1985 මැයි මාසයේ දී එවකට සෝවියට් නායක මිහායිල් ගොර්බවොච් ලෙනින් ග්‍රැඞ් නගරයේදී ප්‍රකාශයක් කරමින් පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් වැඩපිළිවෙළ යටතේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් සිදුකරන බව පැවසීය.


මේ වැඩපිළිවෙළ මගින් සෝවියට් දේශයේ දේශපාලන ක්‍රමෝපායන් වෙනස් විය හැකි බව පෙන්වා දුන් ගොර්බවොච් මේ සඳහා සූදානම් විය යුතු බව සඳහන් කළේය. 


සෝවියට් නායකයා මේ කථාව සිදුකර පැයක කාලයක් තුළ ඇමෙරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ ඕවල් කාමරයේදී සිය රජයේ ප්‍රධානීන් කැඳවා හදිසි සාකච්ඡාවක් ඇරඹීය. සෝවියට් නායකයාගේ එම කථාවේ හරය ලෙස ඇමෙරිකානුවන් වටහා ගෙන සිටියේ සෝවියට් ක්‍රමය යම් වෙනසකට ලක්වීම වුවද එම ප්‍රතිංසංස්කරණ හඳුන්වාදෙමින් ගොර්බවොච් පැවසූ රුසියානු වචන පිළිබඳව දැනුමක් ඔවුන්ට නොවීය. 


පෙරෙස්ත්‍රොයිකා සහ ග්ල්ස්නොස්ට් යන රුසියානු වචනවල ඉංග්‍රීසි තේරුම සොයා ගැනීම සඳහා ධවල මන්දිර නිලධාරීන්ට දුව පැන ඇවිදීමට සිදුවිය. අන්තර්ජාල පහසුකම් එවකට නොතිබු නිසා සොවියට් ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් හෝ රුසියානු බස දැනුමැති සී.අයි.ඒ. නිලධාරීන්ගේ සහාය සොයායාමට සිදුවිය. 


සෝවියට් නායකයා පැවසූ වචන වලින් අදහස් වූයේ දේශපාලන ප්‍රතිසංස්කරණය සහ විවෘත සාමය වැඩි දියුණු කළ යුතු බවය. 


මේ පිළිබඳව ඇමෙරිකාව පළමුව විශ්වාස කළේ නැත. ඒ සෝවියට් නායකයා විසින් ගහෙන් ගෙඩි එන්නා සේ ලෙනින්ග්‍රෑඞ් නගරයේ මෙවැනි බරපතළ ප්‍රකාශයක් කළ බැවිනි. සාමාන්‍යයෙන් ක්‍රෙම්ලින් නායකයින් සෝවියට් දේශයේ අභ්‍යන්තර සංසිද්ධීන් පිළිබඳව මෙලෙස විවෘතව පවසන්නේ නැත. ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානයට පවා මේ පිළිබඳව වාර්තා වී නොතිබිණි. මේ කරුණ විශ්වාස කිරීම හෝ නොකිරීම කෙසේ වෙතත් ඒ පිළිබඳව අවධානයෙන් පසුවීමේ ක්‍රමෝපායන් ඇමෙරිකාව අනුගමනය කළේය. 


නමුත් ඇමෙරිකාව බලාපොරොත්තු වූවාට කලින් පොරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් වැඩපිළිවෙළ ප්‍රතිඵල දක්වන්නට විය. සෝවියට් සංගමයට අයත්ව තිබූ ජොර්ජියාව, යුක්රේනය, ලිතුවේනියාව, ලැට්වියාව ආදී ප්‍රාදේශීය රාජ්‍ය 16 ක් සෝවියට් සංගමයෙන් බිඳීගිය අතර එම රාජ්‍ය ස්වාධීන රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත් කළේය. රුසියානු පෙඩරේෂණයේ ජනාධිපතිවරයා ලෙස 91 දෙසැම්බර් 25 බොරිස් යෙල්ට්සින් පත්විය. මෙය .ඍමිස්බ ීදඩසැඑ ත්‍ැාර්එසඩැ ීදජස්කසිඑ ඍැචමඉකසජ. නමින් හැඳින් වූ නමුත් පසුව සෝවියට් යන කොටස හැලී ගියේය. සෝවියට් සංගමය අහෝසි වීම මෙන්ම මිහායිල් ගොර්බචොව් ජනාධිපති ධුරයෙන් ඉවත්වීමද එදිනම සිදුවිය. මෙම නිල උත්සවයේදී රුසියානු පෙඩරේෂණයේ ජනාධිපති ධුරයේ අක්තපත්‍රය ලබාගත යුතුව තිබුණේ ගොර්බචොව් වෙතිනි. ගොර්බචොව් එය ඔහුට දීමට පෙර දෙවරක්ම එම අක්තපත්‍රය උදුරා ගැනීමට යෙල්ට්සින් මෙහිදී තැත්කිරීමද විශේෂය. පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් සුළි සුළඟට හසු වී සෝවියට් සංගමය කඩා වැටෙද්දී එම කොමියුනිස්ට් ධජය යටතේ තිබූ වෙනත් රටවල්ද විශාල අර්බුදයකට බඳුන් විය. මෙම රටවල් සෝවියට් සංගමයේ දේශපාලන සහ මූල්‍යාධාර ලබාගනිමින් සිටි රාජ්‍යයන් වූ අතර දැන් තවදුරටත් එවැන්නක් බලාපොරොත්තු විය හැකිව නොතිබිණ. 


සෝවියට් දේශය කඩාවැටුණේ සී.අයි.ඒ. සංවිධානයේ කුමන්ත්‍රණයකට බඳුන් ව බවට මතාන්තර වූ නමුත් සත්‍ය කරුණු වූයේ ඒ වන විටත් සෝවියට් සංගමය බිඳ වැටෙන පසුබිමක තිබීමය. 


සෝවියට් සංගමයේ අවසාන නායකයා මිහායිල් ගොර්බචොව් වූ අතර රුසියානු පෙඩරේෂණය නැතහොත් රැසියාවේ පළමු නායකයා වන්නේ බොරිස් යෙල්ට්සින්ය. 


සෝවියට් සංගමයේ වෙනස්කම් පිළිබඳව මෙතෙක් මැදිහත් නොවී සිටි ඇමෙරිකාව රුසියානු පෙඩරේෂණයේ කටයුතුවලට කඩාවැදීමේ උත්සාහයක නිරත විය. සෝවියට් සංගමයට අයත්ව පැවති පරමාණු අවි, සංගමය කඩා වැටෙන විට නිදහස ලැබූ සංගමයේ රටවල් ඔස්සේ බෙදී ගොස්ය. මේ අනුව වැඩිම පරමාණු අවි තොගය අයත් වූයේ යුක්රේනයටය. රුසියානු පෙඩරේෂණයට අයත් පරමාණු අවි නිශ්ක්‍රීය කළ යුතු බවට වූ ඇමෙරිකානු බලපෑමට එක්තරා ආකාරයේ අවනත වීමකට පෙඩරේෂණයට සිදුවිය. 


නමුත් බොරිස් සෙල්ට්සිත් පූර්ණ ලෙස අවනත කර ගැනීමට ඇමෙරිකාවට නොහැකි විය. 


දේශපාලනයෙන් ඉවතට විසි වී සිටි හිටපු ඇමෙරිකානු ජනාධිපති රිචඞ් නික්සන් පෙඩරේෂණයේ නායකයින් හමුවීමට පෞද්ගලික සංචාරයක නිරත වුවද එය අසාර්ථක විය. නික්සන් හමුවීමට යෙල්ට්සින් අකමැති වූ අතර ඔහුට රාජ්‍යතාන්ත්‍රික හෝ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකුට ලැබිය යුතු හෝ පිළි ගැනීමක් ද නොලැබිණ. අඩුම වශයෙන් නැවති සිටීමට හෝටලයක් හෝ නොලැබී කුලි මෝටර් රියකින් මොස්කව් නුවර ඉබාගාතේ යමින් සිටියදී මොස්කව් හි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ පිහිට පැතීමට සිදුවිය. නික්සන්ට මුහුණ දීමට සිදු වූ දේ තුළ එක්තරා අන්දමක පණිවුඩයක් ද ගැබ්ව තිබිණ. එනම් ඇමෙරිකානුවන් රුසියාවේ කටයුතුවලට ඇඟිලි ගැසීමේ දී තමන්ගේ සීමාවන් දැන ගෙන කටයුතු කළ යුතු බවය. රුසියාව හිටපු ජනාධිපති නික්සන්ට සැලකූ ආකාරය ඇමෙරිකාවට අවමානයක් වුවද ඒ පිළිබඳ කිසිදු අදහසක් නොදැක්වීමට ඇමෙරිකාව පරෙස්සම් වූ බව පෙනේ. නික්සන්ගේ ඇමෙරිකානු සංචාරය පසු පස ඔහුට ම අදාළ එක්තරා පෞද්ගලික කරුණක් ද තිබේ. එනම් වෝටර්ගේට් සිද්ධිය නිසා ධුරයෙන් ඉවත් වීමට සිදු වීමෙන් පසු ඔහු කර තිබූ ප්‍රකාශයයි. දේශපාලනයෙන් තොරව තමාට ජීවිතයක් ගැන සිතිය නොහැකි බව ඔහු පවසා තිබිණි. 


1972 දී ඔහු ජනාධිපති ධුරය දරන කාලයේදී සෝවියට් සංගමයේ සංචාරයක් සිදු කරමින් එසේ සංචාරය කළ පළමු ඇමෙරිකානු ජනාධිපති බවට පත්විය. ඔහුගේ පාලන කාලයේදී සෝවියට් දේශය මෙන්ම චීනය ද සමග වු ඇමෙරිකානු සබඳතා වර්ධනය විය. මෙවැනි සබඳතා නිසා තමාට රුසියාවේ යම් දේශපාලන පිළිගැනීමක් ලැබෙතැයි ඔහු සිතන්නට ඇත. ඔහුගේ රුසියානු සංචාරයට මූලාශ්‍ර වන්නට ඇත්තේ ද අලුත් මාදිලියක දේශපාලන ප්‍රවිෂ්ටවීමකි. 


සෝවියට් සංගමයේ කඩා වැටමෙන් පසු අනූව දශකයේදී එරට ආර්ථිකය කඩා වැටුණේය. 


1933 දී ඩොලර් එකක රූබල් වටිනාකම 1247 ක් විය. 


1995 දී උද්ගතවූ රුසියානු උද්ධමනය නිසා ඩොලරයට සාපේක්ෂව රූබලය 5560 දක්වා පහත වැටිණ. සෝවියට් බිඳ වැටීමෙන් පසු මුහුණ දුන් අර්බුධකාරි පසුබිම තුළ වුවද ඇමෙරිකාවේ රූකඩයක් බෙවට පත් නොවීමට රුසියාවට හැකි විය. ග්ලාස්නොස්ට් හෙවත් විවෘතතත්ව යටතේ එතෙක් කල් බොහෝ දේ සම්බන්ධව තිබූ වාරණයන් ද අහෝසි විය. සාහිත්‍ය, කලා කටයුතු වලදි මේ තත්ත්වය වඩා පැහැදිලි විය. ස්ටාලින් යුගයේ දී වාරණයට ලක් වූ මිකායිල් බුල්හිනොව් වැනි ලේඛකයින්ගේ පළ නොවී සැඟව තිබූ අත් පිටපත් ප්‍රකාශයට පත් විය. බුල්ගිනොව් ගේ මාස්ටර් සහ මාගරිකා වැනි කෘති පළමු වරට ග්‍රන්ථ ලෙස ප්‍රකාශයට පත් විය. මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් වීමත් සමග ලොව පුරා ඉහළ ප්‍රතිචාරයකට ලක් විය. 


එහෙත් පූර්ව විප්ලවීය යුගයේදි ගොගොල් ටෝල්ස්ටෝයි, ඔස්ටොවොස්කි, චෙකොප් ගෝර්කි වැනි ලේඛකයින් නිර් සෝවියට් යුගයේදි බිහි වී නැති බවට ප්‍රකාශ වී තිබේ. 


එවන් ලේඛකයින් බිහිවීමේ නිර්මාණ පසුබිමක් 1918 සිට 1991 දක්වා කාලය තුළ නොතිබීම ඊට හේතු වන්නට ඇත. එසේ වුවද ආර්ථික සහ අන්තර්ජාතික දේශපාලන කටයුතු වලදී රුසියාව සිය ආධිපත්‍යය දක්වමින් සිටී. එය එක්තරා අන්දමින් පැරණි සෝවියට් බලපරාක්‍රමය යළි නිර්මිත වීමකි. 


ලෝක දේශපාලනයේදී ඇමරිකානු තීන්දු තීරණ වලදී රුසියානු තීරකභාවය ඉවත නොදැමිය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

 

 

 

 

රන්ජන් අමරසිංහ