රටපුරා සැරිසැරූ දූෂණය, නාස්තිය, නිලධාරිවාදය යන යක්ෂයින් තිදෙනාට එරෙහිව පක්ෂය විසින් දීප ව්‍යාප්ත මෙහෙයුම අරඹන විට ඇතැම් අවස්ථාවලදී ජියැන්ග් පක්ෂ වැඩ කටයුතු වලින් ඉවත්ව සිටියාය. රහස්‍ය ලේකම්වරයෙක් වන ෂූ යේෆූ “මේ වගේ දේශපාලන මෙහෙයුමක් දියත් කරන හැම අවස්ථාවකම වගේ ඇය ඉවත්ව ඉන්නේ ඇයි දැයි?” මගෙන් ඇසුවේය. “මගහරින්න මිසක් වෙන මොකටද?” මම එතරම් ගණන් නොගෙන සාමාන්‍ය ලෙස පිළිතුරු දුනිමි. මේ කතාව ජියැන්ග්ට දැන ගන්නට ලැබි ඇත. දැන් ඇය මට ආපසු දමා ගසන්නේ එයයි. 


ඇගේ චෝදනාවට මට කියන්නට දෙයක් නොතිබුණු අතර තරමක බියක් ද මාතුළ මතුවිය.


“අවලමා.” තරහින් පිපිරෙමින් සිටි ඇය වෙතින් දිස්වූවේ බිය ජනක පෙනුමකි. ඇය කාමරය වටා ගමන් කළේ දැඩි ආවේගයෙන් යුතුව තදින් හුස්ම ගනිමිනි. සෑහෙන තරමට කලබලයට පත්ව සිටි මම කිසිවක් කීමට බියවීමි. මට කළ හැකි වුවේ ඇය පසුපස ගමන් කිරීම පමණි.


කෝපය ඉහ වහා ගිය තැන ඇය මිදුලට ගොස් ඇවිදින්නට වූවාය. මම ඇය පසුපසින් ඇය ළඟින්ම ගමන් කළෙමි.


“මම මේ දේශපාලන මෙහෙයුම මග හරිනවා කියලා තමුන් හිතන්නේ ඇයි?.” ඇගේ දෙනෙතේ කඳු`එ පිරි තිබුණි. “තමුන් ගොලුවෙක් නොවෙයි නම් උත්තර දෙනවා. තමුන් එහෙම කීවා නේද?.”


“මට...මට සමාවෙන්න, ජියැන්ග් කුයින්ග් සහෝදරිය.” කරුණු විස්තර කිරීමේ ආයාසයෙන් යුතුව මම කීවෙමි. “මම ඔබතුමියට රිදවන්න බලාපොරොත්තුවුණේ නැහැ. ෂූ අහපු එකට මං එවෙලේ නිකම් උත්තරයක් දුන්නා විතරයි.”


“තමුන් මොනතරම් ගුණමකුවෙක්ද?.” ඇගේ දෙනෙතින් කඳු`එ ගලා හැලුණි. “මම තමුන් වෙනුවෙන් කරපු සියලුම දේශපාලන රැකගැනීම් වෙනුවෙන් මට සලකන්නේ මේ වගේ අපවාද වලින්ද?.”


“කරුණාකරලා මා කියන දේ විශ්වාස කරන්න. ඒක මා ඔබතුමියට රිදවන්න කළ දෙයක් නෙවෙයි. ඊටත් වඩා අපහාස කරන්නත් නොවෙයි.”


“ඒ ගැලවෙන්න කරන කතා වලින් වැඩක් නෑ. තමුන් මං ගැන කියපු නරක එක දෙයක් පමණයි ඒ. තමුන් මං ගැන තවත් ඒ වගේ දේවල් කියලා ඇති.”


“තවත් කිසිම දෙයක් නෑ. සත්තකින්ම මං වෙනත් කිසිම දෙයක් කියලා නෑ.”


“නෑ?. එහෙනම් දැන් මට කියනවා තමුන් ලි මින් මා එක්ක කොටවන්න හැදුවේ ඇයි කියලා?.”


“මම ඒ වගේ දෙයක් කවදාවත්ම කළේ නැහැ.”


“ඒක බොරුවක් කියලා ආයෙත් පාරක් කියනවා බලන්න. මම තමුන්ට අභියෝග කරනවා ඒක නැවත කියන්න කියලා. එදා මම තමුන්ට කීවා එයා එක්ක එන්න කාරෙකක් එයාගෙ ගෙදරට යවන්න කියලා. ඒත් තමුන් ඒක කළේ නෑ. ඇයි ඒ?.”


“මම ඒක කළා. මම පුද්ගලිකවම එයා එක්ක එන්න ගියා. ඒත් එයාට එන්න උනන්දුවක් තිබුණේ නැහැ.”


“ඒ මොකද කීවොත් තමුන් ඇය මා එක්ක කොටවපු හින්දා. කුඩම්මා කෙනෙක් ලේසියෙන්ම අවලාදවලට ගොදුරුකර ගන්න පු`එවන් කියලා තමුන් දන්නවා. ඒ හින්දා තමුන්ලා මට තදබල විදිහට පහර දෙනවා. අපි එකට ඉන්නවට තමුන්ලා කැමති නෑ.

තමුන්ලා එක එක ඕප දූප හදලා විරුද්ධවාදිකම් නිර්මාණය කරනවා. එහෙම නේද?.”


“සම්පුර්ණයෙන්ම නෑ.”


“තමුන් තවත් පැත්තකින් මාවයි, සභාපතිතුමයි කොටවන්න උත්සාහ කරනවා.” එසේ කියමින් ඇය විකාරයෙන් මෙන් අඩි පොළවේ ගසමින් හඬන්නට වූවාය. මම තැවුල් සිතින් යුතුව කිසිවක් කියාගත නොහැකිව හිස එල්ලාගෙන සිටියෙමි. ඉස්ටු දැමූ ඌරු මස් මාවෝට දෙන්නට එපා කියා ජියැන්ග් කියූ දේ මා මාවෝ ට නොකියා සිටිය යුතුව තිබුණි. එසේ වුවානම් මාවෝ එතරම් කේන්ති නොගන්නට ඉඩ තිබුණා මෙන්ම ඇය සමග එකට ආහාර නොගන්නා තීන්දුවකට නොයන්නටත් ඉඩ තිබුණි. ජියැන්ග්ට සිත් අවුල් කරගන්නට එය හොඳ හේතුවක් විය.


මම මගේ අත් ඔරලෝසුව දෙස බැලුවෙමි. වෙලාව සවස හතරට පමණ විය. මේ මාවෝ නින්දෙන් අවදිවෙන වේලාවයි. මම හිතට දිරිය ගෙන ඉතා සන්සුන් ස්වරයෙන් කතා කළෙමි. “දැන් සභාපතිතුමා නැගිටින වෙලාව. මා එතුමාගේ වැඩ කටයුතුවලට යන්න ඕනැ. ඒ වැඩ ඉවරවෙලා ඔබතුමියට මගේ ස්වයංවිවේචනය කරන්නම්.”

ආරියනන්ද දොඹගහවත්ත