1850 අගෝස්තු මස මගේ අතිශයින්ම අයහපත් සෞඛ්‍ය තත්ත්වය නොබලා මගේ රෝගී දරුවාද ගෙදර තබා කාල්ගේ මාමාගෙන් උදව් උපකාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඕලන්දයට යාමට මම තීරණය කළෙමි. පස්වැනි දරුවකු ලැබීමේ බලාපොරොත්තුවත්, අනාගතය පිළිබඳ හැඟීමත් නිසා මම අතිශයින් අසරණ වීමි. විප්ලවයේ අහිතකර බලපෑම නිසා තමාගේ සහ තම පුතුන්ගේ වෙළඳ ව්‍යාපාරවලට හානි ඇති වූයෙන් කාල්ගේ මාමා මහත් අසතුටකින් පසුවිය. විප්ලවයටත්, විප්ලවවාදීන්ටත්, එරෙහිව කේන්තියකින් සිටි ඔහු ඉතාමත් නරක මනෝභාවයකින් පසුවිය. ඔහු මට කිසිදු උපකාරයක් කිරීමට අකැමැති විය.


කෙසේ වුවද, මා ඔහුගෙන් සමුගන්නා විට හේ මගේ බාල දරුවා සඳහා තිළිණයක් මා අත තැබීය. වැඩි යමක් දීමට නොහැකි වීම ගැන ඔහු මහත් සිත්වේදනාවකින් පෙළෙන ආකාරය මම දුටිමි. මා ඔහුගෙන් සමුගන්නා විට මසිත ජනිත වූ හැඟීම් මොනවාද යන්න පවා මහල්ලාට අවබෝධ කරගත නොහැකි විය. මා ආපසු ගෙදර ආවේ බලාපොරොත්තු සුන්වූ හැඟීමෙන් යුතුවය. මගේ කුඩා විඞ්ගර් තම සිඟිති මුවින් සුහද සිනා පාමින් මා ඉදිරියට දුව ආවේය. කුඩා ෆොක්ස් ඔහුගේ සිඟිති දෑත මා වෙත දිගු කළේය. මට වැඩි කලක් ඔහුගේ සුරතල් බැලීමට නොහැකි විය. නොවැම්බර් මාසයේදී නිව්මෝනියා රෝගය අසාධ්‍ය වීමෙන් සෑදුන වලිප්පුවෙන් ඔහු මිය ගියේය. මගේ දුක අතිමහත් විය. අපෙන් සදහටම වෙන්වූ පළමුවැනි දරුවා ඔහු විය. එහෙත් මේ තාක් විඳි දුක්වේදනා පරයා යන, අනාගතයේදී මට විඳින්නට සිදුවන දුක්වේදනා ගැන මම කිසිවකුදු එවකට දැන නොසිටියෙමි. මගේ පුතුගේ මරණින් පසු අපි පදිංචිව සිටි ගෙදර අතහැර එම වීදියේම තවත් ගෙයක පදිංචියට ගියෙමු.


1851 මාර්තු 28 වැනිදා අපේ දුවණිය, ෆ්‍රැන්සිස්කා උපන්නාය. කුඩා කාමර තුනක අනෙක් අයත් සමග ඇය ඇතිදැඩි කිරීමට නොහැකි හෙයින් අපට ඇය කිරි මව් කෙනෙකුට භාර දීමට සිදුවිය. 1851 සහ 1852 අවුරුදු අති විශාල සහ ඉතාමත් සුළු කරදර, සිත්වේදනා, බලාපොරොත්තු සුන්වීම් සහ සෑම ආකාරයකම අගහිඟකම්වලින් පිරී පැවතිණි.


1851 ගිම්හානයේ මුල අපේ පෞද්ගලික හා සෙසු කරදර කීප ගුණයකින් වැඩි කළාවූ එහෙත් මා මෙහි සවිස්තර ලෙස සඳහන් කිරීමට බලාපොරොත්තු නොවන දෙයක් සිදුවිය. වසන්තයේදී ඉතාමත් භයානක විප්ලවීය  කුමන්ත්‍රණයක යෙදිණැයි රයින් පෙදෙසේ පදිංචිව සිටි කාල්ගේ සියලුම මිතුරන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ ප්රුසියානු ආණ්ඩුව, ඔවුන් සියල්ලම දඟගෙයි දමා ඔවුන්ට ඉතා දරුණු වධහිංසා පැමිණ වීය. 1852 අවසානය වනතුරුම ඔවුන්ට විරුද්ධව ප්‍රසිද්ධ නඩු විභාගයක් නොපැවැත්විණි.

කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව වූ කොලෝන් නඩු විභාගය යනුවෙන් මෙය ප්‍රසිද්ධ විය. ඩැනියෙල් හා යාකොබ් හැරුණු විට සියලුම චූදිතයන්ට අවුරුදු 3 සිට 5 දක්වා සිරදඬුවම් ලැබුණි.


මුලදී කාල්ගේ ලේකම් වශයෙන් වැඩ කළේ ඩබ්ලියු. පීපර්ය. එහෙත් වැඩිකල් නොගොස්ම මම එම ධුරය භාර ගතිමි. කාල්ගේ කුඩා කාර්යාල කාමරයේ වාඩි වී, ඔහු විසින් නොපැහැදිලි අකුරින් ලියන ලද ලිපි මා විසින් පිටපත් කරන ලද කාලය පිළිබඳ මතකය මගේ ජීවිතයේ ඉතාමත්ම ප්‍රීතිදායක එකක් වූ බව කිව යුතුය.


1851 අවසානයේදී ලුවි නැපෝලියන්ගේ “කුදේතාව” (රාජ්‍ය කැරැල්ල) සිදුවූ අතර ඊළඟ අවුරුද්දේ කාල් සිය “දහ අට වැනි බ්රූමෙර්යාව” නමැති පොත ලිවීය. එය නිව්යෝර්ක් හි පළකෙරිණි. ඔහු විසින් මේ පොත ලියන ලද්දේ ඩීන් වීදියේ පිහිටි  අපේ කුඩා නිවසේදී දරුවන්ගේ කෑකෝ ගැසීම් හා ගෙදර දොරේ ඝෝෂාව මධ්‍යයේය. මාර්තු මාසයේදී ඔහුගේ අත්පිටපත ප්‍රකාශයට පත්කරන ලද්දේ බොහෝ කලකට පසුවය. එයින් කිසිදු ආදායමක් අපට නොලැබුණි.


1852 පාස්කු සමයේදී අපේ සිඟිති ෆ්‍රැන්සිස්කා බ්‍රොන්කයිටිස් රෝගයට ගොදුරුව තදබල සේ ඔත්පළ වූවාය. ඈ දින 3 ක් තිස්සේ මරුවා සමග සටන් කළාය. ඇය දැඩි වේදනා වින්දාය. ඇය මළ පසු ඇගේ කුඩා මෘත දේහය පිටුපස කාමරයේ තබන ලදී. අපි සැවොම ඉදිරිපස කාමරයට ආවෙමු. රාත්‍රී කාලයේ අපි බිම වැතිරී නිදා ගතිමු. ජීවතුන් අතර සිටි දරුවන් තිදෙනාද අප අසල වූහ. අපි සියලු දෙනාම, යාබද කාමරයේ තබා ඇති කුඩා දෙව්දුවගේ සුදුමැලි, අප්‍රාණික දේහය වෙනුවෙන් හැඬුවෙමු. අපේ ආදරණීය දරුවාගේ මරණය සිදුවූයේ අප අගහිඟකම්වලින් දරුණු සේ පීඩා විඳි වකවානුවේය. එකල අපේ ජර්මන් මිතුරෝ අපට ආධාර කළ හැකි තත්ත්වයක නොසිටියහ. එවකට නිතර අප හමුවීමට පැමිණ බොහෝ වේලාවක් අප සමග ගත කිරීමට පුරුදුව සිටි අර්නස්ට් ජෝන්ස් අපට ආධාර කිරීමට පොරොන්දු වුවද එය ඉටු කිරීමට හේ අසමත් විය. දරුණු වේදනාවෙන් මඬනා ලද හදින් යුතු වූ මම අප නිවසට නුදුරින් පදිංචි අපේ ගෙදරට ඒමට පුරුදුව සිටි ප්‍රංශ ජාතික දේශපාලන විගාමිකයෙකුගේ ගෙදරට දුවගොස් මේ භයානක  අවශ්‍යතාවයේදී  අපට ආධාර කරන ලෙස ඉල්ලා සිටියෙමි. ඉතාමත් සුහද ලෙස අනුකම්පා සහගතව ඊට සවන් දුන් ඔහු මට පවුම් දෙකක් දුන්නේය. එම මුදලින් මගේ අසරණ දරුවා වළලා දැමීමට මිනී පෙට්ටියක් ගනිමි. කුඩා ෆ්‍රැන්සිස්කා මෙලොව එළිය දුටු විට ඇයට තොටිල්ලක් පවා නොතිබිණි. ඈ මියගිය පසු ඇගේ මළසිරුර බහාලීමට පෙට්ටියක් ගැනීම පවා  දුෂ්කර විය. අප ඇය සිය මිනී වළ කරා ගෙන ගියේ කොතරම් දැඩි සොවින් බර හදින් යුතුවද?


1852 අගෝස්තු මස, සුප්‍රසිද්ධ කොමියුනිස්ට් නඩු විභාගය අවසන් විය. ප්රුසියානු ආණ්ඩුවේ නීචකම හෙළිදරව් කරමින් කාල් පොත් පිංචක් ලිවීය. මෙය ස්විට්සර්ලන්තයේදී ෂබේලිම්ස් විසින් මුද්‍රණය කරනු ලැබූ නමුත්, ප්රුසියානු ආණ්ඩුව විසින් සිය දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන විනාශ කර දමන ලදී. ක්ලුප් විසින් ඇමෙරිකාවේදී එය නැවතත් මුද්‍රණය කරවන ලද අතර නව මුද්‍රණයේ පිටපත් රාශියක් යුරෝපා මහාද්වීපයේ පුළුල් ලෙස බෙදා හරින ලදී.


1853 සිට කාල් සතියකට දෙවරක් බැගින් නිව්යෝර්ක් ඬේලි ට්රිබියුන් පුවත්පකට ලිපි සපයන්නට විය. මේවා ඇමෙරිකාවේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. මේ ස්ථීර ආදායම නිසා අපට තරමක්  දුරට පරණ ණය තුරුස් ගෙවා, තරමක සන්සුන් ජීවිතයක් ගතකිරීමට හැකි විය. දරුවෝ නියම ලෙස වැඩී, ශාරීරික හා මානසික අතින් වර්ධනය වූහ. කෙසේ වුවද අපි තවම ඩීන් විදීයේ තදබද කුඩා ගෙදරම වාසය කළෙමු. එම අවුරුද්දේ නත්තල් උත්සවය අප ලන්ඩනයේදී පැවැත්වූ පළමු වන ප්‍රීති උත්සවය විය. කාල් නිව්යෝර්ක් ටි්‍රරිබියුන්  පුවත්පතට ලිපි සැපයීම නිසා එදිනෙදා පැනනැගී දුක්කම්කටොලුවලින් අපි තරමක සහනයක්  ලැබීමු.

ගිම්හානයේදී අපේ දරුවන්ට  එළිමහනේ හා උද්‍යානවල කෙළිදෙලෙන් දුව පැන යාමට  වැඩි වැඩියෙන් ඉඩකඩ  ලැබුණි. එම අවුරුද්දේ චෙරි, ස්ට්‍රෝබෙරි පමණක් නොව මිදි ද ඔවුන්ට ලැබුණි. නත්තල් දින උදාවත්ම අපේ මිතුරෝ අපේ කුඩා ළමුන්ට විවිධාකාර මනස්කාන්ත තෑගි බෝග රැගෙන ආහ. මේවා අතර බෝනික්කන්, සෙල්ලම් තුවක්කු, සෙල්ලම් බත් උයන බඳුන්, බෙර හා හොරණෑ ද විය. එදින සවස නත්තල් ගස සැරසීමට ඩ්‍රොන්කේ පැමිණියේය. එය ප්‍රීතිමත් සැන්දෑවක් විය.


ඊට සතියකට පසුව, අපේ පුංචි එඞ්ගර් පුතුගේ මාරක රෝගයේ පූර්ව ලක්ෂණ මතුවිය. ඊට වසරකට පසු ඔහු මියගියේ එම රෝගයෙනි. එදා අප පදිංචිව සිටි සෞඛ්‍යයට අහිතකර කුඩා ගෙය අතහැර මුහුදු වෙරළාසන්නයෙහි පදිංචියට ගියේ නම් අපට ඔහුගේ පණ රැක ගැනීමට ඉඩ තිබුණි. එහෙත් සිදුවූ විපත දැන් වැළැක්විය නොහැකිය.


1855 සැප්තැම්බර් මස අපි ඩීන් වීදියේ පිහිටි අපේ පැරණි මූලස්ථානය වෙත ආපසු පැමිණියෙමු. බේකරිකරු, මස්කඩකරු, කිරි වෙළෙන්දා, සිල්ලර බඩු වෙළෙන්දා, එළවළු වෙළෙන්දා සහ අනෙකුත් සියලු “සතුරු බලවේගයන්” විසින් අපව බැඳ තැබූ යදම හා බැමිවලින් නිදහස් වූ විගසම අපි ඒ ගෙය අතහැර යාමට තරයේ අදිටන් කරගතිමු. අන්තිමේ 1856 වසන්තයේදී අපේ ණයවලින් මිදීමට තරම් සෑහෙන මුදලක් අපට ලැබුණි. අපි සියලුම ණය බේරා දැමීමු. උගසට තබන ලද අපේ රිදී, රෙදි පිළි, ඇඳුම් ආදිය උගස් කරුගෙන් නිදහස් කර ගතිමු. මේ අලුත් ඇඳුම් ඇඳගත් මම දරුවන් තිදෙනාද කැටුව අවසාන වරට මගේ පරණ ජන්ම භූමියට ගියෙමි.

(මෙම ලිපිය මාක්ස්ගේ බිරිය ජෙනි මාක්ස් විසින් 1865 දක්වා ලියන ලද තම ජීවන චරිතයේ සටහන්වලින් උපුටාගත් කොටස්වලින් යුක්ත වේ.)

එම්. තාරික්