මාඕ ත්සේතුං 181

 

වරක් මාවෝ ඇවිදින්නට ගිය අතරේ තවත් ශරිර ආරක්ෂකයින් කිහිපදෙනෙක් සමග එක්ව මම ඔහුගේ අධ්‍යයන කාමරයේ තිබුණු සුවපහසු විශාල පුටුවක් වෙනත් කාමරයකට ගෙනයන්න උත්සාහ කළෙමි. එය කාමරයෙන් පිටතට ගන්නට කිහිපවරක්ම උත්සාහ කළ ද එය කළ නොහැකිවූ නිසා අපි එය අත්හැර දැමුවෙමු. මාවෝ ආපසු පැමිණි විට පුටුව තවමත් කාමරයේ තිබෙනු දැක ඒ ගැන ප්‍රශ්න කළේය.


“ඒක අනිත් කාමරයට ගෙනිච්චෙ නැත්තෙ ඇයි?.”


“දොර සෑහෙන්න පටුයි.” ෆෙන්ග් යාවෝසෙන්ග් කිවේය. ඒ නිසා ඒ අතරින් ඒක ගෙනියන්න බෑ. ඒක තියෙන තැනම එහෙමම තියන්න අරිමුද?.”


අප දෙස බැලූ මාවෝ අනතුරුව පුටුව දෙස බැලුවේය. මොහොතක් බරපතළ ලෙස කල්පනාකරණබවක් පෙන්වූ ඔහු මෙසේ කීවේය. “මට මෙතැන තේරෙන්නේ නැති දෙයක් තියෙනවා.”


මාවෝ තුළ එක් සුවිශේෂ පුරුද්දක් පැවතුනි. ඒ, පක්ෂයේ ඉහළ නිලතල දරන්නන් සහ විශේෂඥයින් සමග විශේෂ කරුණු සාකච්ඡා කරණ අවස්ථාවල ඒවාට බාධාකරමින්, ඒ අවස්ථාවේ ඔහු ළඟ සිටින ශරීර ආරක්ෂකයින් ඒ සම්බන්ධව කියන්නේ කුමක්දැයි විමසීමය. එවන් අවස්ථාවල ශරිර ආරක්ෂකයෝ ඉතා සතුටින් ඔවුන්ගේ උපදෙස් ලබා දුන්හ. ඒ පුරුද්දට අනුව අපෙන් දැනගන්න උවමනා මොනවාද යන්න ඔහුගෙන් ඇසුවෙමු. මදක් වික්ෂිප්තව බලාසිටි මාවෝ අපෙන් මෙලෙස ඇසුවේය. “කියන්න මට. මේ පුටුව මේ කාමරය ඇතුළට ආවේ මේ ගෙදර හදන්න ඉස්සෙල්ලද? පස්සෙද?.”


ඒ පැනයෙන් අප සියලු දෙනාගේම මුහුණු ලජ්ජාවෙන් රත්පැහැ ගැන්විණි. අපි මාවෝට තවත් යමක් කියන්නට ඉඩ නොතබා ඒ ලොකු පුටුව කුඩා දොරින් කාමරයෙන් පිටතට ගත්තෙමු. මේ මාවෝ ගේ විහි`එ කතා වලින් එකක් දෙකක් පමණි. කෙසේ වෙතත් මාවෝ විහි`එ තහළු කරණ විට කියන කරණ දේ හුදු විහි`එ හෝ කොලොප්පම් ම නොවන බව කිව යුතුය. ඔහු ඒවා කළේ එක්කෝ ඒ අවස්ථාවේ පැවති වාතාවරණය වෙනස් කර සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමටය. ඇත්තෙන්ම ඔහුගේ මුඛරි, බුහුටි කියමන් තුළ විශ්වාසය, සතුට, ප්‍රබුද්ධත්වය, දැනුම හෝ ශක්තිය ගැබ්ව තිබුණි.


මාවෝගේ ශරිර ආරක්ෂකයා ලෙස මා කටයුතු කළ මුල් අවුරුදු කිහිපයේදි මට ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන්නට සහ පොත් පත් කියැවිමට යොමුකිරීමට මාවෝ කටයුතු කළේය. මාවෝ යටතේ වැඩ කළ අයට ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළ බවට පුවත් පත් සහ සඟරාවල පළවුණු බොහොමයක් කතා සත්‍ය විය. මෙහිදි පොත් සහ අධ්‍යාපනය ගැන මාවෝ තුළ පැවති ආකල්ප ගැන මගේම ආවර්ජනයන් මෙහිදි එක් කිරීමටද මම කැමැත්තතෙමි.


සෝලින්ගේ හි පිහිටි මධ්‍යම කාරක සභා කාර්යාලය සතුරු වෙඩි හඬ ඇසෙන මානය තෙක්ම වෙනස් කළේ නැත. මෙහිදී මාවෝ අශ්වයා පිට නැගී නැවත බිමට බැස්සේය. ඔහු ආරක්ෂකයින් ගෙන් කෙනෙක්වු මා හැන්රොන්ග් වෙත ගොස් මෙසේ ඇසුවේය.


“හැන්රොන්ග් සහෝදරයා තමුන් සුයිඩී වලින් ආපු කෙනෙක් නේද?”


“එහෙමයි සභාපති සහෝදරයා.”අළුතින් සේවයට බැඳුණූ අයෙක් වු මා සීරුවෙන් සිටගෙන කීවේය.


“සුයිඩි වලට මෙහෙ ඉඳළා ‘ලී’ (චීනයේ දුර මනින ප්‍රධාන ඒකකය.) කියක් තියෙනවද?


“මට ඒක නම් හරියට කියන්න බෑ ඒත් දවස් බාගයක් පයින් යන දුර.”


මාවෝ මෙහොතක් කල්පනාකර අනතුරුව ඔහුගේ පොත් අසුරා තිබුණු පෙට්ටි දෙස බලා මෙසේ කීවේය. “මට තමුන්ගෙන් උදව්වක් ඕනෑ කරලා තියෙනවා. කරන්න පුළුවන්ද?.”


“ඕනෑම දෙයක් කියන්න සභාපති සහෝදරයා.”


“මගේ පොත් පෙට්ටි කිහිපයක් තියෙනවා. මට ඒවා තමුන්ගේ ගෙදර තියන්න පුළුවන්ද?.”


“සත්තකින්ම කිසි ප්‍රශ්නයක් නෑ.”


“නමුත්....ඒකෙන් තමුන්ගේ පවුලට මොනවාහරි කරදරයක් වේවිද?.”


“නෑ. මගේ ගම තියෙන්නේ නැගෙනහිර සුයිඩි වල ගැඹුරු දෙණියක. ඒක ප්‍රධාන මාර්ගයෙන් බොහොම ඈත තියෙන්නේ. සතුරු හමුදාවලට එහාට පයින් යන්න බෑ. මගේ ගමේ මිනිස්සුන්ට කරදරයක් වුණත් ඒ වෙලාවට කරන්නේ මොනවද කියන එක ඔවුන් දන්නවා. ”


“තමුන්ට බොහොමත්ම ස්තුතියි. එහෙනම් එහෙට යන්න ලෑස්තිවෙන්න.”


අප මාවෝ ගේ ආරක්ෂාව ගැන සිතන විට මාවෝ දෙබැම හකුළාගෙන කනගාටුවුවේ ඔහුගේ පොත් ගැනය. මා පොත් රැගෙන පිටත් වු විට ඔහුගේ දෙබැම තරමක් ලිහිල් විය.


ඉන් දින දෙකකට පසු මා ආපසු පැමිණ නිවසක රහස් ගුහාවක පොත් සැඟවු බැව් කීවේය. එතැන සොරසතුරන්ට පමණක් නොව කුවොමින්ග්ටෑන්ග් භටයින්ටවත් සොයාගත නොහැකිබව කියු විට මාවෝගේ මුහුණ ආලෝකවත් විය. ඔහු මට ස්තුති කළේ ඉමහත් සතුටකිනි. “බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි, තමා කළ මහා උදව්වට බොහොමත්ම ස්තුතියි.”

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත