ප්‍රංශයේ ජනාධිපතිවරණය නිමා විය. එහිදී ලැබුණු ජනතා තීන්දුව පසුගිය වසරේ අග භාගයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ දී සිදු වූ පරිදිම අනපේක්ෂිත තීන්දුවක් ලබාදීමකැයි විචාරකයෝ පවසති. එයට හේතුව වන්නේ ප්‍රංශයේ සම්ප්‍රදායික දේශපාලන බලවේග දෙක වූ වාමාංශය සහ දක්ෂිණාංශික යන කඳවුරු දෙකටම අයත් නොවන මධ්‍යස්ථවාදියෙකු ජයග්‍රහණය කිරීමේ විරල අත්දැකීම මෙහිදී ක්‍රියාවට නැංවුණු බව කියවෙන නිසාය. එමෙන්ම නැපෝලියන් බොනපාට් අධිරාජයාගෙන් පසු ප්‍රංශයේ බිහිවූ තරුණම පාලකයා වන්නේ නොබෝදා පත්වූ එම්මානුවෙල් මැක්රොන් බව ද කියැවේ. ඔහු තිස් නව වැනි වියේ පසුවන විවාහකයෙකි.

 

පළමුවෙන්ම අපි නව ජනාධිපති මැක්රෝන් හඳුනා ගනිමු. ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ජෝන් මැක්රොන් සහ වෛද්‍යවරියක වූ ෆ්‍රන්සුවා නොගේස් යන දෙදෙනාගේ කැදැල්ලේදී 1977 වසරේ දෙසැම්බර් 21 වැනිදා එම්මානුවෙල් මැක්රොන් උපත ලද්දේ ප්‍රංශයේ ප්‍රත්‍යන්ත නගරයක් වූ එමේසෙන් හිදීය. 


ළමා අවධියේ සිටම මතභේදාත්මක චරිතයක් වූ මැක්රොන් එම්සෙන් නුවර විද්‍යාලයක පහළ පංතියක අධ්‍යාපනය ලබද්දීම තමාට වඩා වසර විසිහතරකින් වැඩි මහල් වූ තම ගුරුවරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තේය. දෙමාපියන්ගේ විරෝධතාව ද නොතකා මේ දෙදෙනා විවාහ වූ අතර ඉතා සාර්ථක යුග දිවියක් ගෙවති. මෙම අසම්මත පෙම් සබදාතා ඇති කර ගැනීමෙන් පසුව වුවද තම උසස් අධ්‍යාපන කටයුතු නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට මැක්රේන්ට හැකියාව ලැබුණි. ශාස්ත්‍රපති උපාධිය සමත් වූ ඔහු ව්‍යාපාරික කටයුතු කෙරෙහි යොමු විය. අවසානයේ ඔහු නැවතුණේ දේශපාලන බිමෙහිය. ප්‍රංශයේ ඉතා ශක්තිමත් කඳවුරක් වූ සමාජවාදී පක්ෂයට බැඳුණු ඔහු හිටපු ජනාධිපති ෆුන්සුවා මලන්දේගේ රජයේ මුදල් ඇමතිවරයා වූවේ දිගුකාලීන දේශපාලන පරිණතභාවයක් ලබා ගැනීමට බොහෝ පෙරදීය. 


අසමත් මුදල් ඇමතිවරයෙකුගේ සහභාගිත්වයෙන් පවතින රජයකට අත් විඳීමට සිදුවන ඛේදවාචකය මේ යැයි දක්වමින් ප්‍රන්සුවා ඔලන්දේගේ රජය දැඩි ජනතා අප්‍රසාදයට පත් විය. එහි ප්‍රතිඵලය වූයේ එම ජනාධිපතිවරණයේ දී සටනට ඉදිරිපත් නොවීමට ඔලන්දේ තීරණය කිරීමයි. එහෙත් ඔහු සමඟ එක මල්ලේ ලුණු කෑ, ජනාධිපතිවරයා අප්‍රසාදයට පත්වීමට මුල් වූ යෝජනා ඉදිරිපත් කළ මුදල් ඇමතිවරයා ප්‍රංශයට ‘වෙනසක්’ අවශ්‍ය බවත් එය කළ හැක්කේ තමාට බවත් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවේය. පොරාන්දු වූ වෙනස ඔහු ඇති කරනු ඇතැයි ප්‍රංශ ජනතාව ඉමහත් බලාපොරොත්තු සහගතව සිටී. තිස්නව හැවිරිදි විහෙයි පසුවන නව ජනාධිපතිවරයා ප්‍රංශයේ රජකම් කළ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයාගෙන් පසු බිහිවූ තරුණම නායකයා වශයෙන් විචාරකයින් හඳුන්වා දී ඇති නිසාත් නව ජනාධිපති මැක්රේන් ප්‍රංශ විප්ලවයේ ප්‍රකට සටන් පාඨයක් වූ “සමානාත්මතාව, සහෝදරත්වය සහ නිදහස” යන උධෘතය ප්‍රංශ ජනතාව හමුවේ තබමින් ජනතාව ඒ කෙරෙහි නැඹුරු කර ගැනීමට සමත් වූ නිසාත් ප්‍රංශ ඉතිහාසය හරහා ගොස් ඓතිහාසික ප්‍රංශ විප්ලවය සහ නැපෝලියන්ගේ නැගීම සහ වැටීම දක්වා රස කතාවලින් පිරි සිද්ධි මාලාවක් දෙස අවධානය යොමු කළ යුතුය. මධ්‍ය කාලීන යුගයේ යුරෝපයේ අධිරාජයන්, අධිරාජිනියන්, රජවරුන්, රැජිනියන් පමණක් නොව ඔවුන් ඇසුරු කළ ප්‍රභූවරුන්ගේ මතිමතාන්තර මෙන්ම පොදු ජනතාව ඒවාට ප්‍රතිචාර දැක් වූ ආකාරය ද කෙටියෙන් දැක්වීමට සිදුවනු අත. ලෝකයේ මහා රාජ්‍යයන් බෙදාගෙන තම තමන්ගේ වතු යායවල් මෙන් වැට මායිම් ඇති කොටගෙන එම රටවල් පාලනය කළ රජවරුන්, රැජිනියන් තම දරුවන්ට ආවාහ විවාහ කර දීමේදී ද සලකා බැලුවේ තව තවත් රටවල් ඈඳා ගැනීමටය. ඔස්ට්‍රො - හංගේරියානු අධිරාජ්‍යයේ කිරුළ දැරූ මාරියා තෙරේසා රැජින එවැනි රජ්‍ය තණ්හාවෙන් හා බලකාමයෙන් යුතු තැනැත්තියක වූවාය. එකල යාබද ප්‍රංශ අධිරාජ්‍යය පාලනය කළ පහළොස්වන ලුවී රජුගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිතව සිටි දහසය වන ලුවී යනුවෙන් පසුව රජ වූ කුමාරයාට තම බාල දියණිය වූ මාරි ඇන්ටොනයිට් කුමරිය විවාහ කර දුනහොත් ප්‍රංශ අධිරාජ්‍යය කෙරෙහිද තමාගේ බලපෑම අතිශයින්ම ශක්තිවන බවත් තම රාජ්‍යයේ ආරක්ෂාව සඳහාත් එය මහත්සේ උපයෝගී කරගත හැකි බවත් මාරියා තෙරේසා අධිරාජිනිය වටහාගෙන සිටියාය. මේ අරමුණ යටුකර ගැනීම උදෙසා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නොයෙකුත් උපාය උපක්‍රම යොදමින් ගෙන ගිය ක්‍රියා කලාපය සහ දීර්ඝ කාලීන සැලැස්ම සාර්ථකවීමෙන් මෙම රාජකීය සරණ බන්ධනය සිදු විය.


ලෝකය ගැන නිසි අවබෝධයක් ලබාගැනීමටත්, රාජ්‍ය පාලනය ගැන අවබෝධයක් ඇති කර ගැනීමටත් පෙර මව විසින් පති කුලයට යැවීම නිසා උපතින් ලද අහංකාරය හැර අන් උගත්කමක් සතු නොවුණු මාරි ඇන්ටොනයිට් අග බිසව තම සුඛෝපභෝගී ජීවිතය සඳහා ප්‍රංශ බදු ගෙවන ජනතාවගේ අප්‍රමාණ ධනයක් වැය කළාය. නාස්ති කළාය. මිලියන ගණන් වටිනා සේද ඇඳුම්, පැලඳුම් මෙන්ම හිතවතුන්ට තෑගි වශයෙන්ද රාජ්‍ය ධනය වැය කළාය. රට වැසියන් කුස ගින්නේ සිටියදී වර්සේල්ස් මාලිගයේ නිති පතා රාජ භෝජනවලින් සපිරුණු සාද පැවැත්වූවාය. බිසවටම සරිලන සැමියෙකු වූ දහසයවැනි ලුවී රජු ද මෝඩ ක්‍රියා නිරතුරුවම සිදු කරමින් ජනතාවගේ කෝපයට පාත්‍ර විය. දහ අටවැනි සියවසේ යුරෝපයේ පැවති සත් අවුරුදු යුද්ධයට පැටලී සිටි ප්‍රංශය කිසිදු ඵල ප්‍රයෝජනයක් නොලබාම රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කර ගත්තාය. එසේ සිදුවෙද්දී රජුට කළ හැකිව තිබූ එකම ක්‍රියාමාර්ග වූවේ බදු වැඩි කිරීමය. ජනතාව පාරට බැස්සහ. දහස් ගණන් වූ ප්‍රංශ වැසියෝ වර්සේල්ස් මාලිගය වට කරමින් පෙළපාළි දැක්වූහ. කුස ගින්නට පාන් පෙත්තක් ඉල්ලමින් උද්ඝෝෂණය කළහ. බඩු මිල අඩු කරව්! බදු බර අඩු කරව්, යුද වියදම් නවත්වව්. කියමින් වැසියෝ මහ හඬ නැගූහ. මාලිගාව තුළ කොටු වී සිටි මාරි ඇන්ටොයිනට් අග්‍ර මහේෂිකාවගේ පිළිතුර වූයේ “පාන් නැත්තම් කේක් කාපල්ලා” යනුවෙනි. සාධාරණ විසඳුමක් නොලැබීමෙන් කෝපයට පත් ජනතාවෝ තම අරගලයේ වේගය වැඩි කළහ.


මෙම අවධියේ ප්‍රංශයේ ජනතාව මුහුණ දුන් අඳුරු ඉරණම විස්තර කරන කාලයිල් නම් ලේඛකයා මෙසේ ලියා ඇති බව කියති. “වැඩ කරන ජනතාවගේ තත්ත්වය කොහෙත්ම හොඳ නැත. අවාසනාවන්තය. මේ පිරිස දෙකෝටියේ සිට කෝටි දෙකහමාර දක්වා විය හැකිය. අපි ඔවුන් සියලු දෙනාම අඳුරු ගුබ්බෑයමකට තල්ලු කර දමා සිටිමු. ඔවුන් මිටි පිටින් තල්ලු කර දමා ඇති මේ අන්ධකාර ලෝකය තිරිසන් ලෝකයක් මෙන් ඉතා ඈත පිහිටා ඇත. මනුෂ්‍යත්වයට බරව කතා කරන අය මොවුන්ව “පොදු ජනතාව” යැයි කියති.

සැබවින්ම ඒ පොදි ගැසුණු මහජන කැබලි සමූහයකි. රජුට මුදල් අවශ්‍යය. කළ හැකි අන්තිම තුරුම්පුව වශයෙන් 1789 දී ප්‍රංශ මන්ත්‍රී මණ්ඩලය කැඳවීමට කටයුතු කළේය. එහි මන්ත්‍රීවරුන් වූවේ රදලයන් හා පූජකයන් පොදු ජනතාව වෙනුවෙන් නියෝජනයක් ද කියවුනු නමුදු කිසිදු පොදු ජනයෙක් ස්ටේට් ජෙනරාල් නම් වූ එම සභාවේ නොවීය. 1789 මැයි හතර වැනිදා දහසය වැනි ලුවී රජු වර්සේල්ස් මාලිගයේදී මෙම සභාචාරය විවෘත කරන ලදී. එහිදී පොදු ජනයා වෙනුවෙන් යැයි කියමින් සහභාගී වූ ධනවත්හු නාම මාත්‍රිකව හෝ රජු විවේචනය කිරීමට අමතක නොකළහ. එයින් කෝපයට පත් රජු අග මුල නොසොයා පොදු ජනයාගේ නියෝජිතයන් සැම දෙනාම රජ මාලිගයෙන් පලවා හැරියහ. එහෙත් ආපසු නොයන්නෙමැයි සපථ කළ ඔව්හු අසල පිහිටි ටෙනිස් පිට්ටනියක රැස්ව සටන මෙහෙයවීමට ගිවිස ගත්ය. කුපිත වූ ජනයා නැගී සිටියහ. ඕනෑම රජයක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ අවි බලයෙනි. එයද හමුදාව මගිනි. රජුට එරෙහිව නැගී සිටින ජනයාට එරෙහිව බලය යොදවන ලෙස අණ කරන ලද නමුදු ප්‍රංශ හමුදාව එය ප්‍රතික්ෂේප කළහ. අධික බදු බරට, කුසගින්නට, පීඩනයට හා රජ මාලිගයේ දූෂණවලට එරෙහිව සටන් වදින්නේ තමන්ද අයත්වන සමාජයේ පොදු යහපතට බව හමුදාව අවබෝධ කරගෙන සිටියේය. එනිසා ඔවුහු රාජ නියෝගය ප්‍රතික්ෂේප කළහ. මෙයින් ධෛ්‍යර්මත් වූ කැරලිකරුවෝ වර්සේල්ස් මාලිගය දක්වා ඉදිරියට ගියහ. අහංකාර රජ යුවළද අත්අඩංගුවට ගත් ඔවුහු සටන්කාමීන් සිර කර සිටි බැස්ටීලය නැමති මහ හිර ගෙදර කඩා දමා එහි සිටි තම සගයන් නිදහස් කර ගත්හ.


සටන් විරෝධීන්ට දඬුවම් දීම සඳහා ගිලටින් නැමති ආයුධයක් නිපද වූ අතර එමඟින් සිය ගණන් ජනයා බෙලි කපා මරා දමනු ලැබූහ. මේ අයුරින් ඉදිරියට ගිය ප්‍රංශ විප්ලවාදීහු පැරිස් නගරය සම්පූර්ණයෙන් අත්පත් කර ගත්හ. ලෝකයේ ප්‍රථම සමාජවාදී පාලනය ගොඩ නැගුණු භූමිය වූ පැරිස් නගරය ප්‍රකට වූවේ ‘පැරිස් කොමියුනය’ නමිනි. කොතනත් සිදුවන ආකාරයෙන් දූෂිත රාජකීයන් ආරක්ෂා කිරීම සඳහා පිරිසක් ඉදිරිපත්ව සිටියහ. එහි ප්‍රතිඵලය වශයෙන් රජ පවුලම ඝාතනට ලක් වූහ. ප්‍රංශ රජපරපුරේ අවනතිය දුටු යුරෝපයේ අනෙක් රජවරු ප්‍රංශයට තම හමුදාවන් එවා විප්ලවවාදී පාලනය පෙරළා දැමීමට මහත් ප්‍රයත්නයක් දැරූහ. අවසානයේ පැරිස් කොමියුනය බිඳ වැටුණු අතර රට අරාජික වන ආකාරයක් දකින්නට ලැබුණි. ඒ අතර කාලවකවානුවේ සිදු වූ ඓතිහාසික සිදුවීමක් ගැන ද සඳහන් කළ යුතුමය.


විප්ලවයෙන් පසු ජාතික මහා මණ්ඩලය කැඳවා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය. එහිදී ඇමරිකානු නිදහස් ප්‍රකාශනයේ ආදර්ශය ලබාගත් බව කියවේ. මිනිස් අයිතිවාසිකම් යන සංකල්පය ලොවට දායාද වුණේ ඒ අයුරිනි. සෑම මිනිසෙකුටම සමානත්වයක් ඇතිව ජීවත්වීමට මඟ සැලසීමත් නිදහස සහ සැපතක් ලබා දීමත් මෙමගින් අපේක්ෂිත විය. මෙය මානව සංහතියේ එක්තරා ජයග්‍රහණයක් ලෙස සටහන්ව ඇත. විප්ලව විරෝධී යුරෝපා රටවල හමුදාවන්ගේ කොතෙකුත් භායානක ප්‍රහාරවලට මුහුණ දීමට ප්‍රංශ විප්ලවවාදී රජයට සිදු විය. මේ අර්බුදය දිගින් දිගට ඇදී යද්දී ප්‍රංශ රජය බිඳ වැටුණි. මුළු රටම ලේ ගංගාවක් බවට පත් විය. රට අරාජික විය.


නැපෝලියන් බොනපාට් නම් වූ නායකයා බිහිවන්නේ මෙම පසුබිම තුළය. ප්‍රංශයට යටත් දිවයිනක් වූ කෝසිකා දිවයිනේ උපත ලද ඔහු ප්‍රංශ කේසිකානු සහ ඉතාලි යන මිශ්‍ර සම්භවයකින් යුක්ත වූවේය. නොයෙකුත් උපාය උපක්‍රම මගින් වයස අවුරුදු විසි හතරක් වූ යොවුන් වියේදීම අරාජික තිබූ ප්‍රංශයේ අධිරාජ්‍යයා බවට පත්වීම ලෝකයට විස්මය ගෙන දෙන සිදුවීමක් විය. “බලය යනු මගේ අනියම් බිරියයි. එම බිරිඳ දිනා ගැනීම සඳහා මට කෙතරම් වියදම් ගොස් ඇතිද? යත් එම බිරිඳ දිනා ගැනීමට හෝ මා සමග හවුලේ දීග කන්නට හෝ එන කිසිවෙකුට ඉඩ නොදෙමි” යයි ඔහු පැවසුවේය. ඔහුගේ බලකාමය පිළිබඳව තවත් නිදසුන් අනවශ්‍යය. ප්‍රංශය පමණක් නොව ආසන්නයේ පිහිටි ඒකාබද්ධ නොවූ ඉතාලියේ කුඩා රාජ්‍ය විශාල ප්‍රමාණයක් ද තම අණසකට යටත් කර ගත් නැපෝලියන් යුරෝපයට අයත් නොවන ඊජිප්තු (මිසර) රාජ්‍යය ද යටත් කර ගත්තේය. ඉන්දියාව දෙසට ද හැරුණේය. ඔහුගේ බලයේ අවසාන කාලය වන විට ඕස්ටි්‍රයාව, රුසියාවේ කොටසක් සහ පෝලන්තය ද නැපෝලියන් යටතට පත්ව තිබුණි. මේසා විශාල ප්‍රදේශයක් පාලනය කළ ප්‍රංශ බලවතෙක් නැති බව විචාරකයන් පවසන්නේ ඒ අනුවය. 


නොබෝදා බලයට පැමිණි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රේන් නැපෝලියන්ගෙන් පසුව පත්වූ ළාබාලතමයා යයි පවසන්නේ ඒ අනුවය. දියුණුවේ ඉහළම තලයට පැමිණි පසු ඉතිරිව ඇත්තේ අවනතිය යැයි කියමනක් ඇත. නැපෝලියන්ට අත්වූවේද එම ඉරණමයි. බි්‍රතාන්‍ය සේනාධිනායක හොරේෂියෝ නෙල්සන් යටතේ ඉදිරියට පැමිණ බි්‍රතාන්‍ය හමුදාවන්ට වෝටර් ලූ සටනින් පරාජයට පත්වීමෙන් පසු බලය අහිමි කර ගත්තේය. පසුව ශාන්ත හෙලේනා දූපතේ සිරකරුවෙකු ලෙස ජීවත් වූ මෙම රණකාමී අධිරාජයා සිර ගෙරදීම මිය ගියේ දිනාගත් යස ඉසුරු සියල්ල අහිමිව ගොස් තිබියදීය. එහෙත් ඔහු ප්‍රංශයට ලබා දුන් කීර්තිය කිසි සේත්ම සුළු පටු නොවේ. වරක් නැපෝලියන් මෙසේ කී බව සඳහන්ව ඇත. “ලෝකයේ ඇත්තේ බලවේග දෙකකි. එනම් උනන්දුව සහ අසිපතයි. අන්තිමේදී අසිපත පරදවා උනන්දුව ජය ගනී” ඔහුට සිදු වූවේද එයම යැයි අනුමාන කළ හැක. සතුරන්ගේ උනන්දුව නැපෝලියන්ගේ අසිපත පරාජය කළේය.


එම්මානුවෙල් මැක්රේන් නැපෝලියන්ට සමාන කරනුයේ තාරුණ්‍යය නිසා පමණක්ම වේ. මේ දෙදෙනා තවත් ආකාරවලින් සමාන වන්නේදැයි විමසා බැලිය හැකි වන්නේ අනගතයේදීය. ඒ ඔහුගේ ක්‍රියා පටිපාටිය අනුවය. ඒ ගැන ලෝකයා සිටිනුයේ අවදියෙනි.

සෝමසිරි වික්‍රමසිංහ