීමේ කටයුතු ඇරඹීය. 1907 පෙබරවාරියේ ඔහු රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ පස්වෙනි සම්මේලනය සඳහා යෝජනා කෙටුම්පත් කළේය. මාර්තු මාසයේ සම්මේලනයට නියෝජිතයන් තේරීම සඳහා ප්‍රදේශවලට පිටත්වී යන බෝල්ෂෙවික්වරුන්ට උපදෙස් දුන් සම්මන්ත්‍රණයට වත්මන් තත්ත්වය හා පක්ෂයේ කර්තව්‍යයන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලදි. 


1907 අප්‍රේල් මාසයේ අවසාන භාගයේ, රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ පස්වෙනි සමුළුවට සහභාගීවීම සඳහා ලෙනින් ලන්ඩන් බලා පිටත්ව ගියේය. ඔහු සම්මේලනයේ වැඩ කටයුතු මෙහෙයවීය. න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණ වන ධනේශ්වර පක්ෂ කෙරෙහි ආකල්පය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේය. සම්මේලනයට සහභාගී වූ ශ්‍රේෂ්ඨ නිර්ධන පංති ලේඛකයා වූ මැක්සිම් ගෝර්කි ගේ මතක සටහන් කථිකයෙකු වශයෙන් ලෙනින් පිළිබඳව විචිත්‍ර පිංතූරයක් මවයි. ලෙනින් අලංකාර වැකි ගොතන්නෙකු නොවේ. එය සෑම වචනයකම නියම අර්ථය විස්මය ජනක ලෙස සැහැල්ලු බවෙකින් පැහැදිලි කරන්නාක් මෙනි. ඔහු ඔහුට පෙර කතා කළවුන්ට අඩුවෙන් කතා කළේය. නමුත් එය වඩාත් සිත් කාවදින සුලු විය. මෙසේ හැඟී ගිය එකම තැනැත්තා මා පමණක් නොවේ. 


මට බොහෝ පිටුපසින් ප්‍රීතියෙන් පිනාගොස් කරන කසුකුසුවක් ඇසුණි. එය පැහැදිලිව ලස්සනට ඉදිරිපත් කළා. ඇත්තෙන්ම එය එසේමය. ඔහුගේ සෑම තර්කයක්ම එහි අභ්‍යන්තර ශක්තියෙන්ම අනාවරණය වූ හෙයිනි.


සම්මේලනයේදී ඒ. එස්. බුම්නොච්, අයි. එෆ්. දුබ්රොවින්ස්කි, එම්.එන්. ලියාදොව්, එස්. ජී. ෂවුම්යාන්, එම්. ජී. ත්සකායා, කේ. වී. වොරොෂීලව්, වයි. එම්. යරොස්ලව්ස්කි ඇතුළු බෝල්ෂෙවික් නියෝජිතයන්ගේ සමීප බැම්මෙන් බැඳුණ කණ්ඩායමක් විසින් ලෙනින්ට සහයෝගය දැක්විණ.


මතු සම්බන්ධයි. 


එම්. තාරික්