මාඕ ත්සේතුං 179

 

1960 දශකයේ මුල් කාලයේ ඉතාමත් අයහපත් වසර තුනක් අතරවාරයේ රට දැඩි ආර්ථික අර්බුදයකට ඇද වැටුණි. මාවෝ පුරා මාස හතක් කිසිදු මසක් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කළේය. මේ අතරවාරයේ අස්වැන්න නෙළා ගැනීමට පෙර කාලයේ ආහාර හිඟය වඩාත් උග්‍ර වූ අතර ඔහු නිවිති සහ තුඹ හැරෙන්නට වෙනත් කිසිවක් හෝ ආහාරයට නොගත්තේය. ඊට අමතර දෙයක් ආහාරයට ගැනීම ගැන කිසිවෙකුටවත් ඔහු සමග කතා කළ නොහැකි විය.

දිනක් ඔහු නිදි ගැන්වීම සඳහා කරණ සම්භාහනයේදී මගේ අත්වල තෙරපුමට ඔහුගේ කකුලේ වළලුකර වටා මගේ අත් සලකුණු සිටින බැව් මම දුටුවෙමි. මාවෝ දෙපා ඉදිමීමේ රෝගයට ගොදුරුව සිටියේය. මින් මම ඉමහත් කනස්සල්ලට පත්වුණෙමි.” “සභාපති සහෝදරයා, ඔබතුමා ඉතාමත්ම නරක විදිහට මන්ද පෝෂණයට ගොදුරුවෙලා. මේ බලන්න....”


“මොනවද මේ තමන් කියන්නේ?” ඔහු කෙටියෙන් මා කපා දැම්මේය. “මගේ වළලුකර වටේ ඉදිමිලා තියෙන්නේ මගේ ඇඟේ බර වැඩිකමට. ඒ අස්සෙ මට මන්ද පෝෂණය කියලා තමන් කියනවා.”


ඔහුගේ මුඛරි කියමන් හරහා මාවෝ නිතරම පාහේ සතුටුමත් අවස්ථා මතු කළේය. සාජියාඩියාන් ජයගත් අවස්ථාවේදී මාවෝ සතුටින් ඉපිලුණේ නැත. ඔහු හූ සොන්නැන්ග් ගැන කනගාටුවන බවක් පෙන්නුම් කළේය. සංවේගාත්මක සුසුමක් පිට කරමින් ඔහු උපදේශාත්මක විවරණයක් කරන්නට විය. “එයාට කරන්න තියෙන දේවල් කරන්න එයාව රැකගන්න අපට බැරිවුණා.” එය ඇසූ අපි කොක් හඬළා සිනාසුනෙමු. ඔහු අප සමග එක්ව සතුට බෙදා හදා ගත්තේ එලෙසිනි. අනතුරුව ඔහු ඇඟිලි නමමින් අප විනාශකළ සතුරු හමුදා භට කණ්ඩායම් ගණින්නට වූවේය. “කුයින්හුආබියන්, යැන්ග්මාහේ, පැන්ලොන්ග්, සාජියාඩියාන්, අපි හමුදා බළ ඇණි හයක්, හතක් විතර විනාශ කරලා තියෙනවා. හූ පුරසාරම් දෙඩෙව්වා එයාට ජෙනරාල්ලා හතර දෙනෙක් ඉන්නවා, ඔවුන් තමයි එයාගේ තුරුම්පු කියලා. නමුත්” මාවෝ මඳක් නැවතී ඔහුගේ හිස සොලවා නැවත කියාගෙන යන්නට විය. “ඔවුන් මැටි ගොඩවල් හතරකට වඩා හොඳයි කියලා මට නම් හිතෙන්නෙ නෑ. ඔවුන්ට හිමිතැන් වෙන්නේ ගොවියන්ගේ වත්ත පහළ තියෙන කුණු ගොඩවල්.” ඔහුගේ ඒ කතාවට අපි මහ හඬින් සිනාසුනෙමු. 


“තුරුම්පු හතරෙන් තුනක් - හී කුයි, ලියු සිකුයි, සහ ලීකුන්ග් ගැන්ග්, දැන් ඉතිහාසෙට එක්වෙලා ඉවරයි. තවත් එක්කෙනයි ඉතිරිවෙලා ඉන්නේ. එයා.....”


සභාවේ සජීවී ප්‍රාණවත් බව මැද යමෙක් “ලී රිජී” කියා කෑ ගැසුවේය.


“ඔව් ලී රීජි.” මාවෝ ඔහුගේ යටිතොල සැපුවේය. “එහෙම නැතිනම් ලී ඉර්ජි (දෙවරක් වාසනාවන්තයි) අපිට එයා අල්ලාගන්න බැරිවුණ නිසා මේපාර වාසනාවන්තයි. ඊළඟ පාරත් එයා වාසනාවන්තවෙන්න ඉඩ තියෙනවා. නමුත් තුන්වැනි පාරනම් එයා ඉස්තිරේටම අල්ලා ගන්නවා.”මේ කතාවත් සමග අපි නැවතත් මහ හඬින් සිනාසුනෙමු. නමුත් මාවෝ දක්ෂ විහි`එකාරයෙක් මෙන් මුහුණෙන් කිසිම හැඟීමක් පිට නොකර සිටින විට අප තුළ නැවතත් සිනාව මතුවිණි.


මාවෝ මණ්ඩපයක සිටගෙන පුවත්පතක් කියවන ඡායාරූපය චීනයේ බොහෝ දෙනා දැක ඇති ඡයාරූපයකි. එය නැන්ග්ජින් ජයග්‍රහණය පිළිබඳ ප්‍රවෘත්තිය පළවුණු පුවත්පතයි. මාවෝ වෙනුවෙන් වැඩකළ අපි සියලු දෙනාම ඒ ඡයාරූපය ගන්නා අවස්ථාවේ එහි සිටියෙමු. ඒ ප්‍රීතිමත් අවස්ථාවේදී මාවෝ සමග එකට සිටගෙන ඡායාරූපයක් ගන්නට අප සියලු දෙනාටම උවමනා වුවද එවැනි යෝජනාවක් කිරීමට අපි ලජ්ජා වුනෙමු. කෙසේ හෝ මාවෝට අපේ සිතිවිලි කියැවිය හැකිවිය. ඔහු ඡායාරූප ශිල්පියාගෙන් මෙසේ ඇසුවේය.


“ඇයි ඔයා මගේ පිංතූරයක් ගත්තේ?.”


“අද ශ්‍රේෂ්ඨ දවසක්. නැන්ග්ජින් විමුක්තිය උදාවුණ දවස.”


“එතකොට ශ්‍රේෂ්ඨ දිනයක් කියන්නේ පිංතූර ගන්න දවසක්.”එසේ කියා මාවෝ අප වෙතට හැරී මෙලෙස ඇසුවේය. “ශ්‍රේෂ්ඨ දිනයේ ඔයාලා පිංතූර ගන්නේ නැද්ද?.”


“ස්ථිරවශයෙන්ම. අපි සභාපතිතුමා එක්ක පිංතූරයක් ගනිමු!.” එවිට මාවෝ මණ්ඩපයෙන් බිමට බැස අපේ ප්‍රීතිඝෝෂා මැද අප අතරට පැමිණ අප සමග ඡායාරූපයකට පෙනී සිටියේය.

 

 

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත