සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ කලක් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වූ ඉම්රාන් ඛාන් නොබෝදා පැවැති එරට මහා මැතිවරණයෙන් බලයට පත්ව ඇත. මෙම අලුත්ම තොරතුරුත් සමඟ පාකිස්ථානය නම් වූ රාජ්‍යය පිළිබඳව ලෝකයේ කතා බහ වැඩි වී ඇත. ශ්‍රී ලංකාවේ සමීප හිතවතෙකු වන පාකිස්ථානය තුළ ඇතිවන දේශපාලන වර්ධනයන් නිසැකවම ශ්‍රී ලංකාවට ද බලපාන බව අමුතුවෙන් කිවයුතු නොවේ. 


විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති වර්තමාන ලෝකයේ කුමන කොනක හෝ සිදුවන රාජ්‍ය පෙරළියක් අඩු වැඩි වශයෙන් සමස්ත ජගත් ප්‍රජාවටම බලපාන බව නොරහසකි. වසර දහස් ගණනක් තිස්සේ පවතින සංස්කෘතික බැම්මක් නිසා මෙම දෙරට අතර පවතින මිත්‍රත්වය කිසිසේත්ම සුළුපටු නොවේ. ඒ නිසා මෙම ආණ්ඩු මාරුව ගැන විමසිලිමත්වීම ශ්‍රී ලාංකිකයනට අමුත්තක් නොවේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


බුද්ධ කාලීන ඉන්දියාව “සොළොස් මහා ජනපද” යනුවෙන් කුඩා රාජ්‍යයන් දහසයකට බෙදී තිබුණු බව වංශ කතාවේ දැක්වේ. මේවා අතර ප්‍රධානම ජනපදයක් වනුයේ ගන්ධාරයයි. බෞද්ධ සාහිත්‍යයේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා ගන්ධාර රාජ්‍යය වර්තමාන පාකිස්ථානයේ විශාලම කොටසක් බව හඳුනා ගැනීමට බෞද්ධ ජනතාව සතුටු වනු ඇත. බෞද්ධ සාහිත්‍යයේ කොතෙකුත් සඳහන් වන දිසාපාමොක් ඇදුරුතුමා වාසය කළේ ගන්ධාරයේ තක්ෂිලා නගරයේ බව ප්‍රකට කරුණකි. ජම්බුද්වීපයේ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ, සිටුවරුන්ගේ, කුල ප්‍රධානීන්ගේ සහ බොහෝ ප්‍රභූන්ගේ පුතුන් අධ්‍යාපනය ලැබුවේ මෙම දිසාපාමොක් ඇදුරුතුමාගෙන් බව සඳහන් වේ. මේ සා පිරිසක් තක්ෂිලාවට පැමිණියේ නම් එක් ඇදුරෙකුට පමණක් එය සිදුකළ හැකි කාර්යයක් නොවේ. එසේ නම් එය සරසවියක් වූවා නිසැකය. එසේ නම් පසුව අංගුලිමාල බවට පත්වූ “අහිංසක” තරුණයා ද මෙම සරසවියේ උපාධිධාරියෙකි. බෞද්ධ සාහිත්‍යයේ උසස්  තැනක් හිමිකර ගන්නා මිලින්ද ප්‍රශ්නය සිදුවූයේ ගන්ධාරයේ බව කියවේ. එහි නාගසේන හිමියෝ ගන්ධාරයේ උගතෙකි. එමෙන්ම මහා වංශයේ සඳහන් වන කරුණක් කෙරෙහිද අපේ අවධානය යොමුවිය යුතුය. දුටුගැමුණු රජතුමා සිදුකළ අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑයේ ධාතු නිධානෝත්සවයට දඹදිව සෝෂිකාරාමයේ සිට උරුධම්ම රක්ඛිත තෙරපාණන් වහන්සේගේ නායකත්වයෙන් සංඝයා වහන්සේ 30,000 ක් සහ උත්තීරණ මහතෙරුන් වහන්සේගේ නායකත්වයෙන් කාශ්මීරවාසී සංඝයාවහන්සේ 2,80,000 ක් ලංකාවට  වැඩි බව මහා වංශයේ සඳහන් වේ. මෙම සංඛ්‍යාවන් ගැන මතභේද පැවතිය හැකි වුවත් මේ ප්‍රදේශ දෙකම වර්තමාන පාකිස්ථානයේ කොටස් ලෙස සැලකීමේදී දෙරට අතර සබඳතාවල ශක්තිමත් බව වටහාගත හැක.


පසුකාලීනව මෙම ප්‍රදේශවල බුදුසමය අහෝසි වී ගිය බව කියනු ලැබේ. තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ධර්මාශෝක රජතුමා රටවල් ගණනාවකට ධර්ම දූතයන් පිටත් කිරීමට කටයුතු කරන ලදී. මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රධාන දූත පිරිස ලංකාවට පැමිණියේ ඒ අනුවය. එසේම මජ්ඣන්තික මහ රහතන් වහන්සේගේ නායකත්වයෙන් ගන්ධාරයට ද දූත පිරිසක් යැවූ බව අපේ වංශ කතාවේ දැක්වේ. ගන්ධාරය යනු වර්තමාන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ආදීකොට ඇති වයඹ දිග කලාපය බව මුලින් සඳහන් කළෙමි.

සියවස් ගණනාවක් ගතවී ගියේය. ඒ අතර වාරයේ මෙසිඩෝනියාවේ සිට පැමිණි ඇලෙක්සැන්ඩර්, මොංගෝලියාවෙන් ආ ජෙන්ගිස් ඛාන්, ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි ටිප්පු සුල්තාන් සහ බාබුර් ආදී ආක්‍රමණිකයෝ වයඹ දිග ඉන්දියාව සටනින් අල්ලාගෙන කලක් පාලනය කළහ.


බාබුර්ගෙන් ආරම්භ වන මෝගල් රාජවංශය උතුරු දිග ඉන්දියාවේ වෙනම සංස්කෘතියක් බිහි කිරීමට සමත් විය. ඉස්ලාම් ආගම තහවුරු වූ අතර ටජ්මහල් ආදී සංස්කෘතික සිහිවටනයන් ද ගොඩනැගුණේ එම යුගයේදීය. මහා අක්බාර්, හුමායුං කබීර්, ෂා ජෙහාන් ආදී මෝගල් පෙළපතේ රජවරු කාමභෝගි ජීවිත ගතකිරීම සඳහා තම රාජ්‍ය බලය උපයෝගී කරගත්හ.


“කොරේ පිටට මරේ” කීවාක් මෙන් භාරත දේශය යටත්කර ගැනීමට බි්‍රතාන්‍යයෝ සමත්වූහ. පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ධජය යටතේ කුළුබඩු සොයා පැමිණි ඔවුහු කෙටි කලකින්ම රාජ්‍ය පාලකයන් බවට පත්වූහ. දකුණේ කොමරින් තුඩුවේ සිට උතුරේ කයිබර් දුර්ගය දක්වා පැතිර තිබූ මේ මහා රාජ්‍යය බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ අග්‍ර මාණික්‍යය වූ බව කියනු ලැබේ. ඉන්දීය අර්ධ මහාද්වීපය සතු සියලු සම්පත් හා ජනයා වෙතින් උපයා ගත් බදු මුදල්වල සාරය තම මව්බිමට ගෙන ගොස් එම භාණ්ඩාගාරය පිරවීමට බි්‍රතාන්‍යයෝ කටයුතු කළහ. ජාතික ධනය අහිමිවීම පමණක් නොව උතුම් ජාතික නිදහස නොමැතිව වහල්භාවයේ පතුලට වැටීමේ අවමානය ද ඉන්දියානුවන් දරා ගත්තේ ඉතා අපහසුවෙනි. දේශබන්ධු චිත්ත රන්ජන් දාස්, ලාල් ක්‍රිෂ්ණා ගෝඛලේ, ලෝකමාන්‍ය බාල ගංගාධාර තිලක්, මොතිලාල් නේරු,  මව්ලානා මොහමඞ් අලි, ආචාර්ය මොහමඞ් ඉක්බාල් ආදීහු එක්ව ජාතික නිදහස් සටන ආරම්භ කළහ. පසුකාලීනව එම සටනට එක්වූ මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, සර්දාර් වල්බායි පතේල්, රාජේන්ද්‍ර ප්‍රසාද් ආදී නායකයෝ එය වඩාත් පෝෂණය කළහ. නිදහස් සටන උද්වේගවත්ව ඇවිළෙමින් තිබුණි.


ඉන්දියානු සමාජය වූ කලී අතිශය සංකීර්ණ වූවකි. සියයකට අධික භාෂාවන් එරට තුළ භාවිත වේ. අදහන ආගම් ගණන ද නිමක් නැත. මෙවැනි බහුවිධ සමාජයක වරින් වර නොයෙකුත් ගැටුම් ඇතිවීම අතිශයින්ම ස්වභාවිකය. මෙම ජනවර්ග සහ ආගම් අතරින් ප්‍රධාන බෙදීම වූවේ හින්දු සහ මුස්ලිම් ආගමික දෙපාර්ශ්වය අතරය. ඉතා සුළු කරුණු පදනම් කර ගනිමින් වරින්වර ඇතිවන මෙවැනි ගැටුම් සුදු පොලිස් නිලධාරින් විසින් තව තවත් අවුළුවන ලදී. බොම්බාය, කල්කටාව, අග්‍රා ආදී ජනාකීර්ණ නගරවල ඇතිවුණ මෙවැනි අර්බුද නිමවූයේ සිය ගණන් ජීවිත හානි සිදුවීමෙනි. එහෙත් බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදීමේ පොදු අරමුණෙන් යුතුව සිටි ඉන්දියානුවෝ මෙවැනි හින්දු - මුස්ලිම් ගැටුම් ඇතිවූ නොබෝ දිනකින්ම ඒවා අමතක කර සහෝදරත්වයෙන් කටයුතු කිරීම ඇරඹීම නිතරම සිදුකළහ.


මෙම යුගයේ දාර්ශනිකයෙකු මුස්ලිම් දර්ශනය පිළිබඳ පඬිවරයෙකු සහ චින්තකයෙකු ද වූ මොහමඞ් ඉක්බාල් නම් පඬිවරයෙක් ඉන්දියාවේ වාසය කළේය. පන්ජාබයේ ලාහෝර නගරය මුල් කරගෙන තම ශාස්ත්‍රීය කටයුතු කරගෙන ගිය මෙම සුවිශේෂි පුද්ගලයා තමාගේ මනසෙහි හටගත් අදහසක් රටට ප්‍රකාශ කළේය. එනම් මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ජීවත්වන ප්‍රාන්තයන් වූ පන්ජාබය, සින්ද්, වයඹ දිග දේශ සීමා ප්‍රාන්තය හා කාශ්මීරයෙන් කොටසක් ඇතුළත් කර වෙනම රාජ්‍යයක් පිහිටුවිය යුතු බවත් එය ඉන්දියාවේ මුස්ලිම් ජනතාවගේ නිජබිම වශයෙන් පිළිගත යුතු බවත්ය. මෙය කිසිදිනක සිදුකළ නොහැක්කක් බව බොහෝ මුස්ලිම්වරු ද ප්‍රකාශ කළහ. එහෙත් සංකල්පයක් වශයෙන් මුස්ලිම් ජනතාවගේ පක්ෂපාතීත්වය මේ කෙරෙහි යොමුවනු දක්නා ලදී.


මෙය හුදු මතිමතාන්තරයකට පත්වීමට බි්‍රතාන්‍ය පාලකයෝ ඉඩ නොදුන්ය. බෙදා පාලනය කිරීම යටත් විජිත පාලකයන්ගේ පොදු උපක්‍රමයකි. ඉන්දියාවේ පාලනය බොහෝ කාලයක් තමන්ගේ අතෙහි පවත්වා ගැනීමට නම්  මෙම හින්දු - මුස්ලිම් මත භේදය දිගටම පවත්වාගෙන යා යුතු බව බි්‍රතාන්‍යයෝ තීන්දු කළහ. මහත්මා ගාන්ධිගේ නායකත්වයෙන් නිදහස් සටන ඉදිරියට ඇදෙද්දී මුස්ලිම් පාර්ශ්වය භේදකර මෙම සටනින් ඉවත් කිරීමට බි්‍රතාන්‍යයෝ උපක්‍රම යෙදූහ. එවකට ඉන්දියාවේ මුස්ලිම් ලීග් නමින් පැවැති දේශපාලන සංවිධානයේ නායකත්වය ගෙන සිටියේ මොහමඞ් ජින්නා නැමැති නීතීඥයෙකි. බි්‍රතාන්‍යයේ ලින්කන් ඉන්හි අධ්‍යාපනය ලැබූ ඔහු මුල් යුගයේදී ජාතිවාදි ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ මධ්‍යස්ථ මතධාරියෙකු වූ නමුදු පසුකාලීනව “මුස්ලිම් ජනයා සඳහා වෙනම රටක් බෙදා වෙන්කර දිය යුතුය.” යන මතයේ තරයේ එල්බ ගත්තා පමණක් නොව එම අරගලයේ නායකයා බවට ද පත්විය. කිසි දිනක සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම භාවිත නොකළ මොහමඞ් ජින්නා ඇන්දේ යුරෝපීය ඇඳුම පමණි. එංගලන්තයේ උගත් නීතිඥයෙකු වූ ඔහු ඉන්දීය දේශපාලනයේ නොතකා හැරිය නොහැකි නායකයෙකු බවට පත්වූවේ මුස්ලිම් ජනතාවගේ නායකයාය යන පදනම තහවුරු කර ගැනීමට ජින්නා සමත් වූ නිසාය.


දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වූ විට ඉන්දියාවට නිදහස ලබා දීමට බි්‍රතාන්‍යයට අවශ්‍ය විය. එහෙත් මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම රටක් ඇති කිරීමටද ඔවුන්ගේ අවශ්‍යතාව විය. මෙය තුළ මහා රුධිර ගංගාවක් නිර්මාණය වීමේ අවදානම පෙනී ගොස් බි්‍රතාන්‍යය, මුස්ලිම් රාජ්‍යයක් ඉල්ලා ජින්නා ගෙන ගිය අරගලය පිළිගත්තේය.


රට බෙදා උතුරේ පාකිස්ථානයක් නිර්මාණය කිරීමේ වගකීම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයා වූ ජෝර්ජ් රජු විසින් පාර්ලිමේන්තුවේ ද අනුමැතිය ඇතිව භාර කරනු ලැබුවේ රජුගේ ඥාති සොහොයුරෙකු වූත් උසස් නාවික හමුදා නිලධාරියෙකු වූත් අද්මිරාල් මවුන් බැටන් සාමිවරයාටය. ඔහු ඉන්දියාවේ බි්‍රතාන්‍ය ප්‍රතිරාජයා ලෙස පත්ව ඒමෙන් පසු දිගටම කටයුතු කළේ අඩු විපත් සංඛ්‍යාවක් ඇතිව රට බෙදීමටය. ඉන්දියානු මහා රාජ්‍යයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රාන්ත තිබුණේ හතරකි. එයින් සින්ද්, වයඹ දිග දේශ සීමා ප්‍රාන්තය අති බහුතරය ඉස්ලාම් ආගම අදහන්නන්ගෙන් සමන්විත විය. ඒ නිසා ගැටලු අඩු විය. එහෙත් පාකිස්ථානය නිමවීමේදී එයට අයත් විය යුතු පන්ජාබය හා බෙංගාලය එබඳු නොවීය. පන්ජාබයේ හින්දු හා ෂික් ජනතාව ද බහුල විය. බෙංගාලයේ නැගෙනහිර මුස්ලිම් බහුතරයක් තිබියද බටහිර සිටියේ හින්දුන්ය. මෙම ප්‍රාන්ත දෙකේ භූමිය බෙදීම් අතිශය සංකීර්ණ ගැටලුවක් බවට පත් විය. මවුන්ට් බැටන් සාමිවරයා මේ සඳහා තෝරා ගත්තේ ප්‍රකට බි්‍රතාන්‍ය නීතිඥවරයෙකු වූ සිරිල් රැඞ්ක්ලිෆ්ච් මහතාය. ඔහු ඉන්දියාවට කිසි දිනක පැමිණ නොතිබීමත් ඉන්දියාව ගැන වැඩි අවබෝධයක් නොතිබීමත් ඒ සඳහා තෝරා ගැනීමට සුදුසුකම විය. මෙම විශාල ප්‍රාන්ත දෙක බෙදා වෙන්කිරීම පක්ෂ භජනයකින් තොරව සීමා මායිම් සලකුණු කිරීම ඔහුට පැවරුණු වගකීම විය. දින ගණනාවක් ඇතුළත එය නිමකළ යුතු විය. සරු නිසරු ආදී භෞතික ආකල්ප ගැන කිසිදු තැකීමක් නොකළ සිරිල් රැඞ්ක්ලිප්ඞ් තම වගකීම ඉටු කළේය. සරුසාර පන්ජාබයේ ඕනෑම බිම් අඟලක් මනුෂ්‍ය ජීවිතයක ඉරණම තීන්දු කරන්නක් බවට පත්ව තිබුණි.

 

 

 


මතු සම්බන්ධයි.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.