කැඳවීමේ සීනුව නාද වෙනවිටම වාගේ මම කාමරයට පැමිණියෙමි. මම මගේ ඇඳුම අතින් සකසාගෙන බරවූ සිතින් යුතුව මාවෝ ගේ කාමරය තුළට පිවිසුනෙමි. තෙත් රෙදි කඩකින් ඔහුගේ මුහුණ පිස දැම්මාට පසු මාවෝ නැගී සිට ඇද විට්ටමට හේත්තු වී සාමාන්‍යයෙන් කරන්නාක් මෙන් දුම් බොමින් දිනපතා පුවත්පත් කියවන්නට පටන් ගත්තේය. තරමක පසුබෑමෙන් යුතුව මම පහත් හඬින් ඔහු ඇමතුවෙමි.

 

“සභාපති සහෝදරයා දැන් ටිකකට කලින් ජියැන්ග් කුයින් සහෝදරිත් එක්ක මම ආරවුලකට පැටලුනා.”


“එයත් එක්ක පැටලෙන්න ගියෙ මොන එහෙකටද?.” පුවත් පතින් දෙනෙත් ඉවත් නොකරම මාවෝ පැවසුවේ මා කියූ දේ එතරම් ගණනකට නොගනිමිනි.


“මම පැටලුණේ නෑ. එයයි ආරවුල පටන් ගත්තේ.”ඉතා ප්‍රවේශමෙන් වචන තෝරා බේරාගෙන මම පැවසීමි. “ඇය දේශපාලන මෙහෙයුමෙන් මග හරිනවා කියලා මා චෝදනා කළා. එතකොට ඇය මට චෝදනා කළා මම ඇයට විරුද්ධව දේශපාලන අවලාද නගනවා කියලා.”


“දේශපාලන මෙහෙයුමෙන් මග හරිනවා?.”මාවෝ ඇහි බැමි ඔසවමින් දැඩි උනන්දුමත් බවකින් යුතුව ඇසුවේය. “තමුන් එහෙම කිවද?.”


“දවසක් ෂූ මගෙන් අහපුවාම මං එතරම් හිතන්නෙ නැතිව එහෙම කීවා.” අනතුරුව සිදුවුණේ කුමක්ද යන්න ගැන මම මාවෝට විස්තර කළෙමි. “මම කිසි දවසක ඇයට අවලාද නැගුවේ නෑ සභාපති සහෝදරයා.”අවසානයේ මම කිවෙමි. 


“මට තේරෙනවා.” මාවෝ හිස සලමින් කීවේය.


“එයා මට තවත් චෝදනාවක් කළා, මම ලී මින් ව ඇයත් එක්ක බිඳවන්න උත්සාහ කරනවා කියලා. ඒත් එක්කම මම ඔබතුමාත් ඇයත් අතර භේද ඇතිකරන්න හදනවා කියලත් ඇය චෝදනා කළා. මම කවදා හෝ එහෙම දෙයක් කරලා තියෙනවද?”
“හොඳයි”. ටික වේලාවක් කල්පනා කරමින් සිටි මාවෝ කීවේය. “දැන් තමුන් ගිහින් ජියැන්ග්ට කියනවා මට එයත් එක්ක කතා කරන්න ඕනැ කියලා.”


මම මාවෝගෙන් ඉවත්ව කාමරයෙන් පිටතට යනවිට ජියැන්ග් තවමත් ගෙමිදුලේ සක්මන් කරමින් සිටිනු දුටුවෙමි. මම ඉතා බයාදු ලෙස ඇය කරා ගියෙමි. “ජියැන්ග් කුයින් සහෝදරිය සභාපතිතුමාට ඔබතුමිය හමුවෙන්න ඕනැ කීවා.”මම පැවසුවෙමි.


“ආ තමුන් මොන තරම් අපූරු මිනිහෙක්ද?”ඇය පැවසුවේ ඇස් කොනින් මා දෙස බලමිනි.. “තමුන් මටත් ඉහළින් යන්න තරම් නපුරු වුණාදැ’යි ඇය කිව යුතුව තිබුණි. මෙවන් අවස්ථාවක කුමන හෝ විස්තර කිරීමකට ගියහොත් වරදක්වීමේ ඉඩකඩ ඇති නිසා මම හිස එල්ලාගෙන නිහඬව සිටියෙමි.


වැඩිවේලාවක් යන්නට පෙර මගේ කාමරයේ සීනුව නාද විය. මොහොතකුදු පමා නොවී මම මාවෝ ගේ කාමරයට ගියෙමි. ඒ වනවිටත් ජියැන්ග් කාමරයෙන් පිටව ගොස් තිබුණි.


“ඒක ටිකක් ගැටලු සහගත ප්‍රශ්නයක් වගෙයි.”මාවෝ මදෙස බලා හෙමිහිට කීවේය. ඔහු ඒ වනවිටත් ඇඳේ ඇලවී දුම් උරමින් සිටියේය. “මගේ උදව්වට වඩා දෙයක් ඒ වෙනුවෙන් කරන්න වෙනවා. මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න නම් තමුන්ට ස්වයං විවේචනයක් ලියන්න වෙනවා.”


“මම මොනවද ලියන්නේ?.” මම පසුවූවේ දැඩි කනස්සල්ලෙනි.


“තමුන් මොනවද කීවේ කියලා ලියනවා.”


“ඇය කියනවා මා කියු දේ දේශපාලන අවලාදයක් කියලා. ඒත් මම එහෙම අදහස් කළේ නෑ.”


“තමුන් එහෙම අදහස් කළේ නෑ කියලා ලියනවා.”


“මම ඇය ලී මින් එක්ක කොටවන්න හැදුවා කියනවා. නමුත් මම එහෙම දෙයක් කළේ නෑ.”


“තමුන් එහෙම දෙයක් කළේ නෑ කියලා ලියනවා.”


“ඒත් ඒක නියම ස්වයං විfවිචනයක්ද කියලා එයා අහයි. ඒක හරියන වැඩක් කියලා මට නම් හිතා ගන්න බෑ.”


“තමුන් මා කියපු දේ ඇහුවේ නෑ.”මාවෝ මඳ සිනාවක් පාමින් කිවේය. “මම තමුන්ට ඉගෙන ගන්න කියපු වෙලාවේ තමුන් ඒක කළේ නෑ. දැන් ස්වයං විවේචනයක් වගේ සාමාන්‍ය දෙයක් ලියන හැටිවත් තමුන් දන්නෙ නෑ. තමුන් ඉගෙන ගත්තේ නැති එක ගැන මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්න ඕනැ.”


මම ලජ්ජාවෙන් සිනාසුනෙමි.

ආරියනන්ද දොඹගහවත්ත