අගනුවරට ගොස් නායකයා ඉදිරියේ අපගේ කෙටි නාට්‍ය දර්ශනය ඉදිරිපත් කිරීම සඳහා අපට නැවතත් පුහුණුවීම් කටයුතු කිරීමට සිදුවිය. මා අකැමැත්තෙන් වුව මෙම අවස්ථාවට එක්වීමට තීරණය කෙරුවේ එය සඳහා අප පිරිමි ළමයින් සේ ඉදිරිපත් විය යුතු බවට කොන්දේසියක් පනවමිනි. එවිට මගේ මිතුරියන් නොසතුටු හඬක් නැංවූයේ ඒ සඳහා බොහෝ දේවල් අමුතුවෙන් සකස් කළ යුතු බවට මැසිවිලි නඟමිනි.


අප පුහුණුවීම් සඳහා ලීනා ලොවැටන් ක්‍රීඩාගාරයේ වැඩි කාලයක් ගත කළ බැවින් නායකයාගේ අනියම් බිරියක බවට පත්වීමේ ඉරණමට ගොදුරු වූ අපගේ මිතුරිය වැඩි වශයෙන් අපගේ සිහියට නැඟුණි. ශාලාවේ කෙළවරක ඇගේ අලංකාර උඩුකය සේයාරුවක් එල්ලා තිබුණි. එය ඇගේ නමින් කන්‍යාරාමයට ලැබුණු පරිත්‍යාගයක් උදෙසා කෘතගුණ දැක්වීමක්ද නොඑසේ නම් නායකයාගේ උවමනාව පරිදි එල්ලනු ලැබූවක්දැයි නොදනිමි. අප අගනුවර කරා යන අතරතුරදී අසුන්සන් කන්‍යා සොයුරිය අපට හැසිරීම පිළිබඳව උපදෙස් ලබා දුන්නාය.


* ඔබලා ජාතියේ මිණිකැට බව නරඹන්නන් ඉදිරියේ තහවුරු කළ යුතුයි. කන්‍යාරාමයේ ගෞරවය රැක ගැනීම ඔබේ වගකීමක්.
එහෙයි, සොර් අසුන්සන්” අපි එකවර හඬ නැගුවෙමු. නමුත් නීති පිළිපදිනවාට වඩා අප සිටියේ මෙම අත්දැකීම කෙරෙහි නොසන්සුන් වෙමිනි. ඒ අතර අපි රියෙහි ඉදිරිපස වාඩි වී සිටි කන්‍යා සොයුරියට නොපෙනෙන සේ අතර මඟ පසුවන හුරුබුහුටි තරුණයන් හට අත වැනීමට නොහැකි වුණෙමු.


එහෙත් අගනුවරට ළඟාවත්ම සනිටා වඩාත් සංසුන් වන්නට වූවාය. ඇගේ මුහුණෙහි සෝබර බැල්මක් රැඳුනි. ඇයට තම මියගිය පවුලේ උදවිය සිහිපත් වන්නට ඇත.


අපි වැඩි වෙලාවක් ගත වෙන්නට කලින් මාලිගාවේ පිටත කාමරයකට වී රට පුරා තිබූ වෙනත් බාලිකා පාසල්වලින් පැමිණි සිසුවියන් හා රැඳී සිටියෙමු. ඊළඟට අප ගෙන ගියේ විශාල ශාලාවකටයි. පුටු පේළි අතරින් අපි එහි මැදට ළඟා වුණෙමු. ඊළඟට ඩොමිනිකන් ධජ සෙවණෙහි සිටි ඔහු මට හැඳිනිය හැකිවිය. මගේ ජීවිත කාලය පුරා මා අසා තිබූ පරිත්‍යාගශීලියා, අසහාය තැනැත්තා ඔහුය. 


රන්වන් පාට විශාල පුටුවක වාඩි වී සිටි ටෘජිලෝ දිස්වූයේ මා සිතුවාට වඩා කුඩා ප්‍රමාණයේ සිරුරකිනි. ඔහු සැරසී සිටියේ රන්පාට උරපටියක් හා පදක්කම් විශාල ප්‍රමාණයක් එල්ලා ගත් පපුව සහිත සුදු පාට කදිම ඇඳුම් කට්ටලයකිනි. හැම බිත්තියකම එල්ලී සිටි හුරුපුරුදු රූපයේ වෙනසක් නොවුණද මා ඔහු දුටුවේ චරිතයකට පණ දී සිටි නළුවෙකු මෙනි.


අපි නියමිත තැන්වල අසුන්ගත් නමුදු ඔහු අප දුටුවේ නැත. ඔහු තමා අසල වාඩි වී සිටි නිල ඇඳුමක් හැඳ සිටි තරුණයෙකු දෙසට හැරී සිටියේය. ඒ ඔහුගේ කඩවසම් පුත්‍රයා වූ රැම්ෆිස්ය. සිව් හැවිරිදි වියේ පටන් හමුදාවේ කර්නල් පදවියකින් පිදුම් ලබා සිටි ඔහුගේ පින්තූර නිතර පුවත්පත් පිටු සැරසුවේය.


රැම්ෆිස් අප සිටි දෙස බලා ඔහුගේ පියාට යමක් කෙඳිරුවේය. ඔහු උස් හඬින් සිනාසුණි. අප ඔවුනට ප්‍රශංසාව රැගෙන පැමිණ සිටියදී ඔවුනගේ ප්‍රතිචාරය කොපමණ අවිනීතදැයි මට සිතුණි. පුරාණ රෝම ඇඳුම් පැලඳුම් අනුව සැරසී දුනු හී ගෙන සිටි අප මෝඩයින් සේ නොපෙනෙන බව මවා පෙන්වීමට පෙර ඔවුනට යුතුකමක් තිබුණි. ටෘජිලෝ අපට අරඹන ලෙසට හිසින් සංඥ කළේය. අප ගල් ගැසී බලා සිටියදී පෙරමුණ ගත් සිනිටා අප කැටුව ඉදිරියට ගමන් කළාය. බිම වැතිර සිටීමට හැකිවීම ගැන මා තුළ සතුටක් ඇතිවිය. ඒ මගේ දෙදණ බොහෝ සේ වෙව්ලමින් තිබූ බැවින් පීතෲ භූමිය ක්ලාන්ත වී බිම ඇද වැටෙනු ඇතැයි මා තුළ බියක් ඇති වූ බැවිනි.


පුදුමයකට මෙන් අප හැමදෙනාටම හොඳින් දෙබස් මතක තිබුණි. අප ඒවා උස් හඬින් කියන විට අපගේ හඬට විශ්වාසය එක් වී වඩාත් හැඟීම් පළකරවන නැඹුරුවක් ඇති කළේය. වරක් යාන්තමින් බලන විට මා දුටුවේ කඩවසම් රැම්ෆිස් මෙන්ම නායකයාද අපගේ රංගනය දෙස බලා සිටි බවය.


අපි එය මෘදු ලෙස ඉදිරියට ගෙන ගියෙමු. ඒ මා එනම් පීතෘ භූමිය නැගිටුවීම සඳහා සිනිටා මා අසලින් නැඹුරුවන තුරුය. එසේ වීමට නියමිත වූයේ මා මෙසේ ගැයූ පසුවය.

 


සියවසක් තිස්සේ, යදමින් වේළි දුබලව,

මගේ සතුරන්ගෙන් නිදහස ලැබීමට දිරිමත් වෙමි

අප, නිදහස, ඔබේ දිදුළන අපචාරය

පුදකළ මැනවි මා හට

 

සිනිටා ඉදිරියට පා තබා ඇගේ ආචාරය පුද කළාය. අනතුරුව මනඃකල්පිත සතුරන් හට ඊතලවලින් විද, ඈ මා ලියා නිදහස් කළ යුතු වුණි.


නමුත් මේ මොහොතේ සිනිටා ඉදිරියට පා තබමින් ගොස් ටෘජිලෝ සිටි පුටුව ඉදිරිපිට සිට ගත්තාය. ඈ හෙමිහිට දුන්න ඔසවා එල්ලය ගන්නා විට ශාලාව තුළ ගල්ගැසුණු නිහැඬියාවක් පැතිරුණි.


වෙඩිල්ලක් මෙන් වේගවත් වූ රැම්පිස් වහා ඉදිරියට පැන සිය පියා හා අපගේ ගල්ගැසුණු ටැබ්ලෝව ඉදිරියේ සිට ගත්තේය. ඔහු සිනිටා අත තිබූ දුන්න උදුරා එය දණහිස මත රඳවා කඩා දැමුවේය. ලීය කැඩී යන හඬත් සමගින් කසුකුසු ගෑම් හා මුණු මුණුවක් පැතිරුණි.

රැම්ෆිස් සනිටා දෙස උනන්දුවෙන් බැලුවේය. ඈ සිටියේ ඔහු දෙස රවාගෙනය. ඔබට මේ වගේ රඟපෑමක් කරන්න බැහැ.


ඒක නාට්‍යයේ කොටසක් බිම වැතිර සිටි මම මුසාබස් දෙඩුවෙමි “ඈ හානියක් කරන්න හිතුවෙ නැහැ”


රැම්ෆිස් මදෙස බලා අනතුරුව සිනිටා දෙස නෙත් යොමු කළේය. 


“මොකක්ද ඔබේ නම?”
“නිදහස”යි සනිටා පැවසුවාය.
“මම ඇහුවෙ ඔබේ සැබෑ නම?” ඔහු ගිගිරුවේ ඈ සිය හමුදාවේ සෙබළියක වූ අයුරිනි.
“ෆෙරෝසෝ’‘යි ඈ අභිමානයෙන් පැවසුවාය.


ඔහු කුතුහලයට පත් අයුරින් ඇහිබැමක් එසැවීය. අනතුරුව කතාන්දර පොතක එන වීරයෙකු මෙන් ඔහු මා නැගිටුවා” ඇයව ලිහා දානවා ෆෙරෝසෝ’‘යි අණ කළේය. ඈ ලණු ලිහා දැමීමට අත දිගු කරත්ම ඔහු ඇගේ දෑත් අල්ලා පිටුපසට තද කළේය. උබේ බලු අත්වලින් ලිහාපන් බැල්ලි.


සිනිටා ඉදිරියට නැඹුරුව ඇගේ මුව උපයෝගී කරගනිමින් මා මුදා ගන්නා විට ඔහුගේ මුවෙහි දුෂ්ට විරිත්තීමක් සනිටුහන් වුණි.
දෑත මුදාගත් මා ගැලවීම උදා කළ බව සනිටා පසුව කීවාය. මම මගේ සුදුමැලි දෑත් හා නිරුවත් ගෙල දිස්වන පරිදි කබාය ගලවා දැමුවෙමි. වෙව්ලන හඬින් මා කියන්නට පටන් ගත් දෙය උස් සාමූහික හඬක් දක්වා දියුණු විය.


ටෘජිලෝ දිනේවා. ටෘජිලෝ දිනේවා.


මොහොතකින් එය ශාලාව පුරා රැව්දුනි.


ආපසු නිවස බලා එන අතරතුර අසුන්සන් කන්‍යා සොයුරිය අපට බැණ වැදුණාය.


ඔයාලා ජාතියේ සංකේත වුණේ නැහැ. ඔයාලා මගේ අවවාද පිලිපැද්දෙ නැහැ”


මාර්ගය කළුවර වෙත්ම, අපගේ රියෙහි හෙඞ්ලයිට් එළිය ධාරාවෙන් අන්ධ වූ සලඹයන්ගෙන් පිරී ගියේය. උන් ඉදිරිපස වීදුරුවේ හැපුණ තැන්වල බොඳ වූ පැල්ලම් ඉතිරි වූයේ මා කඳුළු තීරයක් අතරින් ලෝකය දෙස බලා සිටි අයුරිනි.

 


ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 

නවවන කොටස.



 

 

 

 

 


පරිවර්තනය :
මානෙල් ජයන්ති ගුණසේකර