රතු විප්ලවයේ ලෙනින්ගේ අරගලය-06

ලෙනින් නිරන්තරයෙන්ම වෙහෙස නොබලා බහුජනතාවට රාජ්‍ය පාලනය කිරීමට හා කළමනාකරණ ශිල්පක්‍රමය ප්‍රගුණ කිරීමට උගැන්වීය. ඔහු නිලධාරිවාදයට විරුද්ධව වැඩ කරන ජනතාවගේ උවමනාවන් හා අපේක්ෂාවන් කෙරෙහි කර්කශවීමට විරුද්ධව හා වැඩ කෙරෙහි සම්ප්‍රදායික ආකල්පයක් දැරීමට විරුද්ධව සටන් කළේය. ඔහුගේම ජීවිතය ස්වයංවිනය හා කාර්යක්ෂමතාවය පිළිබඳ නිදසුනක් විය. ඔහු විසින් මුලසුන හෙබවූ මහජන කොමිසාර් මණ්ඩලයේ රැස්වීම් නිතරම කාර්යශූර නිශ්චිතතාවයකින් පවත්වාගෙන යන ලදී.


ලෙනින් කිසිම දිනෙක ඒවාට පැමිණීමට විනාඩියක්වත් ප්‍රමාද වූයේ නැත. කථිකයින්ට  විනාඩි තුනේ සිට පහ දක්වා කාලයකට වැඩියෙන් ඉඩ නොදුන්නේය. කථිකයන් හොඳින් හරි වැරදි සොයා බලා නිවැරදි කරුණු හා සංඛ්‍යා ඉදිරිපත් කළ යුතු යයිද පැහැදිලි යෝජනා ඉදිරිපත් කළ යුතු යයිද ලෙනින් කියා සිටියේය. හුදු වාග්මාලා, අපැහැදිලි ප්‍රකාශන අවිනිශ්චිත හා සාවද්‍ය තොරතුරු ඔහු නොරිස්සීය. ඔහු ප්‍රාදේශීය නියෝජිතයන්ට සාවධානව සවන් යොමු කළ අතර සාමාන්‍ය ක්‍රියාකාරයින්ගේ මතයට ඇහුම්කන් දුන්නේය. කමිටු වැඩ කටයුතුවලට නිතරම අලුත් පුද්ගලයන් පත් කිරීමට සූදානමින් සිටි ඔහු ඔවුන්ට විශේෂ වගකීම් භාරදුන්නේය.


ඔහු සාමූහික වැඩ උසස් කොට සැලකූ අතර එය දිරිගැන්වීය. වැදගත් ප්‍රශ්න පක්ෂ මධ්‍යම කාරක සභාවේ හෝ මහජන කොමිසාර් මණ්ඩලයේ සාකච්ඡා නොකොට ඒ පිළිබඳ නිගමනයකට බැසීම වැරැදි යැයි ඔහු සැලකීය. සියලුම ප්‍රශ්න මනාව සාකච්ඡා කොට සාමූහික තීරණයකට එළඹීමට ඔහු කැමති විය. සාමූහිකත්වය පක්ෂ සහ රාජ්‍ය නායකත්වයේ අද්විතීය ප්‍රතිපත්තියක් වශයෙන් ඔහු සැලකීය. ලෙනින්ගේ කාලයේ මෙම ප්‍රතිපත්තිය කිසිම දිනෙක උල්ලංඝනය නොවීය. සිවිල් යුද සමයේ වුවද, සම්මේලන කැඳවීම අතිශයින් දුෂ්කර තත්ත්වයකට පත්ව තිබුණද ඒවා වර්ෂයක් පාසා පවත්වන ලදී. හත්වැනි සමුළුව 1918 දීද අටවැනි සමුළුව 1919 දීද, නවවැනි සමුළුව 1920 දීද, දහවැනි සමුළුව 1921 දීද, එකොළොස් වැනි සමුළුව 1922 දීද, පවත්වන ලදී. 1923 දී පැවැත්වූ දොළොස්වැනි සමුළුවට සිය අසනීපය හේතුකොටගෙන ලෙනින් සහභාගි නොවීය. එහෙත් එහි වැඩකටයුතු ඔහුගේ මගපෙන්වීම යටතේ සිදුකෙරිණි.


එසේම සාමූහික නායකත්වය, අයකු සිය කාර්ය සඳහා දැරිය යුතු දැඩි පුද්ගලික වගකීමෙන් මුදාලන්නේ නැති බව ලෙනින් පැහැදිලි කළේය. ඔහු රජයේ සහ පක්ෂයේ සියලුම ක්‍රියාකාරීන්ගෙන්, මුලපිරීමක්, පුද්ගලික වගකීම පිළිබඳ මනා අවබෝධයක් රජයේ සියලුම නීතිරීති ක්‍රියාවට නැගීම පිළිබඳ දැඩි පරික්ෂාවක්, ඔහු කීමට පුරුදුව සිටි පරිදි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳ පරික්ෂාවක් බලාපොරොත්තු විය. විශේෂයෙන්ම, කොමියුනිස්ට්වරුන් සඳහා ඔහු මෙම වගකීම්වල උසස් මට්ටමක් නියම කළේය. ඔවුන් බෝල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයන්ය. එහෙයින් ජනතාව මුළු පක්ෂයම ඔවුන්ගේ හැසිරීමෙන් මනිනු ඇතැයි ඔහු යළි යළිත් පෙන්වා දුන්නේය. මෙය ඔවුන් සෑමතැන්හිදීම සෑම දෙයකදීම හොඳ ආදර්ශයක් දීමට බැඳ තබයි. පක්ෂ සාමාජිකයන්ට සෙසු මිනිසුන්ට වඩා ඉහළින් ප්‍රමුඛතා හෝ වරප්‍රසාද නැත. නමුත් වැඩි වගකීම් ඇතැයි ඔහු අවධාරණය කළේය.


සෝවියට් ආයතනවල අඩුපාඩු නිර්දය ලෙස හෙළිදරව් කළ ලෙනින් අතීතයෙන් උරුම වී ඇති නරක පුරුදු මුලිනුපුටා දැමිය යුතු යැයිද, සියලු නාස්තිකාරකම්වල සේයාවන්වලින් රාජ්‍යය යන්ත්‍රය ශෝධනය කළ යුතු යයිද කියා සිටියේය. ඔහු රාජ්‍ය යන්ත්‍රය සරල එකක් බවට පත්කිරීමටත්, සේවක මණ්ඩල හා වියදම් අවම තත්ත්වය දක්වා කපා හැරීමටත් කැමති විය. ජනතාවට සිය වැඩ කෙරෙහි හා යුතුකම් කෙරෙහි නව සමාජවාදී ආකල්පයක් දැරීමටත්, සෝවියට් නීති අකුරටම පිළිපැදීමටත් ඔහු උගැන්වීය. සාර්වාදයේ නින්දිත උරුමය වශයෙන් ඔහු විසින් නම් කරනු ලැබූ, අල්ලසට එරෙහිව ලෙනින් සටන් කළේය. අල්ලස්වලට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීතියක් කෙටුම්පත් කරන ලෙස ඔහු එකල අධිකරණ කටයුතු භාර මහජන කොමිසාර්වරයා වූ ඩී. අයි. කුර්ස්කිට 1918 මැයි මාසයේදී උපදෙස් දුන්නේය.

 

 

 

 

 

එම්. තාරික්