ලෙනින් නායකත්වය දෙන ලද කොමියුනිස්ට් පක්ෂය සිවිල් යුද්ධයේ සියලු බරපතළ අමාරුකම් හා හිරිහැර මැදින් සෝවියට් ජනතාව කාර්යක්ෂම ලෙස හා අභීතව මෙහෙයවීය. එහෙත් ආර්ථික පුනර්ජීවනය කරා යන මාවතේ නව බරපතළ දුෂ්කරතා පැන නැගිනි. අධිරාජ්‍යවාදීහු සෝවියට් සමූහාණ්ඩුව සන්නද්ධ බලයෙන් විනාශකර දැමීමට අසමත් වී සිටියහ. එහෙත් ඔවුන් කොතෙක් දුරට රට විනාශ මුඛයට පත්කර තිබුණේද යත්, ලෙනින් පැවසූ පරිදි ඔවුන්ගේ අඩක් විසඳී තිබුණි.


කාර්මික නිෂ්පාදිතය අඩුම පූර්ව යුද සංඛ්‍යාවෙන් හතෙන් පංගුවක් විය. දරුණුම පහරක් වැදී තිබුණේ ධවල හමුදා හා විදේශ ආක්‍රමණික හමුදා වරෙක අත්පත් කරගෙන තිබූ ප්‍රදේශවල කම්හල්වලටය. බොහෝ ව්‍යවසායයන් ඉන්ධන හා අමුද්‍රව්‍ය නොමැතිකමින් අකර්මණ්‍යව තිබුණි. අමු යකඩ සහ කපු කෙඳිවල ඒකජනක නිෂ්පාදනය පිළිවෙළින් කිලෝග්‍රෑම් එකක් සහ මීටර් එකක් බැගින් විය. දුම්රිය ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම ව්‍යාකූලත්වයට පත්වී තිබුණි. නගරවල කම්කරුවෝ සාගින්නෙන් පෙළුණෝය.


කෘෂි කර්මාන්තය අන්ත විනාශයකට පත්වී තිබුණි. සිවිල් යුද්ධ සහ ආක්‍රමණ සමයේ, ගොවීහු ඔවුන්ට ඉඩම් ප්‍රදානය කළාවූද, ඔවුන් ඉඩම් හිමියන්ගේ වියගසින් නිදහස් කළාවූද, සෝවියට් ආණ්ඩුවට ආධාර කළහ. ඔවුන් සියලු දුෂ්කරතා ඉවසා තිබුණි. ඔවුන් බොහෝ කැපකිරීම් කර තිබුණි. යුද කොමියුනිස්ට්වාදී පිළිවෙත පිළිගෙන තිබුණි. එහෙත් රට සාමකාමී නිර්මාණයකට පා තබත්ම, අතිරික්ත පවරා ගැනීමේ ක්‍රමය කෙරෙහි ගොවියෝ අතෘප්තිය ප්‍රකාශ කිරීමට වූහ. ඔවුන්ගේ ගොවිපළවල් පිළිසකර කිරීම පිණිස ඔවුහු නිෂ්පාදිත භාණ්ඩ ඉල්ලා සිටියෝය. එහෙත් ඒවා එකකුදු නොවීය. ඔවුන්ගේ ශ්‍රමයෙන් ඉපයූ භාණ්ඩ නිදහසේ පරිහරණය කිරීමට, ඔවුන්ගේ නිෂ්පාදිතය වෙළෙඳපොළේ විකිණීමටත්, නිෂ්පාදිත භාණ්ඩ සාධාරණ මිලකට ගැනීමටත්, ඔවුන්ට උවමනා විය. එහෙත් මෙම කටයුතු යුද සමයේ තහනම් කරනු ලැබ තිබුණි.


නව සමාජ ක්‍රමයේ සතුරෝ ගොවීන්ගේ මෙම අතෘප්තිය ඔවුහූ සෝවියට් බලයට එරෙහිව උසිගැන්වීම් වස් සිය වාසියට හරවා ගත්තෝය. මධ්‍යම රුසියාවේ ස්ථාන ගණනාවකද, යුකේනයේද, දොන් ප්‍රදේශයේ සහ සයිබීරියාවේද, කැරලි ඇති කිරීමට ඔවුහු සමත් වූහ. මෙම කැරලිවලට ඇතැම් මැද ගොවීහුද, සම්බන්ධ වූහ. 1921 මාර්තුවේ ක්‍රන්ස්තද්ට් හි ප්‍රතිවිප්ලවකාරී කැරැල්ලක් හට ගත්තේය.


සමූහාණ්ඩුවේ ඉතිහාසයෙහි උද්ගතවූ මෙම බැරෑරුම් මොහොතේ ලෙනින්, ආර්ථික ප්‍රතිපත්තියේ දැඩි ප්‍රතිවර්තනයක් අභීතව යෝජනා කිරීමෙන් ඔහුගේ බුද්ධිය යළිත් අලුතෙන් ප්‍රකාශිත විය. ලෙනින් විසින් සකස් කරන ලද නව ආර්ථික ප්‍රතිපත්තිය 1918 දී සෝවියට් ආණ්ඩුවේ හදිසි කර්තව්‍යයන් යන හිසින් ඔහු විසින් ලියන ලද පොත් පිංච සැලසුම් කර තිබූ සමාජවාදී ආර්ථිකයක් සඳහා පදනම සකස් කිරීමේ සැලැස්මෙහි වර්ධනයකි.
කාර්මික මධ්‍යස්ථානවල ධාන්‍ය සහ අමුද්‍රව්‍ය අවශ්‍යතා සැපයීමට කෘෂි කර්මාන්තය අසමත් හෙයින් ජාතික ආර්ථික පුනරුත්ථාපනය කෘෂිකර්මාන්තයෙන් ආරම්භ කළ යුතු යැයි ලෙනින් කීය. මෙය නොමැතිව කාර්මික පුනර්ජීවනය සහ බැර කර්මාන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය දෑ එක්රැස් කිරීම උගහට වනු ඇත.


රුසියාව බහුල වශයෙන් කුඩා පරිමාණ ගොවිතැන සහිත රටක් බව ඔහු කීය. කම්කරු පංතිය දශ ලක්ෂ ගණන් ගොවීන් සමග යහපත් සම්බන්ධතා පවත්වාගෙන යා යුතුය. ඔවුන්ට යළි අධ්‍යාපනය දිය යුතු අතර ඔවුන් සමාජවාදී නිර්මාණයට සහභාගි කරගත යුතුය. මෙය කළ හැකි වූයේ නව ආර්ථික ප්‍රතිපත්තියකින් පමණි.


අතිරික්ත පවරාගැනීමේ ක්‍රමය වෙනුවට ද්‍රව්‍ය බද්දක් අය කළ යුතු යැයිද ධාන්‍ය සහ අනෙකුත් ආහාර අතිරික්ත පෞද්ගලිකව විකිණීමට අවසර දිය යුතු යයිද ලෙනින් යෝජනා කළේය. ඔහු වෙළඳාම නිසියාකාර සංවිධානය කිරීමේ සහ සමුපකාර ප්‍රතිසංවිධානය කිරීමේ කර්තව්‍යය පක්ෂයට පැවරීය. කොමියුනිස්ට්වරුන් වෙළඳාම් කිරීමට උගත යුතු යයිද, ධනපතියන්ට වඩා හොඳින් වඩා ලාභ සහ වඩා හොඳ හුවමාරු භාණ්ඩ කම්කරුවන්ට හා ගොවියන්ට සැපයිය යුතු යයිද, ඔහු කොමියුනිස්ට්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. මෙය වැඩිවැඩියෙන් ධාන්‍ය නිෂ්පාදනය කිරීමට ගොවීන් දිරිගැන්වීමක් වන අතර සමස්ත ජාතික ආර්ථිකය පුනරුත්ථාපනය කිරීමට සහ සංවර්ධනය කිරීමට රුකුලක් වනු ඇත. නව ආර්ථික පිළිවෙත කම්කරු පංතිය හා ගොවිජනතාව අතර සන්ධානය ශක්තිමත් කිරීමට සෝවියට් බලය තහවුරු කිරීමටත් හේතුවනු ඇතැයි ඔහු පැහැදිලි කළේය.
ධනවාදයේ සිට සමාජවාදය කරා සංක්‍රාන්ත වන අවධියේ එකම නිවැරදි පිළිවෙත වූයේ නව ආර්ථික පිළිවෙතයි. මුලදී එක්තරා පසු බැසීමක් ඉන් හැඟින. එය ධනවාදයේ අර්ධ පුනරුදයකට තුඩුදුන් පෞද්ගලික වෙළෙඳාම හා පෞද්ගලිකව කම්කරුවන් සේවයේ නියුතු කිරීමට අවසර දුන් හෙයිනි. එහෙත් මෙය තාවකාලික පසුබැසීමක් වූ අතර සෝවියට් ක්‍රමයට අනතුරක් නොවීය. බලය රැඳී තිබුණේ කම්කරුවන් හා ගොවීන් අතෙහිය. කර්මාන්ත, භූමිය, බැංකු, දුම්රිය, ගංගා සහ සාගර ප්‍රවාහන කටයුතු රාජ්‍ය අයිතියට යටත්ව තිබුණි.


1921 පවත්වන ලද පක්ෂයේ දහවෙනි සම්මේලනය රටෙහි දේශපාලන හා ආර්ථික ජීවිතයේ ප්‍රධානතම ප්‍රශ්න සම්බන්ධයෙන් තීරණවලට එළඹිණ. සමුළුවේ වැඩ කටයුතු ලෙනින්ගේ මගපෙන්වීම යටතේ සිදුකෙරිණ. සමුළුවේ ආරම්භක හා අවසාන දේශන කළ ඔහු, මධ්‍යම කාරක සභාවේ දේශපාලන කටයුතු ගැන, අතිරික්ත පවරා ගැනීම් ක්‍රමය වෙනුවට ද්‍රව්‍ය බද්දක් අයකිරීම ගැන, පක්ෂය සමගිය සහ අරාජික සින්සිකල්වාදී පීලිපැනීම ගැන, වෘත්තීය සමිති ගැන සහ ඉන්ධන ප්‍රශ්නය ගැන වාර්තා ඉදිරිපත් කළේය. නව ආර්ථික පිළිවෙතකට මාරුවීම පිළිබඳ ලෙනින්ගේ යෝජනාව සමුළුව විසින් පිළිගන්නා ලදී. නවකත්වයන් යටතේ වෘත්තීය සමිතිවල සේවය සහ කර්තව්‍යයන් නිශ්චය කරන ලද, වෘත්තීය සමිති පිළිබඳ යෝජනාවක්ද සමුළුව අනුමත කරන ලදී. පරිපාලනයේ පාසලක්, කළමනාකරණයේ පාසලක් හා කොමියුනිස්ට්වාදයේ පාසලක් වශයෙන් විස්තර කළ වෘත්තීය සමිති පිළිබඳ ලෙනින්ගේ පිළිවෙතද සමුළුව අනුමත කරන ලදී.


රට මුහුණ පාමින් සිටි දුෂ්කරතා කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වයට අහිතකර ලෙස බලපෑවේය. 1920 වසරේ අවසානය වන විට එහි සාමාජිකත්වය 700,000 කට අධික විය. කම්කරුවන් සංඛ්‍යාව අඩකටත් අඩුවිය. ගොවීන් සිටියේ හතරෙන් පංගුවක් පමණි. ඉතිරිය, වැටුප් ලබන සේවකයන්, ශිල්පීන් හා බුද්ධිමතුන්ගෙන් සංයුක්ත විය. මෙන්ෂෙවික්වරු හා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදීහූ එක්තරා සංඛ්‍යාවක් පක්ෂය තුළම රිංගාගෙන සිටියෝය. පක්ෂ සාමාජිකයන්ගෙන් ඇතැමෙක් දේශපාලන වශයෙන් අස්ථාවර වූහ. ට්‍රොට්ස්කි, බුහාරින් සහ අනිකුත් විරුද්ධ පාක්ෂිකයෝ ඔවුන්ගේ කටයුතු යළි පණගන්වා තිබුණි. ඔවුහු සමාජවාදය ගොඩනැගීමේ ක්‍රම හා වෘත්තීය සමිතිවල කාර්යභාරය පිළිබඳ ප්‍රශ්නයේදී ලෙනින්ට එරෙහිව, පක්ෂ පිළිවෙතට එරෙහිව නැගී සිටියහ. ඔවුහු පක්ෂ විනය කඩ කළහ. පක්ෂය භේදබින්නකොට එහි ශක්තිය හීන කිරීමට ප්‍රයත්න දැරූහ.
ලෙනින් මෙම අනතුරු දුටුවේය. ඔහු පක්ෂ සමගියට තීරණාත්මක වැදගත්කමක් දුනි. එය පක්ෂයේ ශක්තියෙහි ප්‍රධානතම මූලාශ්‍රයක් ලෙස ඔහු සැලකීය. පක්ෂයේ අභ්‍යන්තර භේදබින්න වීම, නිරායාසයෙන්ම කම්කරුවන් හා ගොවීන් අතර සන්ධානය බිඳ වැටීමටත්, සෝවියට් බලය බිඳ වැටීමටත්, ධනවාදය කරා ආපසු ගමන් කිරීමටත් තුඩුදෙනු ඇතැයි ලෙනින් පෙන්වා දුන්නේය.

 

 

 

මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්