මෙයට වසර පනහකටත් වඩා ඈත අතීතයක දී මා පාසැල් සිසුවෙකුව සිටියදී ජීව විද්‍යාව නමින් යුතුව පැවති විෂයට අදාළව ඉගෙන ගත් පාඩමක් මගේ සිහියට නැගේ. එය අයත් වූවේ ඇමීබා නමැති ඒක සෛලික සත්වයා පිළිබඳවය. ජීව විද්‍යාව හදාළ නමුදු රෝගී ජනතාවගේ මගේ හෝ වාසනාවට හෝ වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව මට අහිමි විය. මගේ ඉරණම වූවේ දේශපාලන ක්ෂේත්‍රයේ පූර්ණකාලීන ක්‍රියාකාරිකයෙකු වීමටය. එසේ කටයුතු කළේද එවකට ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේය.


නොබෝදා මාධ්‍යයේ පළ වූ ප්‍රවෘත්තියකට අනුව මෙම කොමියුනිස්ට් පක්‍ෂය නැවතත් වරක් දෙකඩව යාමට පසුබිම සැකසෙමින් ඇති බව කියවුනි. 


පාසැල් සමයේ මා දැන කියා ගත් ඇමීබා න්‍යාය මගේ නැවතත් සිහියට නැගුණේ එම ප්‍රවෘත්තියට සමගාමීවය. ඒක සෛලික සත්වයෙකු වූ ඇමීබා තම ප්‍රජාව පවත්වා ගැනීම සඳහා නව පරපුර බිහි කරන්නේ එම ශරීරයෙන් කොටසක් වෙන් කිරීමෙන්ය. එය විභේදනය නමින් හැඳින්වූවාක් සේ මට මතකය. මෙරට කොමියුනිස්ට් පක්‍ෂයේ කටයුතු කිරීමෙන් මා ලැබූ අත්දැකීම් අනුව මට වැටහී ගිය සත්‍යය වූවේ ඇමීබා න්‍යාය මෙරට වාමාංශික හා විප්ලවවාදී ව්‍යාපාරයේ ජන්ම දෝෂයක් බවට පත්ව ඇති බවයි. බෙදි බෙදී බිඳි බිඳී ගොස් ඇමීබාවන් බෝවන්නාක් මෙන් වමේ පක්‍ෂ ගණන වැඩිවෙනවා හැර, බොහෝ කලක් මෙම පක්‍ෂවල අනුගාමික පිරිස් බලාපොරොත්තු වූ ශ්‍රී ලංකා සමාජවාදී විප්ලවය ගැන සිතීම පවා මුළාවක් බවට පත් විය.


අපේ මේ කතාව ආරම්භ කළ යුතු වන්නේ වර්තමානයේ ජර්මන් රාජ්‍යයට අයත්වන රයින් ගඟබඩ ප්‍රදේශයේ ටී්‍රර් නගරයෙනි. 1818 මැයි 05 වැනිදා මෙම නගරයේ උපන් දරුවෙකුට කාල් මාක්ස් යැයි නම් තැබුණි. නීතිඥයෙකු වූ හෙන්රි මාක්ස්ට දාව හෙන්රියටා මාක්ස් නම් කාන්තාවක කුසින් උපත ලද මෙම දරුවා පසු කලෙක දාර්ශනිකයෙකු හා චින්තකයෙකු බවට පත් වූවේ ඔහුගේ බුද්ධි ප්‍රභාව ලොවටම ප්‍රකට කරවමිනි.
කාල් මාක්ස් ඔහුගේ කල්‍යාණ මිත්‍රයා වූ ෆෙඞ්රික් එංගල්ස් සමග එක්ව සකස් කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනය නමැති ලියවිල්ල ලෝකයාට නවතම දේශපාලන සංකල්පයක් හඳුන්වා දීමක් විය. චාල්ස් ඩාවින් ඓන්ද්‍රිය ලෝකයේ රීතීන් හෙළි කළාක් මෙන්ම කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් විසින් මිනිස් ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ රීතින් හෙළි කරන ලදී. අනෙකුත් සියල්ලටම පෙර මිනිසුන්ට ආහාර ඇඳුම් හා නිවාස තිබිය යුතුයැයි ද දේශපාලනය, විද්‍යාව, කලාව සහ ආගම ආදී දේවල් නතර වීමට පෙර මිනිසුනට පෙරකී දේ අවශ්‍යය යැයිද හෙළි කළ මාක්ස් මේවා සියල්ලක්ම මීට පෙර දෘෂ්ටිමය ආවරණයන්ගෙන් වැසී තිබුණු බවද පෙන්වා දුන්නේය. ජනතා ආර්ථිකය සංවර්ධනයේ හෝ යුගයක සංවර්ධනය හෝ රඳා ඇත්තේ ද්‍රව්‍යමය මාධ්‍යයන් නිපදවීමේ මට්ටම අනුව බවත් රාජ්‍යය, ඒ සතු ආයතන, නීතිය පිළිබඳ සංස්ථා කලාව සහ ආගම පිළිබඳ ආකල්පයන් පවා ඇති වන්නේ මෙම සංවර්ධන මට්ටම අනුව බවත් එබැවින් එය වසන් නොකොට සම්පූර්ණයෙන් හෙළි කළ යුතු බවත් මාක්ස් සහ එංගල්ස් පෙන්වා දුන්හ. එම දර්ශනයේ ව්‍යුහයට අනුව මිනිසා විසින් පීඩාවට පත් කරන ධනේශ්වර ප්‍රතිපත්තියට සහ ව්‍යවසායක ලාභය අයත් විය යුත්තේ ප්‍රාග් ධනයට නොව ශ්‍රමයට බව කියන ආර්ථික දර්ශනයක්ද ඔවුහු නිර්මාණය කළහ. එයින් මතු කළ දේශපාලන වැඩ පිළිවෙළක් ද වූ අතර පෙර සඳහන් කළ සූරාකෑමට ලක් වූ නිර්ධන පංතිය ආයුධ සන්නද්ධ විප්ලවයක් සිදුකර ආයුධ බලයෙන් රාජ්‍ය බලය අත් කර ගත යුතු යැයිද ප්‍රකාශ විය. මෙම දේශපාලන හා ආර්ථික වැඩ පිළිවෙළ මාක්ස්වාදය බවට ලෝකයේ හැඳින්වීමට පටන් ගැනුණි. මෙම නව දේශපාලන ක්‍රමයේ අග්‍ර ඵලය වන්නේ සාමුහික නිෂ්පාදනය හා සාමුහික පරිහරණය නම් වූ උත්තරීතර සමාජ මට්ටම බවද ඔව්හු ප්‍රකාශ කළහ. එම අවස්ථාව කොමියුනිස්ට් සමාජයක් ලෙසද හඳුන්වනු ලැබූහ.


ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන් යුරෝපයේ කාර්මික දියුණුව පැවති රටවල කම්කරු පංති ජනතාව අතර මෙම නව මතවාදය ඉතා ජනප්‍රිය වූ බව කියවේ. නොයෙක් රටවල කම්කරු ජනතාවගේ ආශිර්වාදයෙන් කොමියුනිස්ට් පක්‍ෂ බිහිවීම ආරම්භ විය.


එලැඩිමීර් ඉලියනොව් ලෙනින්, ජෝසප් විසරියානොව් ස්ටාලින්, ලියොන් ට්‍රොට්ස්කි යනාදී නායකයන්ගේ මෙහෙයවීමෙන් 1917 ඔක්තෝම්බරයේදී සෝවියට රුසියානු විප්ලවය ජයග්‍රහණය කිරීම මෙම කොමියුනිස්ට් ව්‍යාපාරයේ උච්චතම අවස්ථාවක් විය. පෙර සඳහන් කළ නායකයෝ සියළු දෙනාම මාක්ස් ලොවට හඳුන්වා දුන් කොමියුනිස්ට්වාදී දේශපාලන දහම හිස් මුදුනින් පිළිගත් අය වූහ. එවකට රුසියානු අධිරාජ්‍ය පාලනය කළ සාර් රජුගේ මර්දනකාරී පාලනය පෙරළා දැමීමේදී අනුගමනය කළ උපාය මාර්ග සියල්ලම පාහේ කොමියුනිස්ට්වාදයට අනුගත ගොවි කම්කරු විප්ලවයේ මූලිකාංගවලින් යුක්ත වූ බව කියනු ලැබේ. ලොකු කුඩා රාජ්‍යයන් විස්සක් පමණ ඒකාබද්ධ කර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය යැයි නම් ලද බලවත් රාජ්‍යය බිහිවූයේ ඒ අනුවය. එතැන් පටන් ලොව පුරා සිටින කොමියුනිස්ට්වාදීහු තමන්ගේ පරමාදර්ශි නායකයා ලෙස අනුගමනය කළේ සෝවියට් නායක ලෙනින්ය. එනිසා මෙකී දේශපාලන ගමන් මගේ නිර්මාතෘවරයා වූ මාක්ස්ගේ සහ එම ක්‍රමය මහපොළව මත යථාර්ථයක් බවට පත් කළ ලෙනින්ගේද නම්වලින් යුක්තව මාක්ස් ලෙනින්වාදය නමින් ප්‍රකට වූවේය.


නාසි නායක හිට්ලර්ගේ හමුදා පෝලන්තයට පහර දීම නිසා 1939 දී දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූවේය. එය බි්‍රතාන්‍ය අධිරාජ්‍යය සහ ප්‍රංශ අධිරාජ්‍ය සතු භූමි ප්‍රදේශ අයත් කර ගැනීමේ උවමනාව මත ජර්මනිය ඇති කළ යුද්ධයක් යැයි ප්‍රකාශ කළ ලොව පුරා වෙසෙන මාක්ස්වාදීහු කිසිම පිලක් නොගෙන නිහඬ පිළිවෙතක් අනුගමනය කළහ. එවකට ලංකාවේ පිහිටුවා තිබුණු එකම මාක්ස්වාදී පක්‍ෂය වූ ලංකා සම සමාජ පක්‍ෂය අනුගමනය කළේද මෙම ප්‍රතිපත්තියයි.


යුද්ධය උග්‍ර අතට හැරෙද්දී ආහාර හිඟයෙන් පීඩා විදි හිට්ලර්ගේ නට්සි හමුදාවෝ තිරිඟු සහ තෙල්වලින් පොහොසත් සෝවියට් රුසියානු ප්‍රදේශ ගණනාවක් ආක්‍රමණය කළහ. තම ජාතික ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා රුසියානු රතු හමුදාව සටනට වන්හ. මෙම සටනේදී රුසියානුවෝ දස ලක්‍ෂ විස්සක් දිවි පිදූහ. දිගු කතාවක් කෙටියෙන් කිවහොත් රුසියානු රතු හමුදාව නාසි ආඥා දායකත්වයට යටත්ව පැවති රුමේනියාව, චෙකොස්ලෝවේකියාව, පෝලන්තය, හංගේරියාව, බල්ගේරියාව, යුගොස්ලෝවියාව, හංගේරියාව පමණක් නොව ජර්මනියෙන් සහ එහි අගනුවර වූ බර්ලිනයෙන් අඩක්ද අල්ලා ගත්හ. 
සෝවියට් දේශය මහා යුද්ධයට මැදිහත් වීමත් සමගම ලොව පුරා වෙසෙන කොමියුනිස්ට් වාදීහු තම මතය වෙනස් කළහ. ලෝකයේ ප්‍රථම කම්කරු රාජ්‍යය සහ ලෙනින්ගේ රාජ්‍යයද වූ සෝවියට් දේශය ආරක්‍ෂා කර ගැනීම පිණිස යුද්ධයට සහාය දිය යුතු යැයි ඔව්හු තීරණය කළහ. යුද්ධය වෙනුවෙන්, ආයුධ නිෂ්පාදනය කිරීම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය, මහාමාර්ග ඉදිකිරීම, රෝහල් සේවා වැනි නොයෙකුත් කටයුතුවලට මෙම කම්කරුවෝ සහාය දුන්හ.


මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් යුද්ධයේ ගමන් මග වෙනස් වූවේය. සෝවියට් රුසියාවේ අවි ශක්තිය, පිරිස් බලය පමණක් නොව ලොව පුරා වැඩ කරන ජනයාගෙන් බහුතරයකගේ සහායද හේතු කොටගෙන බි්‍රතාන්‍යය, ප්‍රංශය ප්‍රධාන මිත්‍ර කඳවුර ජයග්‍රාහී මාවතට අවතීර්ණ විය.

 

 


මතු සම්බන්ධයි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ