මිනර්වා පාසලෙන් රහසේ පැනයාම ගැනත් ටියෝ මොක් ගැන මුසාබස් කීම ගැනත් මට කනගාටුවක් ඇතිවුණි. පසුදා මිදුලේ යාඥා රැස්වීමෙන් පසුව මම ඇය දයාවේ මව්තුමියගේ පිළිරුව පිටුපසට කොටුකර ගැනීමට සමත්වීමි.


“මොනවද මේ වෙන්නෙ?”යි මම ඇසුවෙමි. නමුත් මා සරදමකින් ගසා දමන්නට වෑයම් කළාය. “දැන් පුංචි නංගියේ, ඔයා මේ කන්‍යා සොයුරියගෙ පිළිරුවට පිටුපාලා කතා කරන්න උවමනා නැහැ.”


නැත, නැත, මා එසේ කරන බව ඇයට කීවෙමි. මා සමහර දේවල් දැනගැනීමට තරම් කුඩා වැඩි බව ඈ කීවාය. එයින් මට කෝපයක් ඇතිවුණි. මා බොරු කීමේ පාපයට යොමු කළා නම් ඈ මට ඇත්ත කිව යුතු බව මම මිනර්වාට මතක් කළෙමි.


මා පෙරළා මෙසේ ප්‍රශ්න කිරීම ගැන ඈ තරමක් විනෝදයට පත්වූ බව පෙනිණ. ඈ නිතරම මට තමා වෙනුවෙන් නැගී සිටින්නැයි දැන් වූ නමුත් මා ඇය වෙනුවෙන් පෙනී සිටි බව අමතක කර තිබිණ. අපට පුද්ගලික කතාබහකට ඉඩ ලැබුණු විටක එය කියන බවට ඈ පොරොන්දු වූවාය.


පෙබරවාරි 24 වැනි දින මෙදින පාසලේ සැවොම මියගියවුන්ගේ කුඩා උද්‍යානය වෙත කැඳවාගෙන යනු ලැබිණ. මිනර්වාටත්, මටත් කතා කිරීමට අවස්ථාව ලැබුණ බැවින් ඈ සියල්ල මා හා පැවැසුවාය. දැන් මට නැවත වරක් මැරෙන තරමට බියක් ඇතිවේ. මගේ වැඩිමහල් සොයුරිය මගේ මරණය වනු ඇතැයි මට නිසැකවම පසක් වේ.


ඇය, එල්සා හා ලූඞ්ස් හා සිනිටා සමගින් ඩොන් හොරූෂෝගේ නිවහනේ පැවැත් වූ රහසිගත රැස්වීමට සහභාගි වී තිබුණාය. ඩොන් හොරූෂෝ යනු එලිසාගේ මුත්තා (සීයා)ය. ඔහු විසින් කළ යුතු සිය නිවසේ ජනාධිපතිවරයාගේ පින්තූරයක් එල්ලීම වැනි දෑ නොකර පොලිසිය හා ගැටුම් ඇති කරගෙන තිබිණ. පොලිසිය ඔහු මරා නොදැමුවේ ඔහු බෙහෙවින් වියපත් නිසා බවද, ඔහු විගසින් කාටවත් කරදරයක් නොවී මිය යනු ඇතැයි ද මිනර්වා පැවැසුවාය.


ඈ මෙවැනි භයානක දෑ කරන්නේ මන්දැයි මම මිනර්වාගෙන් ඇසුවෙමි. එවිට ඈ පිළිතුරු ලෙස පැවැසුවේ තරමක් අමුතු දෙයකි. මා නිදහස් රටක වැඩෙනු දැකීම ඇගේ අභිලාෂය බැව් ඈ කීවාය. “ඉතින් මේ රට නිදහස් රටක් නොවෙයිද?”.


මම ඇසුවෙමි, මගේ හුස්ම තදවිය. මට දැනුණේ මගේ හුස්ම හිරවන්ට යන බවය. මිනර්වා පිළිතුරු නුදුන්නාය. මා ඒ වන විටත් සිත කලබල කරගෙන ඇතැයි ඇයට පෙනිණ. ඈ මගේ දෑත් සෙලවූයේ අප ඔජෝඩි අගාහි කළපුවේ ගැඹුරු තැනකට පැනීමට සූදානම් වූ අයුරිනි. “හෙමිහිට ගැඹුරින් හුස්මක් ගන්න” ඈ කෙඳිරුවාය. “හෙමිහිට ගැඹුරින්”.


උණුසුම් දිනක හෙමිහිට, ශීතල ගැඹුරු දියට වැටෙන අන්දම මසිතෙහි ඇඳුණි. මා මගේ සොයුරියගේ දෑත් තරව අල්ලා සිටියේ තවදුරටත් අන් කිසිවකට බියෙන් නොව ඈ ඉවත්ව යනු ඇතැයි සිතාය.


මා දැන නොගත යුතු දෙයක් දැනගත් බව හැඟේ. ඉන් හැම දෙයකම වෙනසක් පෙනේ. පොලිස් සයිරන් හඬක් ඇසෙන විට මරා දමන්නට යන්නේ කවුදැයි මට ඉබේටම සිතේ.


තමාට දැනෙන භයානකම අදහස දෙවියන් කියා කෙනෙකු සිටී දැයි අවිශ්වාසයක් ඇතිවීම බව ඈ පැවැසුවාය. අසරණ අසුන්සන් කන්‍යා සොයුරිය හිල්ඩාට වැඩිදුර කරුණු පහදා දීම සඳහා කුඩා පොත් පිංචවල් ලබාදුන්නාය. විදුහල්පතිනිය ඉවතට හැරුණු හැටියේ මෙම කුඩා ආගමික පොත්වලට සිදුවන්නේ කුමක්දැයි මම හොඳින් දැන සිටියෙමි. 


“ඇගේ ආකල්ප හරිම පටුයි” විටෙක අසුන්සන් කන්‍යා සොයුරිය හිල්ඩා ගැන එසේ කීවාය. “ඔබේ සහෝදරිය හා ඇගේ මිතුරියන් ඒවා අල්ලා ගන්නවා”.


කිසිවෙකු හෝ මිනර්වා විවේචනය කරනු ඇසීමට මා අකමැති වූ නමුත් හිල්ඩා පිළිබඳ කාරණයට එකඟවීමට මට සිදුවිය.


ජුනි 27 දින දවස පුරා භටයන් යමින් එමින් හිල්ඩා සෙවීය.


මිනර්වා මට මුළු පුවතම විස්තර කළාය.


කන්‍යාරාමයෙන් නෙරපා හැර සිටි හිල්ඩා රාත්‍රී කිහිපයකට පෙරාතුව සැඟවීම පිණිස එයට රිංගා තිබිණ. ඈ රහසිගත ලියවිලි වගයක් ට්‍රන්ක පෙට්ටියක දමා එය ඇදගෙන ආ මෝටර් රියේ තබා ඇත. අධිවේගී මාර්ගයේදී රථයේ ගෑස් අවසන් වී තිබිණ. ඇය කැඳවාගෙන යාමට මිතුරෙකු විත් තිබූ අතර ඔවුන් ගෑස් ටින් එකක් ගෙන යළි රථය තිබූ තැනට යනවිට එය පොලිසියෙන් වටකර තිබෙනු දැක ඇත. ට්‍රන්ක පෙට්ටිය ද විවර කර තිබිණ. හිල්ඩා ඇගේ මිතුරා ලවා කන්‍යාරාමය ළඟට ගෙනැවිත් දමාගෙන මිතුරියන් අවදි කරවා තිබිණ. කළ යුතු කුමක්දැයි කියා ඔවුහු වාද කළහ. අවසානයේ කන්‍යා සොයුරියන්ගේ පිහිට පැතීමට ඔවුහු තීරණය කළහ.


එබැවින් ඔවුහු මහා රෑ කන්‍යාරාමයේ දොරට තට්ටු කළහ. රාත්‍රී ගවුමෙන් හා නින්දට යන කැප් තොප්පිය සහිතව පැමිණි අසුන්සන් කන්‍යා සොයුරිය ඔවුන් ඉදිරියේ පෙනී සිටි විට මිනර්වා ඇයට සියලු තොරතුරු පවසා තිබුණාය.


අසුන්සන් කන්‍යා සොයුරිය හිල්ඩාට ආරක්ෂාව දීමට එකඟ වූයේ ඇගේ හදවතේ වූ යහපත්භාවය නිසාද නැතිනම් හිල්ඩාට පාඩමක් ඉගැන්වීම සඳහා දැයි යන්න තමාට නිසැක නැතැයි මිනර්වා පැවැසුවාය. හිතා බලන්න! හිල්ඩා යනු දෙවියන් වහන්සේ ගැන පවා විශ්වාසය නොතබන්නියකි.


පොලිසිය යළිත් පැමිණියේය. ඇඳුම් අත යට සැඟවුණ දෑත් නළලෙහි තබා කන්‍යා මව්තුමියගේ පිළිරුව ඉදිරිපිට කන්‍යා සොහොයුරියක මෙන් සිටි හිල්ඩා පසුකර ඔවුන් ඉදිරියට ගියේය. බියපත් වී නොසිටියේ නම් මට සිනහ යන්නට ඉඩ තිබිණ.


මිනර්වා ඩිප්ලෝමාව ලබාගත්තාය. හැමදෙනාම එය බැලීම පිණිස ලා වේගාවට ගියහ. ගෙයක් තරමට ලොකු බඩක් තිබූ පැටි්‍රයා ද පැමිණියාය. ඈ සිටියේ කවර මොහොතක හෝ දරුවා ලැබෙතැයි අපේක්ෂාවෙනි.


අපි ගිම්හාන නිවාඩුවට ගෙදර ගියෙමු. මට පිහිනීමට යනතුරු ඉවසීමක් නොවීය. තමාට පෙළඹීමක් ඇතිවූ නාන ඇඳුම ද රැගෙන මා හා එන බව මිනර්වා කීවාය. මව හා පියා තමාට අගනුවර නීති විද්‍යාලයට ඇතුළත්වීමට ඉඩ නොදේනම් තම පොරොන්දු කුමට රකිනුදැයි ඈ ඇසුවාය. මෙම සරත් කාලයේදී මට උවමනා දේවල් ඉගෙනීමට මම අදිටන් කර ගතිමි. ඒ පැටි්‍රයාගෙන් එම්බ්‍රොයිඩර් ඉගෙන ගැනීම, කේක් සෑදීම, ඬේඬේගේ පොත් කියවීම, ෆෙලාගෙන් මන්තර ඉගෙන ගැනීම වැනි බොහෝ දෑය. මිනර්වා කියාදෙන දෙයක් අසා ගැනීම ද ඒ අතර සිදුවනු ඇත.


මළ දරුවකු ලෙස උපත ලැබූ පැටි්‍රයාගේ බිළිඳු පුතා සොහොනෙහි වළ දමා අප ආපසු නිවසට පැමිණියා පමණි. පැටි්‍රයා දුකට පත්ව බොහෝ හැඬුවාය. දෙවියන් වහන්සේ තමා කරන දෙය හොඳින්ම දන්නා බව නැවත නැවත කීවත් පැටි්‍රයා හිස සැලුවේ එය විශ්වාස නොකරන අයුරිනි. පෙඩි්‍රටෝ ඇඟිලි ඇට කඩමින් ඈ සැනසුවේ ඔවුනට විගසින් නැවත දරුවෙකු ලැබෙනු ඇතැයි කියමිනි.


ඇය සුවපත් වන තුරු ඔවුහූ අප හා නතර වූහ. මා නිර්භීතව සිටීමට වෑයම් කළත් ඒ ලස්සන දරුවා අප්‍රාණිකව පෙට්ටියක සිටි අන්දම සිහිවන විට මට හැඬුම් ආවේය.


හිල්ඩා හසු වී තිබුණාය. ඈ කන්‍යාරාමයෙන් පිටවන විට පොලිසියෙන් ඇදගෙන ගොස් තිබිණ. ඩොන් හොරූෂෝගේ රැස්වීම් සඳහා ගිය හැම දෙනාටම ඔවුන් වරදකරුවන් කළ හැකි සියල්ල විනාශ කිරීමට උපදෙස් ලැබී තිබිණ. මිනර්වා ඇගේ කවි, ලියවිලි හා ලියුම් සියල්ල වළ දැමුවාය. ඈ මගේ දින සටහන් කියවීමට අදහස් නොකළත් එය අතන මෙතන තබා තිබියදී එහි හිල්ඩාගේ නම තිබෙනු දැක ඇත. යහපත උදෙසා වැරැදි දේවල් ද කිරීමට සිදුවන බව පැවැසූ ඈ අප දින පොත ද වළ දැමිය යුතු බව කීවාය.


එය සදහටම නොවන බව මම ඔබට පොරොන්දු වෙමි. මගේ දයාබර පුංචි පොත හැම දෙයක්ම යහපත් වූ පසුව අපි අපේ පෙට්ටිය ගොඩට ගන්නෙමු. ඈ තම සැලසුම පෙඩි්‍රටෝට පැවැසූ විට ඔහු කොකෝවා ගස් අතර අපට වළක් කපා දුන්නේය. එබැවින් මගේ දයාබර පුංචි පොත මම දැනට ඔබෙන් සමුගනිමි.


මිනර්වා නිවැරැදිය. මා ඔබ ලිවීමට පටන්ගත් විට මාගේ ආත්මයේ ගැඹුරක් ඇතිවන්නට පටන් ගත්තේය. නමුත් මට මිනර්වා ද නොදන්නා මේ දෙය දැන ගැනීමට උවමනාය. මෙම හිස් ඉඩ පිරවීමට දැන් මා කරන්නේ කුමක්ද?


මේ මගේ පුංචි පොතේ අවසානයයි.

 

 

 

 

 

 

 

 

 


පරිවර්තනය - මානල් ජයන්ති ගුණසේකර