මාඕ ත්සේතුං  187

1950 වසරේ ජූනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගෙවී ගිය තුන් මසක කාලය මාවෝ ගත කළේ සිත් තැවුල් සහිත, නොඉවසිලිවත්, හදිසියේ කෝපයට පත්වෙන වික්ෂිප්ත ස්වභාවයකිනි. මින් පෙර ඔහුගේ මු`එ අවධානය යොමුව තිබුණේ මුදා ගැනීමට ඉතිරිව තිබුණු ටිබෙටය වැනි චීනයේ ඈත ප්‍රදේශ, හා චියැන්ග් කායි-ෂෙක් පලාගිය තායිවානය පිළිබඳවය.


දැන් ඊට අමතරව ඉඩම් ප්‍රතිසංස්කරණ, උද්ධමනය පාලනය කිරිම, ආර්ථික ප්‍රතිසංස්කරණ, සංවර්ධන කටයුතු කඩිනම් කිරීම වැනි කරුණු කාරණාද ඊට එක්ව තිබුණි. ඒ සමගම, ඔහු හා මා අතර පැවති සම්බන්ධතාව මත මට සොයාගතහැකිව තිබුණු තවත් කරුණක් වූවේ කොරියන් යුද්ධයටත් සම්බන්ධවීමේ උවමනාවක් ඔහු තුළ පැවති බවයි. මෙය තමන්ගේ පිඟානට ඕනෑවටත් වඩා බෙදාගෙන හඬන්නාක් වැනි දෙයකි. 


ඇමරිකාව යාලු ගංගාව ආසන්නයටම යුද්ධය ගෙනැවිත් ඉන්චොන් වෙත ගොඩබට වහාම වාගේ මාවෝ ගේ අවධානය කොරියාව වෙත යොමුවිය. පැය දෙකෙන් දෙකට පිරෙණ සිගරට් අළු බඳුන් අස්කරමින් මොනතරමක් නම් නිදි නැති රාත්‍රී ඔහු ගත කළාද?. අපේ මිනිසුන් කොරියාවට යවන්නට අවසන් තීන්දුව ගත් දින උදෑසන පවා නිදිපෙති වේල් තුනක් ගත්තත් ඔහුට නින්ද නැති විය. ඇඳෙන් නැගිටිමින් බර හඬින් ඔහු ඔහුටම මෙලෙස කියා ගත්තේය. “තෝරාගන්න වෙනත් කිසිම දෙයක් නෑ. මොනදෙයක් වුණත් අපට ඒක කරන්නම වෙනවා. මේ යුද්ධය ඉවරවෙනතුරු අනිත් හැමදෙයක්ම අපට ප්‍රමාද කරන්න වෙනවා.”


මාවෝ ගේ නිවසේ නැගෙනහිර කාමරයේ මුළු රැය පුරාම රැස්වීම එක දිගටම පැවතුණි. හරියට කාමරය ගිනිගත්තාක් මෙන් සිගරට් දුමෙන් කාමරය පිරී ඉතිරිණි. අපේ භටයන් කොරියාවට පිටත්කර හැරිය දිනට පසු එළැඹි පළමු දින කිහිපයේ මාවෝ නැවත නින්ද නොයාමේ රෝගයෙන් පෙළෙන්නට විය. 1949 වසරේ සහ 1950 වසර මුල් කාලයේ දේශපාලන සහ ආර්ථික කටයුතු සම්බන්ධ නිලධාරීන් ලෙස මාවෝ පත්කරණ ලද බොහෝ දෙනා 1950 වසරේ අගභාගය වන විට හමුදා නිලධාරීහු බවට පත්ව සිටියහ. මේ වනවිට මාණ්ඩලික හමුදා නිලධාරී තනතුර දරණ ජෙනරාල් නී රෙන්සොන්ද ඉන් අයෙකි. කොරියන් යුද්ධය අවසන්වනතුරු නී මාවෝ නිරන්තරයෙන් හමුවන අමුත්තෙක් බවට පත්ව සිටියේය.


1953 වසරේ කොරියාව තාවකාලික සටන් විරාමයකට අත්සන් තැබු දවසේ මාවෝ ඔහුගේ කාමරයෙන් පිටතට පැමිණ බීජිං ඔපෙරා ගිතයක් හඬ නගා ගායනා කරන්නට විය. මට පෙනුණ හැටියට එහිදි ඔහුට උවමනා කළේ ඔහුගේ සතුටට අපත් එක්කර ගැනීමටයි. එම වසරේ ආරම්භයේ සිට හැම වසරකටම වරක් ඔහු මුහුදු වෙරළේ සංචාරයක් කළේය. 


ඔහු එහි ගියේ කුමක් සඳහාද යන්න අපි දැන සිටියෙමු. ඒ උදම් රළ නැරඹිමටය. විසල් ජලකඳ පැතිරෙණ හැටි දුරසිට ඉඳ බලනවිට ඉහළ යන මුහුදු රළ මෙන් ඔහුගේ පපුවද ඉහළට ඇදුණි. හැඟීම් වලින් පිරි ඔහුගේ දෙනෙත් දීප්තිමත්ව බැබැළුණි. මෙවන් අවස්ථාවක ඔහුගේ සිතේ කෙවැනි සිතුවිලි පහළ වෙන්නට ඇද්ද?. මේ එවන් එක් දිනක සිදුවුණු දෙයකි. 


දිගු වේලාවක් ක්‍ෂිතිජය දෙස බලා සිටීමෙන් පසු මුහුද අහස සමග එක්වුණු තැන මාවෝ එක් ශරිර ආරක්ෂකයෙකුගෙන් මෙවන් පැනයක් ඇසුවේය. “සැන්ග් වඩදිය-බාදිය ගැන මොනවද තමන් සිතන්නේ?.”


“සඳේ බලපෑම මත සිදුවන්නක්.”සැන්ග් පිළිතුරු දුන්නේය.


“ගුරුත්වාකර්ෂණ බලයෙන් කියලා තමයි කියන්නේ. සඳේ ගුරුත්වාකර්ෂණ බලය ඇදගැනීමෙන්. තවත් ප්‍රශ්න තියෙනවා. උණුසුම් දියවැල්, හා ශිත දියවැල් කියන්නේ මොනවද?.”


“උණුසුම් දියවැල් ගැන නම් මට කියන්න දන්නේ නෑ. ශිත දියවැල් ගැන කියනවා නම් ඒවා සයිබිරියාවේ ශීතල නිසා හටගන්නා දේවල්.”


මාවෝ මද සිනා පෑවේය. ඒ දකුණට ගලාගෙන යන ශිත දියවැල්. මම අහන්නේ මුහුදු දියවැල් ගැන. තමන් ඒවා ගැන කිසිවක් දන්නවද?.”


“නෑ, මම දන්නෙ නෑ. සැන්ග් හිසවනමින් කීවේය.


 “ප්‍රධාන උණුසුම් දියවැල් දෙකක් තියෙනවා. එකක් මෙක්ෂිකෝ බොක්කෙන් ගලනවා. ඒකට කියන්නේ ගල්ෆ් දියවැල කියලා. අනිත් එක තායිවානයේ සිට ගලන උණුසුම් දියවැල.”


මාවෝ ගේ බැල්ම නැවත සාගරය දෙසට එල්ල විය. ඔහු එදෙස බලාගෙන ක්‍ෂිතිජයට ඇඟිල්ල දිගුකර පෙන්වීය. “තායිවානය” තවමත් අපට මුදාගන්න තියෙන දුපත.

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත