රතු විප්ලවයේ ලෙනින්ගේ අරගලය-03

දොන්බාස්හි ගල් අඟුරු කපන යන්ත්‍ර යෙදවීමටත්, ජර්ණක කැණීම සඳහා හයිඩ්‍රොලික් යන්ත්‍ර උපයෝගී කරගැනීමටත් යනාදියට ඔහු තියුණු උනන්දුවක් දැක්වීය. නව නිපැයුම් පිළිබඳ ඔහු කොතරම් තියුණු උනන්දුවක් දැක්වීදයත් නිපයුම්කරුවන්ට කුමන ආධාර දුන්නේද යන්න පෙන්නුම් කරන ලියකියවිලි බොහෝමයක් සුරක්ෂිතව ඇත.

ව්‍යාපාර කළමනාකරණයේ ගැටලුවලට හා රාජ්‍ය යන්ත්‍රයේ කටයුතුවලට ලෙනින් සෑහෙන අවධානයක් යොමු කළේය. ඔහු නිලධාරිවාදයේ, අනවශ්‍ය රෙගුලාසිවල සහ අකාර්යක්ෂමතාවයේ සතුරෙකු විය. නොයෙකුත් කේන්ද්‍රීය ආයතනවල අනවශ්‍ය රෙගුලාසි විවේචනයට භාජනය කරමින්, ලෙනින් මෙසේ ලිවීය. සෝවියට් පරිපාලන යන්ත්‍රය නිවැරදිව, මනාව සහ කඩිනමින් වැඩ කළ යුතුය.


ඔහු සෝවියට් නීති සම්පාදනයේදී ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළ අතර විප්ලවීය නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක්වීය. හදිසි සහ අකල් කාර්යාල ප්‍රතිසංවිධානය කෙරෙහි වූ ප්‍රවණතාව ඔහු දැඩි විවේචනයට භාජනය කළේය. ප්‍රතිසංවිධාන ගැන මා තුළ බලවත් බියක් පවතිනවා යැයි ඔහු 1922 ජනවාරියේදී ලිවීය. සෑම වැදගත් පියවරක්ම නීතියක් බවට පත් කිරීමට පෙර ප්‍රායෝගිකව අත්හදා බැලිය යුතු යයි ඔහු අවවාද කළේය. නීති සම්පාදනය කළ යුත්තේ, ත්‍රිවිධ සුපරික්ෂාකාරිත්වයකින් යැයි ඔහු කීය. ඔබ පනින්නට පෙර සිතා බැලිය යුතුය.


ආණ්ඩුවේ සහ පක්ෂයේ සිටි පිරිස් ලෙනින්ට වඩා හොඳින් දත් අන්කිසිවෙක් නොවීය. ඔවුන් තුළ ලෙනින් ඉතාමත් අගය කළ දේ වූයේ කොමියුනිස්ට්වාදය කෙරෙහි භක්තිය, සිය කාර්ය පිළිබඳ අයෙකු සතු දැනුම පක්ෂ පිළිවෙත කෙරෙහි උපක්‍රමශීලී, සැලකිලිමත් ආකල්පයක් දැරීමයි.


මධ්‍යම කාරක සභා කටයුතු ශක්තිමත් කොට ප්‍රදේශ සමග සමීප සම්බන්ධතාවක් ඇති කළ යුතු යැයි පෙන්නුම් කළ ලෙනින්, පක්ෂ ක්‍රියාකාරීන් විටින් විට ආර්ථිකය මෙහෙයවීමේ කටයුතුවල යෙදවීම ප්‍රයෝජනවත් යැයි සැලකීය. මධ්‍යම කාරක සභාවෙන් පත්කරන ලද ආර්ථිකය මෙහෙයුම්කරුවන්ට ප්‍රදේශයෙන් එක් මට්ටමකට ගෙන එන ලෙසත් ඒවායේ වැඩ පරික්ෂා කොට උපදෙස් දෙන ලෙසත්, ඔහු බලකර සිටියේය. ක්‍රියාකාරී පිරිස් තෝරා ගැනීම නිසි වැඩ බාරදීම හා ඔවුන් පුහුණු කිරීමේදී ලෙනින්ගේ මෙම ප්‍රතිපත්ති මගින් පක්ෂයට මග පෙන්වනු ලැබීය.


අයකුගේ යටත් සේවකයන් කෙරෙහි ඇති අධික පරිපාලන උනන්දුව, ලොකුකම පෙන්වීම සහ සැරපරුෂකම ලෙනින් දැඩි විවේචනයට ලක් කළේය. 1919 මාර්තුවේ එක් අවස්ථාවක, අභ්‍යන්තර කටයුතු පිළිබඳ මහජන කොමිසාර් මණ්ඩලයේ සාමාජිකයෙකු වූ ඒ. ජී. ප්‍රව්දීන්ගේ නපුරුකම ගැන ඇසූ ඔහු ප්‍රවුදීන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙසත්, මුග්ධ අණ කිරීමේ ස්වභාවය ඔහු තුළ පවතින තාක්කල් ඔහුගේ කටයුතු පාලනය කරන ලෙසත්, මහජන කොමිසාර් ජී. අයි. පෙත්‍රොව්ස්කිට කීය.


මිනිසුන් මැන ගැනීමේදී අයෙකු ගොවියන්ගේ හා කම්කරුවන්ගේ මතයට සවන්දිය යුතු යයි ලෙනින් උපදෙස් දුන්නේය. වැඩ කරන බහු ජනතාවට අවංක හා කැපවූ කොමියුනිස්ට්වාදීන්ගෙන් සිය දහඩිය මහන්සියෙන් ජීවිකා වෘත්තිය උපයන, වරප්‍රසාද බුක්ති නොවිඳින සහ පන්දමක් නැති ජනතාව කලකිරවන කොමියුනිස්ට්වාදීන් වෙන්කර හඳුනා ගැනීමට කදිම සහජ බුද්ධියක් ඇතැයි ඔහු ලිවීය.


කාර්යබහුල වීම නිසා ඇතිවූ වෙහෙසත්, 1918 දී ඔහු ලැබූ තුවාලවල පශ්චාත් බලපෑමත්, (එක් වෙඩි උණ්ඩයක් ශරීර ගතව තිබීම) හේතු කොටගෙන ලෙනින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට විය. වෛද්‍යවරුන්ගේ බලකිරීම නිසා, 1921 සීත සෘතුවේ ආරම්භයේ සිට විවේකය සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිතර නිතරම ඔහුට සිය වැඩ කටයුතු නතර කිරීමට සිදුවිය. 1922 දී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා නරක අතට හැරුණි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය ගැන නොසලකා, කෙසේ හෝ ඔහු සිය රාජකාරි කටයුතු දිගටම කරගෙන ගියේය.

 

 


මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්