මාඕ ත්සේතුං

 

මාවෝ ඇනියන් ෂිබායි පෝ වෙත පැමිණි පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස එම කණ්ඩායමත් සමග අසල්වැසි ගමකට යවන ලදි. ලියු සිකිව් නමැති තරුණියක් ද මෙම කණ්ඩායමට ඇතුළත් වූවාය. වැඩි දවසක් යන්නට පෙර ඔවුහූ දෙදෙනා ආදරවන්තයින් බවට පත්වුහ. දෙදෙනා විවාහවීමට ද ගිවිස ගත්හ. චෞ එන්-ලායි ගේ බිරිඳ, ඩෙන්ග් යින්චාවෝ සහ සූ චි ගේ බිරිඳ, කැන්ග් කිකුයින් ගේ උදව්වෙන් යෝජිත මෙම විවාහය සඳහා මාවෝගේ අනුමැතිය ලබා ගැනිමට ඇනියන් කටයුතු කළේය.


හන් ගියුෂින් ගේ අත ගැනිමට මාවෝ මට උදව්කළ දිනයේම මාවෝ ඇනියන් ද ඔහුගේ පියා හමුවෙන්නට පැමිණියේය.


“කැන්ග් ආන්ටි මමයි, සිකිව් ගැනයි තාත්තට කීවා නේද?.”


“ඔව්.” කියවමින් සිටි ලිපි ගොනුවෙන් දෙනෙත් ඉවතට නොගෙනම මාවෝ පිළිතුරු දුන්නේය.


“එතකොට අපි දැන් ගිහින් විවාහය ලියාපදිංචි කරමුද?.”


“සිකිව් ගේ වයස කීයද?.”


“දහ අටයි.”


“ඒක එයාගෙ නාමික වයසද නැතිනම් ඇත්තම වයසද? අවංකව කියන්න.”(යමෙකුගේ නාමික වයස සාමාන්‍යයෙන් ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ වයසට වඩා වසරක් දෙකක් පමණ වැඩිවේ.)


“ඒක එයාගේ නාමික වයස. ඒත් මාස කිහිපයක වෙනසක් තියෙන්නේ.”


“එක දිනයක් හරි වෙනස් නම් හරියන්නෙ නෑ. ඒක කරන්න බෑ. යන්න මට වැඩ තියෙනවා.”


ලොකු බලාපොරොත්තු හිතේ දරාගෙන පැමිණි මාවෝ ඇනියන් එතැනින් පිටව ගියේ අවුල්වුණු සිතකිනි. ඒ සමග සසඳන කල මාවෝ මගේ විවාහය ගැන දැක්වූවේ දැඩි උද්යෝගයකි. ඒ ගැන මගේ හදවතේ දැඩි උණුසුම්බවක් සමග පොඩි තැවුල් ගතියක්ද ඇතිවිය.
මාවෝ ඇනියන් අයත්වුවේ අප ශරීර ආරක්ෂකයින් ඇතුළත් “සී” කාණ්ඩයටය. පරිපාලන කාර්යාලය ඔහු “බී” කාණ්ඩයට ඔසවා තබන්නට උත්සාහ කළ ද සභාපතිතුමා ඊට අනුමැතිය නොදුන්නේය. ඔහු ඇනියන්ට මෙසේ කිවේය. “ඔයාගේ සහෝදරිය (ලී-නේ) ළමා කාලයේ ඉඳන්ම හිටියේ “සී” කාණ්ඩයේ. ඔයා ඉන්න ඕනෑ මොන කාණ්ඩයේද කියන එක මා කියන්නෙ නැතුව ඔයාටම තේරුම් ගන්න පු`එවන් වයසකයි ඔයා ඉන්නේ.”


එදින අපි මැද මිදුලේ වාඩිගෙන ආහාර ගනිමින් සිටියෙමු. අප නිතරම වාගේ ආහාර ගත්තේ එලෙසිනි. මෙවෙලෙහි කුකුළෙක් කිකිළියක් පසුපස පන්නා ගෙන යන අතරේ කිකිළිය දිව ගියේ දුහුවිලි අවුස්සාගෙනය. මම වහා නැගිට එතැනින් ඉවත් වුණෙමි. මාවෝ ඇනියන් ඉඳ සිටිවනම ඉඳිමින් මැසිවිලි කියන්නාක් මෙන් මෙසේ මුමුනන්නට විය. “කුකුළෙකුට පවා කිකිළියක් උවමනායි. මම මිනිහෙක් වෙලත් අවුරුදු විසි හතක් යනකම් තවත් බලා ඉන්න වෙලා.”


වරදකාරි හැඟිමක් මා ඇද බැඳ තැබිය. වයස අවුරුදු විසි එකේදි මම විවාහවීමට යමි. නමුත් මාවෝ ඇනියන්ට වයස අවුරුදු විසිහතක් ගතව සිටියදිත් බලා ඉන්නට සිදුවී ඇත. මම ඔහුට එක් උපදෙසක් දුනිමි. “ඉවසගෙන ඉන්න. සභාපතිතුමා හොඳ මූණෙන් ඉන්න වෙලාවක ගිහින් මේ ගැන කතා කරන්න.”


දිනක් නැගෙනහිර චිනයේදි අපේ හමුදා සතුරු හමුදා බලඇණි හතක් සමූලඝාතනය කළ බව අපට දැනගන්නට ලැබුණි. මම මාවෝ ඇනියන්ට කතා කළෙමි. 


“සභාපතිතුමා මේ වෙලාවේ බීජිංඔපෙරා සිංදු කියමින් ඉන්නේ. ගිහින් එයාව හමුවෙන්න.” මාවෝ සතුටින් ඉන්නා විට නිතරම පාහේ උච්ච ස්වරයෙන් ගී ගයනු ඇසේ. මාවෝ ඇනියන් වහ වහා ඔහුගේ පියාගේ කාර්යාල කාමරය වෙත ගියේය.


“තාත්තා මං හෙට විවාහවෙන්නයි යන්නේ.”මාවෝ ඇනියන් සභාපතිතුමාට කීවේ ඔහු මෙය නතර නොකරණ බව හැඟවෙන ස්වරයකිනි.


“ටිකක් ඉන්න කියලා මං කීවා නේද?.”


“මේක මට තනිවම තීන්දු කරන්න පු`එවන් කාරණයක් කියලයි මා සිතන්නේ.”


“ බඳින්නේ කවුද කියලා ඔයාට තීරණය කරන්න පු`එවනි. ඒත් බඳින වයස තීරණය කරන්න බෑ. පවතින රෙගුලාසි අනුව තමයි ඒක තීරණය වෙන්නේ.”


“ඒත් බොහොමයක් දෙනා ඒ විදිහට බඳිනවා....”


“නමුත් ඔයා මාවෝ ත්සේතුංගේ පුතා.” මාවෝ ලියන තීන්ත බුරුසුවෙන් තීන්ත ගලට ගැසුවේය. “ඔයත් කරන්නේ නැතිනම් ඒ රෙගුලාසවලට අනුව වැඩකරන්නේ කවුද?”


මාවෝ ඇනියන් නීරස හැඟීම්වලින් යුතුව පිටව ගියේය. මාවෝ තරහින් මිමිනීය. “මගේ සතුට කාලා දැම්මා.”

 

 

 

 

 

 

 

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත