මානව ඉතිහාසයේ පහළ වූ කෲරතම, ම්ලේච්ඡ හා දරුණු පාලකයා කවුරුන්දැයි යන ප්‍රශ්නයට බොහෝ දෙනාගේ ඒකමතික පිළිතුර ජර්මනියේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් බවය. වධ කඳවුරු, යුදෙව් ඝාතන, ප්‍රංශ, පෝලන්ත, චෙක්, රුසියා ආක්‍රමණ, ඊවා බ්‍රවුන්, නාසි සෙබළු යනාදී හිට්ලර්ගේ අනන්‍යතා සාධකවලින් ඔබ්බට ගිය විස්තර මේ ලිපියේ අන්තර්ගතය. සිය දෑතින් කිසිඳු පුද්ගලයෙකු ඝාතනය කර නැති ඔහු ජීවිත මිලියන 11 ක් වෙනුවෙන් ඍජුව වග කිව යුත්තාද වේ. මෙම ලිපියේ අරමුණ හිට්ලර්ගේ ජීවිත කතාව හෝ ඔහුගේ කාර්යය පිළිබඳ හෝ කෲරත්වය සඳහන් කිරීම නොව ඔහු පිළිබඳ නොදත් තතු හෙළි කිරීමට උත්සාහයක් ගැනීමය. ඔහුගේ දර්ශනය, ක්‍රියාකලාපය කෙසේ වුවත් ලෝකයේ බිහිවූ වියරු ඝාතකයා වූද මිනිස් ඉතිහාසය වෙනස් මගකට හැරවීමට සමත් වූ පාලකයකුගේ කාර්ය සාපල්‍ය නිරවද්‍ය කිරීමක් හෝ සාධාරණීකරණය කිරීමක් නොව ඔහු පිළිබඳ කුමනාකාරයේ හෝ මෙහි සඳහන් වන්නේද ඉන් අල්ප මාත්‍රයක් පමණි.

උක්ත සඳහන් කළ පරිදි ඔහු මනුෂ්‍ය ඉතිහාසයේ වියරු ඝාතකයා බවත් යුදෙව් සංහාරයේ පෙරගමන්කරු බවත් සැබෑය. ජාතිවාදයේත් ආගම්වාදයේත් සම්පූර්ණ වැරදි පැත්තෙන් අල්ලා ගත් ඔහු විසින් ඒ වන තෙක් පැමිණි මානව ශිෂ්ටාචාරය වෙනත් දිශාවකට දිශානුගත කරමින් යුරෝපය මෙන්ම සමස්ත ලෝකයම උඩු යටිකුරු කරනු ලැබීය. නමුත් එය සිදුවූයේ පළමු ලෝක යුද්ධයෙන් ක්‍රි.ව 1919 වන විටදී බිමට සමතලා වී තිබී වර්සෙල්ස් ගිවිසුම මගින් අතුගෑවී අවසානයේදී මූලෝත්පාඨනය වූ ජර්මනිය මගින් යැයි කිසිවෙක් කථා නොකරති. ක්‍රි.ව 1914 පමණ වන විටදී ජර්මන් පාලක දෙවන කයිසර් විලියම්ගේ අඥාන ක්‍රියාකලාපය හේතුවෙන් ඔටෝ වොන් බිස්මාර්ක් විසින් යුරෝපයේ රජු සේ බැබළවූ මෙන්ම යුරෝපයටම අභියෝග කළ ජර්මනිය 1919 වන විට බර්ලින් මියුනිච් නගරවල එකදු ගොඩනැගිල්ලක් හෝ යහතින් නොවූ මට්ටමට මූලෝත්පාඨනය වී ගියේය. යුද්ධයේදී මිත්‍ර පාක්ෂික එකමුතුවෙන් ද විනාශ වී, වර්සෙල්ස් ගිවිසුමෙන් පිසදැමී කෑලි කැඩී ගිය ජර්මනිය පුදුම උපදවන සුලු වේගයකින් අළු ගසා දමා ලෝකයට අභියෝගයක් වන පරිදි 1939 දී නැගී සිටියාය. නමුත් ඒ කෙසේද යන්න පිළිබඳ කිසිවෙක් කතා නොකරති. ශීඝ්‍රගාමීව අළු දූවිලි වූ රටක් ශීඝ්‍රගාමීව නැඟී සිටියේ කාගේ මෙහෙයවීමෙන් දැයි කිසිවෙක් කථා නොකරති. එසේම නෂ්ට වී ගිය ජර්මනිය නැවත ලෝක දේශපාලනයේ බලවතා ලෙස ප්‍රවිශ්ට කළේ අප අද දක්වාම අයහපත පමණක් කතා කරන  හිට්ලර් විසිනි යැයි ලෝකය පිළිගන්නට මැළි වන්නේද? මෙම ලිපියෙන් සාකච්ඡා කෙරන්නේ ක්‍රි.ව 1919 සිට 1939 වන විට වසර 20ක් වැනි කාල පරිච්ඡේදයක් තුළ නෂ්ට වී ගිය රටක් නගා සිටුවා පෙරට වඩා ජවයකින් නැවත වරක් ලොවටම තර්ජනයක් වන සේ ඔසවා තැබීමට වියානාවේ සිටි හිඟන කොල්ලෙකු වූ හිට්ලර් ගත් අනූපමේය උත්සාහයේ නොදත් කතාව පිළිබඳවය.


යමෙක් ලොව කොතැනක හෝ උසස් තනතුරක හෝ ප්‍රධානියෙක්ව හෝ ජයග්‍රාහකයෙක් වී නම් සිටින්නේ නම් ඔහු යම් කාලයකදී නිතැතින්ම අනේක විධ දුක්ඛ දෝමනස්ස නම් චණ්ඩ මාරුතයට හසු වූ අයෙකි. ඉන් ලැබෙන පන්නරය හා තම අරමුණ ඉදිරියට මෙහෙය වීමට සමතෙක් කරවයි. නමුත් ළදරු හිට්ලර් එය විඳින්නේ යම් සීමිත කාලයක පමණක් නොව ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් තුළය. ක්‍රි.ව 1899 අප්‍රේල් මස 20 වැනි දින ඔස්ටි්‍රයාවේ ඈත පිටිසර ගමක කම්කරුවෙකු වූ ඇලෝයිස් හිට්ලර් නම් අයට දාව ඔහුගේ තෙවැනි (හිට්ලර් ඉපදීමට පෙර දෙමව්පියන් නීත්‍යකුතූලව විවාහ වී නොතිබුණි) බිරිය වූ ක්ලාරා හොස් විසින් බිහි කරන දරුවා උපතේ සිටම දුක්ඛ දෝමනස්ස නම් චණ්ඩමාරුතය විසින් ස්ථිරවම වෙළා ගනු ලබන්නේ අතිශයින් චණ්ඩ වූ පියාගේ ගැහැට තමන් විඳිමින් පමණක් නොව මෑණියන්ගේද තත්ත්වය ඊට සමාන කරමිනි. ඒ දරුවා අන් කවරෙකු හෝ නොව දේශප්‍රේමයෙන් ජාතිකානුරාගයෙන් හා අත්‍යන්ත ජාතිවාදයෙන් ජර්මන් ජනතාව උමතු කර යුරෝපය පමණක් නොව මුළු ලෝකයම අත්‍යන්ත භීෂණයෙන් සන්නද්ධ කරමින් තෙවැනි ජර්මන් අධිරාජ්‍යයක් බිහි කිරීම සඳහා වූ දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භකයා වූ ඇඩෝල්ෆ් හිට්ලර්ය.


1907 දී ඇලෝයිස් හිට්ලර් මිය යන අතර ක්ලාරා හා කුඩා හිට්ලර් හසුවන්නේ අන්ත දුක්ඛිත තත්වයකටය. කුඩා කල සිටම පෙනහැල්ලේ රෝගයකින් පීඩා විඳි කුඩා හිට්ලර් රෝගී දිනවල ගෙතුලටම වී නිදා ගැනීමටත් අනෙක් දිනවල දී ගමේ ඇවිදින්නට යාමටත් පුරුදු විය. එම ගමන්වල දී පාළු ස්ථානවලදී හෙතෙම තනිවම කතා පැවැත්වූවේය. ඒ ගස් ගල් පමණක් නොව ගවයින් වැනි සතුන් විශාල පිරිසක් ඉදිරියේද කතා පැවැත්වූවේ දේශපාලඥයකු ජනතාව අමතන ලෙසිනි. මේ නිසා සෑම ගැමියෙක්ම පාහේ ඔහු ඇමතුවේ “පිස්සා” යන නමිනි. චිත්‍ර ශිල්පයට දක්ෂයෙකු වූ ඔහු යම් සහනයක් හෝ ලබා ගනු රිසිව වියානාවට පිටත් වන්නේ වියානාවේ චිත්‍ර ඇකඩමියට හෝ ඇතුළත් වීමේ බලාපොරොත්තුවෙනි. නමුත් ඒ සඳහා ඔහුට කිසිදු ඉඩක් නොලැබේ. කෙසේ හෝ එය එසේ සිදුවුණි නම් පැවැති ශිෂ්ටාචාරය ආපස්සට හැරවීමට සමත් වූ දෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වැළකීමටද තිබූණි.


1909 පමණ වන විටදී සිය මව් වූ ක්ලාරා හෝස් ද මිය ගොස් සිටි හෙයින් හිට්ලර්ට වූ එකම අරමුණ නම් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගැනීම පමණකි. කෙසේ නමුත් වියානාවේදී මිනිසකු නොවිඳිය යුතු අන්දමේ දුක් ගැහැට කුඩා හිට්ලර්ට විඳින්නට සිදු වූ බව ඔහු සිය කෘතියේම :ඵැසබට ණ්පචf* දක්වයි. ලෝක දේශපාලනය තුළ විශිෂ්ට නායකයෝ රැසක් බිහි වී ඇත්තා සේම ඔවුහු තම අරමුණු වෙනුවෙන් හෝ දරිද්‍රතාව හේතුවෙන් හෝ කුමක් අරඹයා හෝ අසීමිත දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී ඇත. නමුත් ඒ කිසිවෙක් දරිද්‍රතාව ඉහවහා ගිය තැන කුණු බක්කිවල ඉවත දැමූ ආහාර වසර හතරක් පුරාවට අනුභව කළා යැයි සිතෙන මට්ටමකට පරිහානි වී නැත. නමුත් ළමා අවධියේ පසු වූ හිට්ලර්ට වසර හතරක් පුරාවට ආහාර සැපයූයේ වියානාවේ වීථිවල තිබූ කුණු බක්කි විසිනියි යන්න විස්වාස කිරීමට ඔබට සිදු වනු ඇත. ඔහුගේ ඇඳුම් පරපෝෂිතයින්ට නවාතැනක් වී තිබුණ අතර කිලිටිව අපිරිසිදුව සිටි ඔහු දෙස බැලීමට හෝ කිසිවෙක් ප්‍රිය නොකළහ. මවට ලැබෙමින් තිබූ පින් පඩියද නැවතුණු පසු නගරයේ ඇවිද ගිය මිනිසුන්ගේ නින්දා අපහාසවලින් අඩුවක් නැතිව මූලික අවශ්‍යතාවක් හෝ සපුරා ගත නොහැකිව ජීවිතයේ එකම වින්දනය වූ කුසගින්න මනාසේ විඳිමින් සිටි ඔහු ජීවිතයෙන් සමුගන්නට කිහිපවරක්ම සිතුවද තම මෑණියන් තමා ජීවත් කරවන්නට ගත් පරිශ්‍රමය හමුවේ එකී දිවි නසාගැනීමේ සිතිවිල්ල දෙවැනි විය.


උපතේදී සිට පවතින රෝගී තත්ත්වය හමුවේ වුවද කම්කරු රැකියාවක් සොයාගෙන ආහාර වියදම හෝ සපුරා ගන්නට උත්සාහ කළ හිට්ලර්ගේ තත්ත්වය යම්තාක් දුරකට සතුටුදායක වූයෙන් තමාගේ සහජ හැකියාව වූ තිබූ චිත්‍ර ශිල්පයට නැඹුරු වූයේය. ඔහුගේ චිත්‍ර නගරයේ අලෙවි වූවාසේම ඔහුගේ කතා විලාසය හා පවතින දේශපාලන දර්ශනය පිළිබඳ පසුකථනය ජනයාගේ සිත් බැඳ ගැනීමට සමත් විය.

 

 

මතු සම්බන්ධයි.

ඩබ්ලිව්. එම්. හිරාන් මධුසංක වීරබාහු