උපන් රට ගැන කතා කිරීම හෝ රටේ සැබෑ නිදහස උදෙසා සටන් කිරීම ජාතිද්‍රෝහී ක්‍රියාවක් නොවේ. දෛවයේ සරදමකින් ඇය එම වරදට වසර 21ක් වදහිංසා වින්දාය. වසර 15ක් නිවාස අඩස්සියේ විසුවාය. ජය පෙනි පෙනී ඇයට හිමිවූයේ දෙවන පෙළේ නායකත්වයකි.

 

සිරගෙය තුළ ඇය සතුරන්ට මෙන්ම මිතුරන්ටද මෛත්‍රී කළාය. ආධ්‍යාත්මික ගුණ වගාව සංවර්ධනය කරගනිමින් භාවනා කළාය. තම දේපොළත්, දරුවන් සහ සැමියාත් ප්‍රජා අයිතියත් අහිමිවෙද්දී ඇය පැතු එකම සිහිනය වූයේ නිදහස් මවුරටයි.


ඇය කිසිවකුත් නොව මියන්මාරයේ නිල නොලත් රැජින වන විපක්‍ෂනායිකා අවුත් සාන් සුකීය. 70 හැවිරිදි මෙම දිරිය මව රටවැසියන් හඳුන්වන්නේ ‘නැන්දා’ කියාය. ඇය දැන් ‘අම්මා’  නාමයට සුදුසුකම් ලබා ඇත.


යටත් විජිතවාදයෙන් 1947 දී නිදහසලත් බුරුමය නමින් එදා හැඳින්වූ මියන්මාරයට නව අරුණෝදයක් උදාවනු ඇතැයි ජනතාව සිතූහ. එහෙත් සුකීගේ පියාවූ ජනරාල් අවුස් සාන් ප්‍රතිවාදීන් විසින් මරාදමා මිලිටරි ජුන්ටාවක් බිහිකරනු ලැබීය. මුලින් එය හැඳින්වූයේ අර්ධ සිවිල් පාලනයක් ලෙසය. කල් යත්ම එය දේශපාලන පලිගැනීමේ කඳවුරක් බව වැටහෙන විට ප්‍රමාදවූවා වැඩිය.


ජනතාවාදී නායකයකු වූ ජනරාල් අවුන්සාන්ගේ එකම දියණිය ලෙස සුකී 1945 ජනවාරියේදි මෙලොව එළිය දුටුවාය. පියාගේත් මිත්තණියගේත් නම් වලින් ‘සු’ යන්නද මවගේ නමින් ‘කී’ යන්නද ඇයට හිමිවිය. 


පියා මෙන්ම බාල සොයුරාගේ හදිසි මරණවලින් සුකිගේ දුක්බර දිවිය ආරම්භ විය. වැඩිමල් සොයුරා කැලිපෝනියාවට පළාගොස් ඇමරිකානු පුරවැසි බව ලැබීය. මෙතෝදිස්ත ඉංග්‍රීසි පාසලේදී චතුර ලෙස ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා හැසිරි වූ සුකි දේශපාලන විද්‍යාවට හා බුද්ධ දර්ශනයට වඩාත් ඇදී ගියාය.


“අම්මා මට කිව්වේ මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න කියලා. එයට එරෙහි බාධාවන් මට අදාළ නෑ”


සුකී මාධ්‍යයට කීවාය. පියාගේ රාජ්‍යතාන්ත්‍රික ඥානය පිළිඹිඹු කරමින් සුකී ඉන්දියාවේ බුරුම තානාපතිනිය ලෙස නවදිල්ලියේ වාසය කළාය. ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඞ්හි ශාන්ත හෆ් විදුහලට ඇතුළුව 1969 දී දේශපාලනය දර්ශනවාදය හා ආර්ථික විද්‍යා තුළින් බී,ඒ. උපාධිය දිනා ගත්තාය.


ඇගේ ඉරණම්කාරයා ආචාර්ය මයිකල් අරිස් හමුවූයේ ඔක්ස්ෆර්ඞ් හිදීය. ඔහු ජාතික කෘතහස්ත ඉතිහාස ආචාර්යවරයෙකි. නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳුණු ඇය සැමියා සමග එංගලන්තයේ පදිංචි වූවාය. ඇලෙක්සැන්ඩර් සහ කිම් යන සුන්දර දරුවෝ ඔවුන්ගේ ප්‍රේමයේ සංකේතයෝ වූහ.


එංගලන්තයේ සිටියද මහගෙදර සිටින මවගේ දුක සැප බැලීමට සුකී සහ අරිස් මැළි නොවූහ. රෝගාතුරවූ මව බැලීමට 1985 දී සුකි මවුරටට පැමිණියාය. ආශ්චර්යයකි.


මියන්මාරය හමුදා පාලනයෙන් හොඳටම හෙම්බත්ව තිබූ නමුත් නිදහස් අරගලයක් පිළිබඳව ඔවුන් තුළ හැඟීම් සමුදායක් මෝදු වෙමින් තිබූ බව සුකී දුටුවාය.


“සුකී නතරවෙන්න අපට යළිත් පියාගේ නායකත්වය දෙන්න” ඔවුහු ඉල්ලා සිටියහ. 


සුකී ඒ වනවිට මානුෂික අයිතිවාසිකම් සහ දේශපාලනයෙන් පිරිපුන්ව සිටියාය. ඇමෙරිකානු නිදහස් අරගලයට නායකත්වය දුන් මාටින් ලූතර්කිං සේම ඉන්දියානු අවිහිංසාවාදය හඳුන්වාදුන් මහත්මා ගාන්ධිගේ ආභාෂය ඇගේ සිතටද කාන්දුවී තිබිණ.


“මං නිදහස් අරගලයට එකතුන වෙන්න තීරණය කළා”


සුකී සැමියාට දැන්වූවාය. සුකීගේ නායකත්වයෙන් කළ අරගල නිසා ජුන්ටා පාලකයෝ රටට මහ මැතිවරණයක් දුන්හ. ඡන්ද බහුතරයක් ඇගේ පිලට හිමි වුවද ජුන්ටාව පාලන බලය අත්නොහැර පාලනය කළේය. සුකිට වූයේ වසර 06ක් රැන්ගුන්හි නිවාස අඩස්සියට පත්වීමටය.


රටින් පිටවීම තහනම් කරමින් 1995 දී ඇයට ඊනියා නිදහසක් ලැබුණු අතර අරිස් වහා ඇය සොයා මියන්මාරයට ඒමට පිටත් විය. එහෙත් ඔහුට විසා නිකුත් නොකෙරිණ.


“ඔයා කණගාටු වෙන්න එපා. කවදා හරි සත්‍ය ජයගිනිවි.”


සුකි ඔහුට ලියා යැවුවාය. නමුත් ඉන්පසු කෙදිනකවත් ඔවුන්ට මුණගැසීමට ජුන්ටාවෝ ඉඩ නොදුන්හ.


දෛවයේ දෙවැනි පියවර ඊටත් වඩා භයානකය. 1997 දී අරිස් පුරස්ථි ග්‍රන්ථවල පිළිකාවට ලක්විණ. ඔහුට මියන්මාරයට පැමිණිමට ඉඩදෙන ලෙසට ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහලේකම් කොෆී අන්නන් හා දෙවැනි ජුවාම් පාවුලු පාප් තුමන් කළ ඉල්ලීම්ද අපතේ ගියේය.


එහෙත් පුදුමයකට මෙන් අවුන් සාන්සුකිට එවර විසා අනුමත වුවේය. සැමියා හමුවීමට ඇය සැදී පැහැදී සිටියද පසුව ඇයට සැබෑ කුමන්ත්‍රණය හෙළිවිය.


“මියන්මාරයෙන්  බැහැරව ගියොත් අයෙත් එන්න දෙන එකක් නෑ”


ඇගේ යටිහිත කීවේය. ඒ අනුව සියරටෙහි රැඳුණු ඇයට වැඩිකල් නොගොස් ඒ ආරංචිය සවනත වැකිණ. අරිස් 1999දී මියගිය බවයි.
සුකී වැළපුණාය. ඇතිවන තුරු කඳුළු සලමින් වැළපුණාය. ලොවටම ශාප කළාය. පෙම්බර සැමියාගේ ගුණ සිහි කරමින් බිරිඳකගේ භූමිකාවෙහි නියළුණාය. ඊළඟ වසරේ ඇය සියලු බාධක මැඩලා යළි නැගී සිටියාය. එහි ප්‍රතිඵලය වූයේ පාලකයන් යළි ඇය සිරගත කිරීමය. 2001දී නිදහස ලබා ක්‍රියාත්මක වූ සුකීගේ රාජ්‍යතාන්ත්‍රික ඥානයට ගරු කිරීමක් වශයෙන් ජාත්‍යන්තරයෙන් නොබෙල් ත්‍යාගයෙන් පුදනු ලැබුවාය.


“ව්‍යාවස්ථා බාධක ඉවත් කර ගන්න


මං සටන් කරනවා” ඇය ස්කොට්ලන්ත මාධ්‍යවේදී ඇලන් ක්ලෙමන්ට්ස්ට පැවසුවාය. ඔහු ලියූ “බලාපොරොත්තුවේ හඬ” ග්‍රන්ථයේද ඒ බව සඳහන් වේ.


ඇයට 2001 මහ මැතිවරණයේදි මුල් අසුන හිමිවූ නමුත් විදෙස් ජාතිකයකු හා විවාහ වූ නිසා රජයේ පාලනය ඇය වෙත පිරිනැමීම වැළැක්වෙන එම පනත තවමත් ඉවත් කරගෙන නැත.


අද ඔටුන්න හිමි දිරියකම දිනු රටේ විපක්‍ෂනායිකාවයි.


“මට මගේ අම්මාගේ හඬ ඇසෙනවා
මට සැමියාගේ රුව පෙනෙනවා


බුදු දහම තුළින් මගේ ජීවිතය හැඩ ගස්වා ගන්නවා. සිතේ ඒකාග්‍රතාව උදෙසා ථෙරවාදි බුදු දහමින් මා ලැබූ ශක්තිය අපමණයි” සුකි තම ඉරණම ගැන උපේක්‍ෂාසහගතව කතා කරයි.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි