පුවත් පතෙහි පළ කරන ලද ලෙනින්ගේ ලිපි අතුරින් “පක්ෂ සංවිධාන සහ පක්ෂ සාහිත්‍යය” යන මැයෙන් ඔහු විසින් ලියන ලද ලිපිය ඉමහත් සේ වැදගත් තැනක් ඉසිලීය. එයින් ඔහු සාහිත්‍යයයේ කැපවීම පිළිබඳ ප්‍රතිපත්තිය ඉදිරිපත් කොට සකස් කළේය. සාහිත්‍යය කණ්ඩායම්වල හෝ පුද්ගලයන්ගේ ධනවත්වීමේ මාර්ගයක් හෝ කම්කරු පංතියේ පොදු සටනින් බැහැර වූ ස්වාධීන පුද්ගලික කටයුත්තක් හෝ නොවිය යුතු යැයි ඔහු පෙන්වා දුන්නේය.


“සාහිත්‍යය පක්ෂ සාහිත්‍යය විය යුතුය. ධනේෂ්වර චාරිත්‍ර, ලාභ ඉපයීම, වාණිජකරණය, කරන ලද ධනේෂ්වර පුවත් පත්, ධනේෂ්වර සාහිත්‍යය, ජාවාරම්කාරීත්වය හා පෞද්ගලිකවාදය, “වංශක්කාර අරාජිකවාදය” හා ලාභ ගැරීමේ ව්‍යාපාරයට එරෙහිව සමාජවාදී නිර්ධන පංතිය, පක්ෂ සාහිත්‍යය පිළිබඳ මූලධර්මය පෙරදැරි කර ගත යුතුය. මෙම මූලධර්මය සංවර්ධනය කොට හැකිතාක් දුරට පූර්ණ හා අංගසම්පූර්ණ ලෙස භාවිතයට නැගිය යුතුය.” යි. ඔහු ලිවීය. සාහිත්‍යයේ පක්ෂපාතීත්වය පිළිබඳ ලෙනින්වාදී ප්‍රතිපත්තියෙන් කුමන ආකාරයක හෝ බැහැර යාමක් කම්කරු පංතියේ සද් ව්‍යාපාරයට බරපතළ හානියක් සිදු කරන්නේ එම බලය සඳහා සිය අරගලය ගෙනයන අවධියේදී පමණක් නොවන බවද, කම්කරු පංතිය බලය දිනාගත් පසුවද එසේ හානියක් සිදු කරන බවද, ඉතිහාසයේ අත්දැකීම් පෙන්නුම් කර ඇත. 


ජනතාව විසින් සාර්ගෙන් නිදහසේ යම් අංග කීපයක් දිනාගෙන තිබුණ නමුදු, ලෙනින්ට හා සෙසු විප්ලවවාදීන්ට පොලිසියෙන් බේරීම් වස් සැඟවී සිටීමට සිදුවිය. ලෙනින්ට නිතරම පාහේ සිය හැඳුනුම්පත හා වාසස්ථාන වෙනස් කරමින් ද කීප වතාවකට ශාන්ත පීටර්ස්බර්ග් නගරය හැර ගොස් පින්ලන්තයේ නතර වෙමින්ද, නීති විරෝධී ලෙස ජීවත් වීමට සිදු විය. 


දෙසැම්බරයේ මොස්කව් හි ඇති වූ සන්නද්ධ නැගිටීමෙන් විප්ලවය එහි මුදුන් පෙත්තට ළඟා විය. පුරා දින 9ක් මුළුල්ලේ සන්නද්ධ කම්කරුවන් දහස් ගණනක් පොලිසිය හා ශාන්ත පීටර්ස්බර්ග් නගරයෙන් එවන ලද හමුදා භටයින් සමග වීරෝධාර සටනක් කළෝය. ඒ වන විට මොස්කව් හි සිටි “මක්සිම් ගෝර්කි” සිය ලිපියකින් ඉමහත් උද්යෝගයකින් කම්කරුවන්ගේ අභීත සටන පිළිබඳව විවරණයක් කළේය. දෙසැම්බර් 10 වෙනි දින ඔහු මෙසේ ලිවීය. “මා වීදියේ සිට ආවේ මේ දැනුයි. සන්දුකොව් බානි, නිකලොයෙව්ස්කි දුම්රිය පොළ, ස්මොලෙන්ස්කි වෙළඳපොළ සහ කුද්රින්ස්කයා යන ස්ථානවල සටන් පවතිනවා.” නියම උණුසුම් සටනක්! තුවක්කුවලින් හෙණ හඬ නිකුත් වෙනවා. මෙය පටන් ගත්තේ ඊයේ දවල් 2 ට, රාත්‍රිය මුළුල්ලේ සටන් පැවතුණා. මුළු දවසම තොරතෝන්චියක් නැතිව ගිඟුම් හඬ දෙනවා. ලොකු ජයග්‍රහණයක්! වීදිවල හැමතැනම මුරභටයින්ගේ හා පොලිස්කාරයින්ගේ ආයුධ උදුරා ගන්නවා. කම්කරුවන් හැසිරෙන ආකාරය ප්‍රශංසනීයයි!


ප්‍රෙස්න්යා දිස්ත්‍රික්කයේ සටන විශේෂයෙන්ම දැඩි ලෙස පැවතුණි. මොස්කව්වලින් පසුව, නිශ්නි නොව්ගොරොද්, දොන් ගංතෙරෙහි, රොස්තොව් නොවරොසීයීස්ක්, යෙකතිරිනස්ලව්, උෆා ක්‍රනොයාර්ස්ක්, චිතා සහ සෙසු නගරවල කැරලි පැන නැංගේය. කෙසේ වුවද මේ ක්ෂණික නැගිටීම් සියල්ලම සාර්වාදී ආණ්ඩුව විසින් තිරස්චීන ලෙස මර්දනය කෙරිණ. 


දෙසැම්බර් සන්නද්ධ නැගිටීම ලෙනින් අතිශයින් වැදගත් එකක් වශයෙන් තක්සේරු කළේය. එය රුසියන් කම්කරුවන්ගේ අමතක කළ නොහැකි වීර ක්‍රියාවක් වශයෙන් ඔහු සැලකීය. නව පරම්පරාවේ සටන්කාමීන්ට විප්ලවයේ පාසලක් වශයෙන් මෙහෙයක් කළ සිද්ධියක් වශයෙන් සැලකීය. සියලුම නිර්ධන පංති විප්ලවවලට ඉමහත් වටිනාකමකින් යුතු ඇත්දැකීමක් සේ ඔහු එය සැලකීය. කැරැල්ලේ හිතකර අංශ ගැන සටහන් කරන අතරම ලෙනින් එහි සංවිධානයේ අඩුපාඩු හෙළි කළේය. වඩාත් අධිෂ්ඨානශීලී ලෙස ආයුධ ගත යුතුව තිබුණේ යයිද, ආරක්ෂක සටනක් නොව ප්‍රහාරක සටනක් කළ යුතුව තිබුණේ යයිද හමුදා භටයින් තමන්ගේ පැත්තට දිනාගෙන, ගොවි ජනතාවද පොදු අරගලය සම්බන්ධ කරගත යුතුව තිබුණේ යයිද ඔහු පෙන්වා දුන්නේය. සන්නද්ධ නැගිටීමේ පාඩම් එසේ විය. ලෙනින් පංති හැඟීමෙන් යුතු සියලුම කම්කරුවන්ට මෙම පාඩම් ඉගෙන අරගලය ඉදිරියට ගෙන යාම සඳහා  සූදානම් වන ලෙස කියා සිටියේය. 


දෙසැම්බර් කැරැල්ල අසාර්ථක වුවද, විප්ලවීය රැල්ල බැස යාමට කලක් ගත විය. බහු ජනතාවට පසුබැසීමට උවමනා නොවුණි. වැඩ වර්ජන, ගොවි අර්බුද සහ යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ විප්ලවීය අසහනය නොමදව දිගමට පැවතුණි. 1906 ගිම්හානයේ ස්වීබෝර්ග් සහ ක්‍රොන්ෂ්තාද්ත් හි නාවිකයන්ගේ හා යුද භටයන්ගේ කැරලි නායකයන් සමග ලෙනින් කෙළින්ම සබඳතා පැවැත්වීය. ඔහු ශාන්ත පීටර්ස්බර්ග් පක්ෂ කමිටුවේ සාමාජිකයින්ට ක්‍රොන්ෂ්තාද්ත් කැරැල්ලට සහයෝගය දැක්වීම පිණිස වැඩ වර්ජනයක් සංවිධානය කරන ලෙස උපදෙස් දුනි. නමුත් කැරලි දෙකම මර්දනය කර දමන ලදි. 


1905 ඔක්තෝබර්, දෙසැම්බර් රුසියන් නිර්ධන පංති අරගලයේ අත්දැකීම් ලෙනින් විසින් 1906 මාර්තුවේ ලියන ලද “කැඩෙට්වරුන්ගේ ජයග්‍රහණය සහ කම්කරු පක්ෂයේ කර්තව්‍යයන්” නමැති පත්‍රිකාවෙන් සම්පිණ්ඩනය කරන ලදි. ඔක්තෝබර් දෙසැම්බර් සටන්, බහු ජන දේශපාලන වැඩ වර්ජනය සන්නද්ධ නැගිටීමක් හා සම්බන්ධ කිරීමේ උපක්‍රමය ප්‍රථම වතාවට උපයෝගී කරගත් කම්කරු පංතියේ ඓතිහාසික අරගලයේ සිහිකටයුතු පියවරක් වශයෙන් ඔහු සැලකීය. මෙම පත්‍රිකාවෙන් ලෙනින් කැඩෙට් පක්ෂයේ හැසිරීම හෙළිදරව් කළේය. ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත සහ බියසුල්ලෝය. මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා තවත් පිළිවෙතක් පෙන්වා දී ඔවුන්ට “විප්ලවයේ මිනී පණුවන්” යයි නම් කළේය. 


විප්ලවයේ ජයග්‍රහණය සඳහා වඩා සාර්ථක සටනක් කිරීම පිණිස, කම්කරු පංතිය පක්ෂ සාමාජිකයෝ පක්ෂ අභ්‍යන්තරයෙහි සමගිය ගොඩ නගන ලෙස ඉල්ලා සිටියෝය. මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා තවත් සම්මේලනයක් කැඳවීමට සිදු විය. 


බෝල්ෂෙවික්වරුන් සමග ලෙනින් මෙම ඉල්ලීමට සහයෝගය දුන්නේය. නමුත් සමගිය ඇති කළ හැකි මාර්ගය කුමක් වීද? කුමන පදනමක් මතද? මෙන්ෂෙවික්වරුන් සමග සමගියක් ඇති කළ හැකි එකම පදනම විය යුත්තේ විප්ලවීය මාක්ස්වාදය යයි ඔහු සැලකීය. විප්ලවයේ මූලික ප්‍රශ්න පිළිබඳව ප්‍රධාන මතභේද උඩින්පල්ලෙන් මකා දැමීමට ඔහු තරයේ විරුද්ධ විය. මෙම සමගිය දිනා ගැනීම් වස් පක්ෂයේ හතර වැනි සම්මේලනය සූදානම් කිරීම පිණිස ඔහු දැඩි පරිශ්‍රමයක් දැරීය. ඔහු බෝල්ෂෙවික්වරුන්ගේ වේදිකාව මූලික යෝජනාවේ කෙටුම්පත සකස් කළේය. සම්මේලනයට ගොවිජන වැඩ පිළිවෙළක් සකස් කිරීම සඳහා ලෙනින්, “කම්කරු පක්ෂයේ ගොවිජන වැඩ පිළිවෙළෙහි ප්‍රතිශෝධනය” යන මැයෙන් පොත් පිංචක් ලිවීය. 


සමගි සමුළුවක් අනිවාර්යවීමට තවත් හේතු තිබුණි. රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ තිබුණි. මේවා අතර පෝලන්තයේ හා ලිතුවේනියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ලිතුවේනියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයද විය. මේ සෑම පක්ෂයක්ම තනි තනිව ක්‍රියා කළේය. සාර්වාදයට විරුද්ධ අරගලයේ උවමනාව රුසියාවේ සියලු ජාතික කොටස්වල සාමූහික ප්‍රයත්නය හා රටේ සියලුම කම්කරුවන්ගේ සමගිය පොදු අවශ්‍යතාවක් බවට පත් කළේය. 

මතු සම්බන්ධයි.

 එම්. තාරික්