මාඕ ත්සේතුං 178

 

 

 

උතුරු සෙන්සි පළාතේ යුද්ධය පවතින අතරවාරයේ දිනක් ගම්මානයක් පසුකර මුඩු කන්දක් වෙතට අප ළඟාවු විට අපේ මාර්ගෝපදේශකයාට මග වැරදුනි. එවෙලෙහි මහ වැස්සක්ද ඇද හැළෙන්නට විය. ඉන් පහළ තැන්නේ පනස් දහසක් හැට දහසක් අතර සතුරු හමුදාවක් සැරිසැරූ අතර විටින්විට එදෙසින් තුවක්කු වෙඩි හඬ ඇසුණි. අපේ මිනිස්සු ශිත, කුසගින්න, හා නොසන්සුන්බවින් යුතුව මාවෝ වටා රැස්ව සිටියහ. මාවෝ සිනාසී ඔවුන් දෙස බලා මෙසේ කිවේය. “වැස්සෙන් සුළඟින් මාව ආරක්ෂාකරණ අපූරු ශක්තිමත් ආරක්ෂක වළල්ලක්!” මෙයින් අපේ මිනිසුන්ගේ සිත්වල සහනශීලීබවක් මතුවිය.

මාවෝ සිතෙන් යමෙකු සමග කතා කරන්නට කැමැත්තක් දැක්වුවේය. එදින මකරරාජ පන්සල පසුකරමින් අපි ගමන් කරද්දී පිටාරා ගලන ගංඟාවක් අපේ ගමන නතර කරණ ලදී. අපේ හමුදාවේ පිහිනන්නට දන්නා පිරිස් එකතුව පාලමක් තනන්නට උත්සාහ කරණ විටම වගේ පංසල දෙසින් බර වෙඩි හඬ ඇසෙන්නට විය. සතුරු හමුදා සිටියේ අප ආසන්නයේමය. ෂෙල් වෙඩි අපේ හිස්වලට ඉහළින් පිපුරුණි. ඉන් පෙනී ගියේ කුමන හෝ මොහොතක මුහුණට මුහුණ සටනකට අපට මුහුණපාන්නට සිදුවන බවකි. නොසන්සුන් වු අපේ මිනිස්සු ගං ඉවුර දිගේ එහා මෙහා දුවන්නට වූහ. නමුත් මාවෝ සන්සුන්ව නිහඬව සිටියේය. ඔහු ලොකු ගල් පරයක වාඩිගෙන හමුදා සිතියමක් අධ්‍යයනය කරමින් පැන්සලකින් සළකුණු කරන්නට විය. එය හරියට චියැන්ග්කායි - ෂෙක් සමග චෙස් ක්‍රීඩා කරන්නාක් මෙනි. චෙස් ලෑල්ල සිතියමයි. ඔහු සිතියමේ ලකුණු දාන හැම වේලාවකම තම ප්‍රතිවාදියාට කතා කරනවාමෙන් පෙනුණි. “යාළුවා තමුසෙ මේක ඇද්දොත් හොඳටම කන්නයි වෙන්නෙ.”


ඔහු මෙලෙස මුමුනමින් සිතෙන් කතාකරමින් සෙල්ලම් කරනු බලාගෙන අපි ආරක්ෂකයෝ ඔහු වැස්සෙන් ආරක්ෂාකර ගැනිමට ඔහුගේ හිසට ඉහළින් ඉටි රෙද්දක් අල්ලාගෙන සිටියෙමු. දුෂ්කර අවස්ථාවල මාවෝ කරණ කියන විහිළු තහළු හැම දෙයකින්ම කියැවුණේ ඔහු හැමදෙයක් දෙසම සර්වසුබවාදිව බලන බවකි.


උතුරු ෂැන්සිහි යුද්ධය අතරතුරේදී මාවෝ තවත් දොළොස් දෙනෙකුට වැඩි පිරිසක් සමග ටියැන්සිවාන් නමැති ගමේ ගුහා නිවසක ඒ නිවැසියන් සමග ලැගුම් ගත්තේය. එහි නිවැසි කාන්තාව අපහසුතා ගැන කනගාටුවෙන් මෙසේ කීවාය. “මීට වඩා ඉඩකඩ තියෙන ලොකු තැනක් හොයලා දෙන්න බැරිවුන එක ගැන අපට ලැජ්ජයි මහත්මයා.” මාවෝ ඊට එවැනිම හඬින් මෙසේ පිළිතුරු දුන්නේය. “අපි මහගොඩක් මෙහෙට ආව එක ගැන මමයි ඔබලාගෙන් සමාව ගන්න ඕනැ.” ඔහුගේ පිළිතුරට අප සියලුදෙනා මෙන්ම නිවැසියෝ ද හදවතින්ම සිනාසුනහ.


හූ සොන්නැන්ගේ ප්‍රහාරය අපට ආහාර හිඟයක් නිර්මාණය කළේය. අප ලියන්ජිආවා හි සිටින දිනවල අපට ආහාර සඳහා තිබුණේ කළු සෝයා බෝංචි ඇට පමණකි. එක් දිනක් මාවෝ චීන විමුක්ති හමුදාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදමින් සිටින අතරවාරයේ සෝයා බෝංචි ආහාරයට ගැනීමෙන් ඇතිවුණු බඬේ අජිර්ණයට සහනයක් පිණිස නැගිට මඳක් ඇවිදින්නට ගියේය.


මැද මිදුලට ඇතුළුවන විට එහි රැකවලේ සිටි සූ ලාඕසී මාවෝ දුටුවේය. අධික දුම්බීම හේතුවෙන් ඔහුගේ දත්වල දුම්කොළ කහට බැඳී තිබුණි. ඔහුට නිතරම තොල් පියාගෙන සිටීමට අපහසු වූ හෙයින් මේ කසට බැඳුණු දත් නිතරම ප්‍රදර්ශනය විය. ඒවා දෙස බලා බොරු ගාම්භිර පෙනුමක් මවාගෙන මාවෝ කතා කළේය. “ලාඕසී සහෝදරයා කොහොමද දත් ඔච්චර කළු වුණේ?. කළු සෝයා කාලද?.”


යමක් කියන්නට හෝ මුව වසා ගන්නට පෙර ඔහුට වාතයක් පිටවිය. මාවෝ සිතුවේ ඒ හඬ සූ ගෙන් ලැබුණු පිළිතුරක් ලෙසය. සූගේ එම ප්‍රතිචාරය ලැබෙන්නාත් සමග මාවෝ තෘප්තිමත්ව හිස සැලුවේය. “ඒක අහන්න ලැබීම ගැන මට සතුටුයි.” සූට වාතය පිටවුණේ දිගටම එය තදකරගෙන සිටින්නට නොහැකි වු නිසාවෙනි. ඔහු බෙල්ල පසුපස කසමින් ලජ්ජාවෙන් මුහුණ රතුකරගෙන අහිංසක ළමයෙක් මෙන් සිනාසුණේය. අපිත් හොඳටම සිනාසෙන්නටවීමු. මාවෝ සිනාව නවත්වන්නට කතාව වෙනතකට හැරවූවේය.


“අපිට තවත් වැඩි කාලයක් කළු සෝයා කන්න ලැබෙන්නෙ නෑ. උතුරු ෂැන්සි කියන්නෙ ලොකු පළාතක් නොවෙයි. හැම අවුරුද්දකම වාගේ මේ පළාතේ ගොවියො වගා කරන්නේ ඔවුන්ට යන්තම් කෑමට ප්‍රමාණවත් බෝග විතරයි. දැන් සිය ගණන් සතුරු හමුදා ඇවිත් ඔවුන්ගේ ආහාර පැහැරගෙන වගා විනාශකරලා දානවා. ඒ නිසා ආහාර හිඟයක් ඇතිවෙලා. නමුත් ප්‍රශ්නයක් නෑ, අපට මේ දුෂ්කර තත්ත්වය දරාගෙන ඉන්න වෙන්නෙ තව මාස කිහිපයක් විතරයි. එතකොට අපට මෙහෙ කෑම බලාගෙන ඉන්නවෙන්නෙ නෑ සතුරාගෙන් යැපෙන්න පු`එවනි.” එසේ කියා සූ ලාඕසි දෙස හැරී මාවෝ නුරුස්සන ස්වරයෙන් මෙසේ ඇසුවේය. “සතුරා දැන් අපේ කෑම පැහැර ගන්නවා නම්, අපිට ඔවුන්ගේ කෑම ගන්න බැරිද?.”

 


එය අනුමතකරමින් හිස සැලූ සූ කටහඬ අවදි කළේය. “ඇයි බැරි? බැල්ලිගේ පුතාලා !”

 

 

 

 


ආරියනන්ද දොඹගහවත්ත