රුධිර තඩාගයේ ඇරැඹුණු ඉම්රාන් ඛාන්ගේ දෙවැනි ඉනිම - 03

 

 

ඉන්දියාව සහ පාකිස්ථානය යන නව රාජ්‍යයන්ට නිදහස ලැබෙන දිනය අගෝස්තු 15 වැනිදා බව මවුන්ට් බැටන් ප්‍රතිරාජයා විසින් නිවේදනය කර තිබුණි. මේ දිනය දැනගත් වහාම ඒ ගැන උනන්දුව දැක්වූ බලවත් පිරිසක් වූහ. ඒ ජ්‍යොතිශඥයෝය. ලංකාව මෙන්ම ඉන්දියාවේද සෑම කටයුත්තකටම ශුභ දින මෙන්ම නැකත් ගැන අවධානය යොමුකිරීම් සුලබය. 


හින්දු වැසියෝ මේ ගැන උනන්දුව දක්වති. 1947 අගෝස්තු 15 වැනිදා යෙදී තිබුණේ සිකුරාදා දිනකටය. සිකුරාදා අශුභ දිනයකි. මකර ලග්නයට අයිති දිනයක් වූ එදින සෙනසුරුගේ බලපෑමට යටත් වන බවත් ඒ නිසා අනාගත ඉන්දියාව යුද බිය, සාගත, ගංවතුර, නියඟය වැනි උපද්‍රවයන්ට නිරන්තරයෙන්ම ගොදුරු වනු ඇතැයි ජ්‍යොතිෂවේදීහු අනතුරු ඇඟවූහ. එහෙත් එක සහනදායක විසඳුමක් තිබුණි. ජ්‍යොතිෂවේදයට අනුව දිනය ආරම්භ වන්නේ ඉංග්‍රීසි ක්‍රමයට මෙන් රාත්‍රී 12.00 ට නොවේ. ඒ නිසා නිදහස ප්‍රදානය කිරීම සඳහා රාත්‍රී 12.00 යොදාගන්නා ලදී. ගුප්ත විද්‍යා නොතකන දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දීම අගය කළ පාකිස්ථානුවෝ නිදහස දිනාගැනීමේ ප්‍රීතිය අගෝස්තු 14 වැනිදාට යොදාගත්හ.


නිදහස ලැබූ පාකිස්ථානයේ රාජ්‍ය නායකයා වූයේ අලි ඛාන් කුමරාය. රාජ්‍යයේ නිර්මාතෘවරයා වූ මොහමඞ් ජින්නාගේ ප්‍රධානතම සගයකු වූ අලිඛාන්ට වැඩි කලක් රාජ්‍ය නායකත්වය දැරීමට ඉඩ ලැබුණේ නැත. ඔහුගෙන් පසු බලය දැරුවේ ඉස්කැන්දර් මිර්ෂාය. එවකට පාකිස්ථාන හමුදාපති තනතුර දැරූ ජෙනරාල් අයුබ් ඛාන් විසින් බලය පැහැර ගෙන්නා ලදුව එරට පාලනය කළේය. අයුබ් ඛාන් රජයේ විදේශ ඇමැතිවරයා වශයෙන් පත් කරගෙන සිටි සුල්පිකාර් අලිභූතෝ රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කිරීමේ දක්ෂයකු වූවේය. චීනය සහ ඇමෙරිකාව සමග සමබර ප්‍රතිපත්තියක් ගොඩනැගීමට මෙම විදේශ ඇමැතිවරයා සමත් විය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට වඩා නැඹුරුවක් දැක්වූ ඔහු පාකිස්ථාන මහජන පක්ෂය :ඡගඡගඡග* ගොඩ නගා එයට නායකත්වය දුන්නේය.


මෙම ප්‍රවණතාව නිසා 1971 දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසි පාකිස්ථානය පළමුවරට මහා මැතිවරණයක් සඳහා මුහුණ දුන්නේය. එහිදී වැඩි ආසන ගණනක් දිනාගත් පක්ෂය ලෙස ඉදිරියට ආවේ නැගෙනහිර පාකිස්ථානයේ ෂික් මුජිබර් රහමන් නායකත්වය දුන් අවාමි ලීගය පක්ෂයයි. බටහිර පාකිස්ථානයේ වැඩි බලය සුල්ෆිකාර් අලි භූතෝගේ ඡගඡගඡග පක්ෂයට හිමිව තිබුණි. මෙහිදී බලය පැවරීම පිළිබඳව විශාල අර්බුදයක් නිර්මාණය වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සිවිල් යුද්ධයක් ඇතිවිය. රට තුළ මහා ලේ වැගිරීමක් ඇති විය. මෙම අර්බුදය ඉන්දු-පාකිස්ථාන යුද්ධයක් බවට පත්විය. එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් ඉන්දියා හමුදාවේ මැදිහත්වීම මත නැගෙනහිර පාකිස්ථානය  “බංග්ලාදේශය” නමින් වෙනම රාජ්‍යයක් බවට පත් විය. පාකිස්ථානු මව් රාජ්‍යයට තම නැගෙනහිර කොටස අහිමිවිය. මේ වන විට රට පාලනය කරමින් සිටි තවත් හමුදාපතිවරයෙකු වූ යෙහියා ඛාන් සෙනෙවියාය. යුද්ධ පරාජයෙන් පසු ඔහුට ඉවත්වීමට බලකෙරුණු අතර සුල්ෆිකාර් අලි භූතෝ පාකිස්ථානයේ දීර්ඝ කාලයක් පැවැති යුද්ධ නීතිය ඉවත්කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද පනවාගෙන එම රට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට නතු කිරීමට උත්සාහ කළේය.


1977 වසර දකුණු ආසියාවේ රටවල පැවැති ආණ්ඩුවලට අභාග්‍යසම්පන්න යුගයක් වූවේය. ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රබල රජය අන්ත පරාජයකට පත්වූ අතර ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිනියගේ රජයේ ඉරණම ද එයට සමාන විය. එහෙත් පාකිස්ථානයේ භූටෝ රජය පරාජය කිරීමට ප්‍රතිවාදී පක්ෂ එකමුතුවට හැකි වූවේ නැත. පක්ෂ නවයකින් සැදුම් ලත් විපක්ෂ සන්ධානය, මැතිවරණය දූෂිත බවත් ඒ නිසා අලි භූතෝ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් විය යුතු බවටත් චෝදනා කළහ. මෙම උද්ඝෝෂණ ව්‍යාපාර ගිනි ජාලාවක් මෙන් පැතිර ගියේය. සිවිල් නීති කඩකිරීමේ තත්ත්වයට අර්බුදය මෝරා ආවේය. අලි භූතෝ කළේ තොග පිටින් දේශපාලන නායකයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමයි. මෙසේ කලබල වැඩිවීමේදී රට අරාජිකත්වයට ඇද වැටුණු අතර සුපුරුදු පරිදි බලවත් යුද්ධ හමුදාව මැදිහත්වීම සිදුවිය. ජනරාල් සියා උල්හක් සෙනෙවියා සුල්පිකාර් අලිභූතෝ බලයෙන් පහකර රාජ්‍ය බලය අත්කර ගත්තේය. භූතෝ බලයේ සිටියදී විරුද්ධ පාක්ෂිකයෙකු ඝාතනය කළේ යැයි චෝදනා නගා අධිකරණය හමුවට පමුණුවන ලදුව භූතෝට මරණ දණ්ඩනය නියම විය. නොයෙකුත් රටවල රාජ්‍ය නායකයෝ මෙම දඬුවම ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා සිටිය ද ජනරාල් සියා එයට එකඟ නොවී හිටපු අගමැතිවරයා එල්ලා මරා දැමුවේය. ඔහු වසර කීපයක් දැඩි මර්දනකාරී හමුදා පාලනයක් ගෙන ගියේය. යම්කිසි කුමන්ත්‍රණකාරී බලවේගයක ක්‍රියාවක් ලෙස හඳුන්වනු ලැබූ ගුවන් යානා අනතුරක් හේතුකොට ගෙන 1988 අගෝස්තු 17 වැනිදා ඒකාධිපති සියා උල් හක් පරලෝ සැපත් වූවෙන් තවත් හමුදා පාලනයක් නිමාවට පත්විය. ඒ 1988 අගෝස්තු 17 වැනිදාය. එනම් මෙයට අවුරුදු තිහකට ඉහතදීය. එයද විශේෂත්වයකි.


එයින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසීමට පාකිස්ථානයට අවකාශය සැලසුණි. එවර ජයග්‍රාහකයා වූවේ ඝාතනයට ලක්වූ හිටපු අගමැති සුල්පිකාර් අලි භූතෝගේ දියණිය වූ බෙනාසීර් භූතෝය. ඇය අප්‍රතිහත ධෛර්යෙන් සහ ආත්ම පරිත්‍යාගයෙන් තරම් කැපවීමකින් ගෙන ගිය අරගලය නොවන්නට එකී ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය වීම සිදු නොවන්නට තිබුණි. පාකිස්ථානයේ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී වුවත් ඒකාධිපතිවුවත්, හමුදා පාලනය වුවත් අතිශයින්ම දූෂිත බව ප්‍රකට රහසකි. එකිනෙකාට චෝදනා නගමින් මුදල් උපයා ගැනීම මොවුන් බහුතරයකගේ සිරිතයි. බෙනාසීර්ට රජය පවත්වාගෙන යාමට ඉඩ ලැබුණේ කෙටි කලකි. එයින් පසු බලය ලැබුණේ නවාස් ෂරීප් නම් වූ ප්‍රබල දේශපාලනඥයෙකුටය. මේ දෙදෙනා තට්ටුමාරු ක්‍රමයට රට පාලනය කළහ. බෙනාසීර්ගේ පී.පී.පී. පක්ෂයත්, නවාස් ෂරිප්ගේ මුස්ලිම් ලීගයත් අතර පැවැති බල අරගලය රට ප්‍රපාතයට සහ දූෂණ වංචාවලට මග සැලසීමක් විය. හමුදාව නැවතත් පෙරට පැමිණ රාජ්‍ය බලය අත්පත් කර ගත්තේය. එවර පාලකයා බවට පත්වූවේ හමුදාපති පර්වේස් මුසාරෆ්ය. ඔහුගේ විශේෂත්වය වශයෙන් ලෝක ජනමාධ්‍ය දකින්නේ ඉන්දියාවේ ඉපිද තුර්කියේ අධ්‍යාපනය ලබමින් හැදුණු වැඩුණු පසුව පාකිස්ථානයේ මහ බලවතා වූ සුවිශේෂි මිනිසෙකු වශයෙනි. ජනරාල් ජෙහාන්ගීර් කර්මට්ගෙන් පසු බලගතු පාකිස්ථානු යුදහමුදාවේ අධිපතිවරයා වූවේය. වර්ෂ 1999 ඔක්තෝබර් මාසය වන විට පාකිස්ථානයේ අගමැතිවරයා වූ නවාස් ෂෙරීප් සහ හමුදාපති ෆර්වේස් මුෂාරෆ් අතර මතභේද උග්‍ර විය. එම ඔක්තෝබර් 10 වැනිදා ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ පනස්වන සංවත්සර දිනයයි. එයට සමගාමීව උත්සව මාලාවක් පැවැත්වුණි. එහි ප්‍රධාන අමුත්තා වූවේ පාකිස්ථානයේ හමුදාපති ෆර්වේස් මුෂාරෆ්ය. මේ අතරවාරයේ මුෂාරෆ් හමුදාපති ධුරයෙන් නෙරපා දැමු නවාස් ෂෙරිප් අගමැතිවරයා එම තනතුරට ලුතිනන් ජෙනරාල් ක්වාරා සියාවුද්දීන් පත් කරගත්තේය. හිටපු හමුදාපති මුෂාරප් රැගත් ගුවන් යානයට පාකිස්ථානයට ඇතුළුවීම අගමැතිවරයා විසින් තහනම් කරන ලදී. මේ වන විට මුෂාරෆ් ලංකාවෙන් පිටත්ව ගුවනේ සිටි අතර ඔහුගේ ජීවිතය අවදානම් තත්ත්වයට පත්ව ඇතැයි ඔහුගේ හමුදා සගයෝ වටහා ගත්හ. වහාම ක්‍රියාත්මක වූ ඔවුහු පාකිස්ථානයේ රාජ්‍ය බලය අත්කර ගත්හ. මුෂාරෆ් මව්බිමට ගොඩ බැස්සේ රාජ්‍ය නායකයා වශයෙනි.


පාකිස්ථානයේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ උඩ යට මාරුවෙන්නේ ඒ ආකාරයෙනි. මෙම කරුණට අදාළව මෙම ලියුම්කරුගේ සුළු අත්දැකීමක් ද සටහන් කිරීම යෝග්‍ය යැයි සිතේ. 1988 පාකිස්ථාන මහා මැතිවරණ දිනයේ මා සිටියේ මැදපෙරදිග රටකය. බෙනාසීර් භූතෝ එවර තරගයට ඉදිරිපත්ව සිටියාය. මැතිවරණයට සම්බන්ධයක් නොමැති වුවත් ශ්‍රී ලංකාවාසීන්ට වැලඳී ඇති “දේශපාලන උණ” හේතුවෙන් බෙනාසීර්ගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් යුතුව අපි කුතුහලයෙන් සිටියෙමු. එහෙත් පාකිස්ථාන ජාතිකයන් බොහෝ දෙනෙකුට වගේ වගක් නැත. ඡන්දයක් ගැන වචනයක් නොදොඩති. අවසානයේ දැනට උර්දු ප්‍රවෘත්තිවලින්වත් දිනන්ණේ කව්දැයි ප්‍රකාශ කර නැති දැයි මගේ කාමරයේ සගයෙකු වූ ගෆාර් ඛාන් නැමැති වැඩිහිටි පාකිස්ථානුවාගෙන් විමසුවෙමි. “බෙනාසීර්ලා දිනලා අපේ රටේ මොනවා කරන්නද? කතාව විතරයි. ඈතට අත දිගු කළ ඔහු විශාල ගොඩනැගිල්ලක් පෙන්වා බෙනාසිර්ල අවුරුදු ගණනක් කිය කියා ඉදී. අන්න අර ගොඩනැගිල්ල හදනවා කියලා. ඒත් හමුදා පාලනයක් තිබුණොත් කඩිනමින් එම ගොඩනැගිල්ල හදා මම එය හැදුවා කියාවි. ඡන්දයෙන් එන නායකයන්ගෙත්, හමුදා පාලකයන්ගෙත් වෙනස ඒකයි.” යැයි උර්දු බසින් කියාගෙන ගියේය. එකල එම බස කතා කිරීමට යම් පමණක දැනුමක් මට තිබුණු නිසා මම ගෆාර් කියූ දෙය වටහා ගතිමි. එය ඔහුගේ පමණක් නොව පාකිස්ථාන බහුතර ජනතාවකගේ මතය බව මම විශ්වාස කරමි. ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නොකැමති වෙති. හමුදා පාලනයකට කැමැති වෙති. විශේෂයෙන්ම කාන්තාවක බලයට ඒම කිසිසේත්ම අනුමත නොකරති.” ගෆාර් වරක් මා සමග මෙසේ පැවැසීය. “බැරිවෙලාවත් බෙනාසීර් අගමැති වුණොත් සැලියුට් කරන්නෙ කොහොමද? එයා ගැහැනියක්නේ.” බෙනාසීර් භූතෝ බලයෙන් පහවීමටත් මරණයට ගොදුරු වීමටත් මෙය ද එක්තරා සාධකයක් වන්නට ඇතැයි මම උපකල්පනය කරමි.


ඉම්රාන් ඛාන් නව ජයග්‍රාහකයා, ඔහු දක්ෂ ක්‍රිකට් නායකයෙකි. එම ජනප්‍රියත්වයේ සහ පවතින දේශපාලන නරා වළේ දුගඳ නිසා ඔහු බලයට පත්වූ බව සැබෑය. ක්‍රිකට් නිසා ඇතිවන ජනප්‍රියතාව උපයෝගී කරගෙන දේශපාලනය කළ නොහැකි බව නොයෙක් නිදසුන් මගින් අපි වටහාගෙන සිටිමු. ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික බව සහ කාර්යශූරත්වය අත්‍යවශ්‍යය. පෙර දීර්ඝ ලෙස විස්තර කළ ඉතිහාසයක් පදනම් කොටගත් පාකිස්ථානයේ රාජ්‍ය නායකත්වය ඉම්රාන් ඛාන් මහතා භාරගන්නේ මෙවැනි පසුබිමක් තුළය. හමුදාවේ සහාය ද ඔහුට ලැබෙන බව කියැවේ. එය සහනදායි සිදුවීමකි. කුමක් සිදුවනු ඇතිදැයි කීමට තවමත් කල්වැඩිය. අසල්වැසි රාජ්‍යයේ යහපැවැත්ම අපටත් හොඳය.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.