මාඕ ත්සේතුං 190

පෙණ දමමින් වේගයෙන් රැලි නගන කහ ගංඟාවේ අපහැදිලි බොරදිය සහිත දිය සුළි දෙස ඔහු බැලුවේය. ඔහු යමක් තක්සේරුකරන්නට සිතින් උත්සාහ කරන බවක් පෙනුණි. අවසානයේ දිග සුසුමක් හෙළු ඔහු තමන්ටම කියාගන්නාක් මෙන් බෝට්ටුවේ සිටි අප සියල්ලන්ටම ඇසෙන සේ මෙලෙස කීවේය. “හෑල්ලුවට පත්නොකළ යුතු දෙයක් තියෙනවා නම් ඒ වෙන මොකක්වත් නෙවෙයි, කහ ගංඟාවයි. කහ ගංඟාව හැල්ලුවට ලක්කරණ එක අපේ මුළු ජාතියම හෑල්ලුවට ලක්කරණවට සමානයි.”


අපි ගඟ හරහා අඩක් ගියතැන මාවෝ ඈත උඩු ගං දෙස හැරී බැලුවේය. රන්වන් හිරු එළියෙන් ගඟ දිදුලන්නට විය. “බලාපල්ලා! බලවත් කහ ගංඟාව අහසින් කඩා පාත්වෙලා.” මාවෝ ටැන්ග් රාජ්‍යසමයේ විසූ ශ්‍රේෂ්ඨතම කවියෙකු වූ ලී බායි ගේ කවියක පදයක් එවෙලේ කටපාඩමින් කීවේය. අනතුරුව ඔහු හෙමින් මිමිනුවේය. “ඒක කොහෙන්ද මතුවෙන්නේ කියලා මා දන්නේ නෑ.”


අපේ බෝට්ටුව වැලි කොදෙව්වක් වටා යාත්‍රාකර ගංඟාවේ නැගෙනහිර ඉවුරට ළඟාවිය. අප පිළිගැනීමට ගං ඉවුරට පැමිණ සිටි පිරිස දෙස අප බැලුවද මාවෝ ඒ පැත්තවත් නොබැලීය. ඔහු උරහිසට උඩින් ආපසු කහ ගංඟාව දෙස බලා සුසුමක් පිටකරමින් මෙසේ කීවේය.


“මොනතරම් දුකක්ද!.”


ඔහු කියන ඒ දුක කුමක්දැයි මට තේරුම්ගත හැකිවිය. එය වෙන කුමක්වත් නොව ඔහුට කහ ගංඟාවේ පිනන්නට නොහැකිවුණ දුකයි.


නව චීනය පිහිටුවූවාට පසු යම් වැවක්, ගඟක් හමුවුණොත් ඒවායේ පිහිනන්නේ නැතිව මාවෝ කිසිදිනක නිකම් ආපසු නොගියේය. ඔහු ඒ වැව්, ගංඟා වලට අහසට නැගී පැන්නේ හරියට ඒවාට අභියෝග කරණ මිනිසෙකු විලසිනි. ආපසු ඔහු දියෙන් ගොඩ ආවේ තම පිළිමලුන් ජයගත්තාක් වැනි තෘප්තිමත් විලාසයෙනි. නමුත් ඔහු කිසිදිනක කහ ගංඟාව එලෙස සැලකුවේ නැත. බොහෝ නිරික්ෂණ චාරිකාවල නියැළෙමින් කහ ගංඟාව හරහා ගිය ගමන්වලදී ඔහු එදෙස බැලුවේ පවා එහි තත්ත්වය ගැන සලකා බලා ගරුසරු ලෙසිනි. ඔහු ඉන් ඉවත්වුවේ සුන්වු අපේක්ෂාවන්ගෙන් යුතුවය. කිසි දිනක මාවෝ ට කහ ගංඟාව පිහිනා තරණය කළ නොහැකිවිය.
ඔහු වයස්ගත වන්නාත් සමග ඒ බලවත් ගංඟාවේ පිහිනීමේ අදහස අතහැර දැම්මේය. නමුත් ඔහු එසේ කළේ දැඩි අකමැත්තෙනි. එහිදී ඔහු හරියට ඉපැරණි කවියෙකු වූ කාවෝ කාවෝ ගේ කවියකින් විස්තර කෙරුණු මහලු අශ්වයාට සමානවිය. ඒ අශ්වයාගේ අභිලාෂය වුවේ ද ඌ තරුණ කාළේ කරණ ලද වැඩ මහලු වියේත් ඒ ලෙසම කිරීමය.


මාවෝ ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතුකළ ගාවෝ ෂී 1962 අප්‍රේල් 19 වැනිදා, ඔහුට ලැබණු අලුත් රැකියාවේ වැඩ බාරගැනීමට ෂෑන්සි ප්‍රාන්තයේ ෂියෑං කරා පිටත්විය. උතුරු ෂෑන්සි යුද්ධය පැවති සමයේ ගාවෝ මාවෝ සමග කහ ගංඟාව හරහා ගමන්කර තිබුණි.


“ඔයා සෑහෙන කාලයක් මට සේවය කළා.” මාවෝ හැඟීම්බරව ගාවෝ ට කීවේය. “අපි දෙන්නා බොහොම කිට්ටු මිතුරන් බවට පත්වුණා. දැන් ඔයා මගෙන් ඈත්වෙලා යනවා. ඔයා කොහේ හිටියත් මා වෙනුවෙන් කරන්න තියෙන වැඩටිකක් ගැන මතක තියා ගනියි කියලා මා හිතනවා. එදාට මට ඔයාගේ උදව් ඕනැ කරණවා.”


“මම ඔබතුමත් එක්ක ඉන්නවා සභාපති සහෝදරයා. ඔබතුමා කියන ඕනෑම දෙයක් මට කරන්න පුළුවන් ඉහළම විදිහට මම කරණවා.” ගාවෝ හැඟීම්බරව කීවේය.


මෙවෙලෙහි මාවෝ උරමින් සිටි දුම්වැටියෙන් උගුරු කිහිපයක් ඇද හෙමින් කතා කළේය. “අපි කහ ගංඟාවේ බෝට්ටු සවාරියක් ගියා ඔයාට මතකද? මතකයි නේද?. මගේ කළු අශ්වයා බෝට්ටුවෙන් ගඟට වැටුණා. ඒත් ඌ පීනලා ගොඩට ගියා.” මදක් නිහඬවුණු ඔහු නැවත කතාව කියාගෙන ගියේය. “අපි උතුරු ෂැන්සිවල යුද්ධ කරණ වෙලේ ඔයා නිතරම වගේ පෙර ගමන් කණ්ඩායම් එක්ක අපට නවාතැන් ගන්න සුදුසු නිවාස ලකුණු කරමින් ගියා. ෂෑන්ෂි වල පෙර ගමන් කණ්ඩායමේ ඔයා කරපු ඒ ජොබ් එක දැන් මං වෙනුවෙන් කරන්න ඕනැ. ඒ කියන්නේ මං එහෙට ගිහින් මගේ අශ්වයා පිටේ කහගංඟාව දිගට ගමන් කරණවෙලාවට. මං ඒ ගමන යනවා.”
මේ කාලයේ ගාවෝ ගේ බිරිඳ දරුවෙක් ලැබෙන්නට සිටියත් ඒ හේතුව මත ඔහුගේ ගමන ප්‍රමාද කිරීමට ඔහුට උවමනා නොකළේය. ගුවන් හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිලධාරී හේ ටින්ගි ගේ අවසරය සමගින් ඇය ෂියෑං හරහා ගමන් ගන්නා ගුවන් හමුදා යානයකින් ෂියෑං කරා ගියාය. ෂියෑං වෙත ගිය හැටියේම ගාවෝ කහ ගංඟාවේ ගවේෂණය ආරම්භකර ඔහු සිතන කුමන දිනයක හෝ මාවෝ පැමිණෙන තුරු බලා සිටියේය.

 

 

 

 


ආරියනන්ද දොඹගහවත්ත