ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


විසිහත් වැනි කොටස


අපගේ නායකයාට ස්පාඤ්ඤ රටෙන් විශේෂ සම්මානයක් පිරිනැමීම උදෙසා පැවැත් වූ සාදය පිළිබඳව මම පෙරදී ඔබට විස්තර කළෙමි. එය මට විශේෂ ඇරයුමක් එවා තිබූ අවස්ථාවකි. පියාත් සමඟින් මගේ පැමිණීම විශේෂයෙන් බලාපොරොත්තු වන බව සටහන් කර තිබුණේ ඔහුට තරුණියන් සැපයීමට ප්‍රසිද්ධියක් ඉසිලූ ඔහුගේ සමීප නිලධාරියෙකු වන ඩොන් මැනුවෙල් බව පසුව මා හට අවබෝධ වුණි.

අපට ශීත කළ සැක්කොචෝ අනුභව කිරීමට ලැබුණේ දිගු වේලාවකට පසුවය. විස්මයකට මෙන් අල් ජේෆේ (නායකයා) මා අසලින් වාඩිවූයේ නැත. මෙම සැඳෑවේ මා විශේෂ අමුත්තන්ගේ මේසයට වාඩි කරවීම පිළිබඳව මා තුළ වූ කුතුහලය තව තවත් තීව්‍ර වුණි. මගේ වම්පස වාඩි වී සිටි මැනුවෙල් ඩි මෝයා ඔහු නිව්යෝර්ක් නුවර විලාසිතා නිරූපණ ශිල්පියෙකු ලෙස ගතකළ අවධිය ගැන විස්තර කළේය. ටෘජිලෝට ඔහු හමු වී තිබුණේ ඔහු සිය සපත්තු, සම සුදු කරන ක්‍රීම් වර්ග, සැටින් බාපන හා තම නැපෝලියානු තොප්පි සඳහා දුර්ලභ පිහාටු වර්ග වැනි දෑ ඇණවුම් කිරීම සඳහා එක්සත් ජනපදයට ගිය අවස්ථාවකය. ඔහු එහිදී නිරූපණ ශිල්පියෙකු කැඳවා තිබුණි. ටෘජිලෝට තම කාර්ය මණ්ඩලය අලංකාර කර ගැනීම පිණිස ඉංග්‍රීසි කතා කරන, උස් සිරුරැති, නවීන පන්නයේ, සුදු ඩොමිනිකන් සම්භවය සහිත නිරූපණ ශිල්පියෙකු උවමනා විය. මැනුවෙල් ඩි මෝයා ඔහුගේ ඇසුරට විත් තිබුණේ ඒ අන්දමටය. 


මගේ දකුණුපස සිටියේ සැන් ක්‍රිස්ටෝබල්හි වියපත් සෙනෙට් සභිකයෙකි. ඔහු කෑම මේසයේ ඉස්ටුවට ප්‍රශංසා කර ටෘජිලෝගේ වම් පසින් අසුන්ගෙන සිටි සිත්ගන්නාසුලු රූමත් ගැහැනිය දක්වමින් “ඈ මගෙ බිරිය” යි පැවසුවේ බොහෝ අභිමානයෙනි. “ඈ අර්ධ කියුබානු කාන්තාවක්” ඔහු තවදුරටත් පුරසාරම් වශයෙන් කීය. 


කිව යුතු කුමක්දැයි නොදත් මම හිස සලා මා අතින් බිම වැටුණු අත්පිස්නාව ඇහිඳීමට බිමට නැඹුරු වුනෙමි. ගැහැනියකගේ දෙකලවා අතරින් ඇතුළට ගවේෂණය කරන අතක් මගේ දෙනෙතට හසුවිය. ටෘජිලෝගේ අත සෙනෙට් සභිකයාගේ බිරිය කුල්මත් කිරීමට වෑයම් කරන බව මට අවබෝධ විය. 


සංගීතය ඇරඹෙත්ම මේස පසුපසට තල්ලු කෙරුණි. එතෙක් මා සිතා සිටියේ සාදය ඇතුළු ශාලාව වෙත ගමන් කරනු ඇතැයි කියාය. තද සුළඟක් හමා ගියේ වැස්සක් පිළිබඳව ඉඟි කරමිනි. ඉඳහිට වීදුරුවක් හෝ වෙනත් බඳුනක් පෙරළී උස් හඬක් නැංවීය. අහුමුළුවල අවි ගත් සෙබළු බලා සිටියහ. 


ටෘජිලෝ නැටුම් බිම විවෘත කරන තුරු බිම හිස්ව පැවතුණි. 


නායකයා පුටුවෙන් නැගිට්ටේය. ඔහු මට නැටුමට කතා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බැවින් ඒ වෙනුවට ඔහු ස්පාඤ්ඤ තානාපතිවරයාගේ බිරියට කතා කරනු දැකීම අපේක්ෂා භංගත්වයක් සේ හැඟුණි. ලියෝගේ අවවාදාත්මක වදන් මගේ මතකයට හැඟුණි. මෙම රාජ්‍ය පාලනය දූෂිත පෙලඹීම් ඇති කරවන්නක් බව ඔහු කීය. සමස්ත ජාතියම මේ කුඩා මිනිසාගේ ගොදුරක් වනුයේ කෙලෙසද?


දෙවියන් ලියෝ සුරකිත්වා යි මම පැතුවෙමි. ඔහුට තානාපති සේවයෙන් රැකවරණ ලැබුණිද? එසේ නැතහොත් මගේ යටි සිත දිගින් දිගටම දැනමුතුකම් දුන් අන්දමට ඔහු මේ වනවිට හසු වී සිරගෙදරක සිටිද? ඔහු ගැන සිතමින් මසිත ඒ මේ අත ඇදෙන විට මගේ හිස දැඩිව රිදුම් දෙන්නට විය. 


“මට ගෞරවය දිනා ගත හැකිද?” මගේ පසෙකින් සිටගත් මැනුවෙල් ඩි මෝයා විමසුවේය. 


මම හිස සැලුවෙමි, “අනේ ඩොන් මැනුවෙල්, මට ඉවසාගන්න බැරි තරම් හිසරදයක් තියෙනවා” 


ඔහු සාධාරණව ප්‍රතික්ෂේප කිරීමට ලැබීම ගැන මා තුළ සතුටක් ඇතිවුණි. 


ඔහුගේ මුහුණෙහි කෝපයක සේයාවක් ඇඳුණ ද අසුරු සැණින් මෙන් ඔහු යළි යහපත් මිනිසාගේ වෙස් ගත්තේය. “එහෙමනම් ඔබට සහනාලේපයක් ලබාදිය යුතුයි” “එපා, එපා....” යි මම සුරත වනමින් කීවෙමි.
“මට ටිකක් සන්සුන්ව හිටියම හරියාවි....” මා තුළ කැලඹීමක් ඇතිවුණි. මට මගේ හිසරදය ගැන ඩොන් මැනුවෙල් හා සාකච්ඡා කිරීමට උවමනා නොවීය. 


ඔහු ඉවත්ව ගිය පසුව මම මේසයෙන් අනෙක් පසට නෙත් යොමු කළෙමි. පැටි්‍රයා දෙබැම එසවූයේ “ඔයා කොහොමද අල්ලගෙන ඉන්නෙ?” යි විමසන අයුරිනි. මා නළල අල්ලාගෙන දෑස පියා මඳක් සිටියෙමි. මේ දිනවල මා දැඩි හිසරදයකින් පෙළුන බව ඈ දැන සිටියාය. “මානසික පීඩනය” යි අම්මා පැවසුවාය. විටෙක ඈ මට වැඩිපුර නිදාගැනීම සඳහා කඩයෙන් නිවසට යැවුවාය. 


පැටි්‍රයා පීඨිකාව මතට පැමිණියේ වේදනා නාශක පිර වූ බෑගයක් රැගෙනය. ඈ හැමවිටම අම්මා මෙන් වූවාය. අප කවරෙකු හෝ කිවිසුමක් පිටකළහොත් දීමට නිතරම ඈ ළඟ අත් ලේන්සුවක් තිබිණ. දරුවන් සතුටු කිරීම පිණිස මින්ට් සීනිබෝලද, යාඥා කිරීමට උවමනා කෙනෙකුට දීම සඳහා කොන්තයක් ද ඇගේ අත් බෑගය තුළ තිබිණ. 


මා මේසය යට දුටු විගඩම ගැන පැටි්‍රයා හා කීමට පටන් ගත් නමුදු මැනුවෙල් ඩි මෝයා විෂබීජය යළිත් පසෙකින් මතුවිය. රිදී බන්දේසියක තැබූ ඇස්ප්‍රින් පෙති දෙකක් හා වතුර වීදුරුවක් ගත් වේටර්වරයෙකු ඔහු සමඟ විත් සිටියේය. මා අත්ල දිග හැර මගේ පෙති පෙන්වූ විට ඔහුගේ මුහුණ හැකිළුණි.


“නමුත් මට වතුර ඕනේ....”යි මා පැවසුවේ කෘතවේදීත්වය පළ කරනු පිණිසය. ඔහු චාරිත්‍රානුකූලව බීම පිරිනමන අන්දමට වතුර වීදුරුව පිළිගැන්වූ විට මගේ කෘතවේදී බව දියවී ගියේ උදරයේ වූ පෙති දියව ගිය අයුරිනි. 
පසුව ඔහු මේසයේ සිටි සෙනෙට් සභිකයා සමඟින් ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳ අලස සාකච්ඡාවක නියැළෙන විට මම කන් දී සිටියෙමි. විටින් විට ඔහු මගේ හිසරදය ගැන විමසුවේය. අවසානයේ තෙවැනි වතාවේ විමසුම් කිරීමෙන් පසුව මම ඔහුට ඇවැසි පිළිතුර දුනිමි. “අපි රටේ ප්‍රතිකාරයට උත්සාහ කරමු..” මා එසේ පැවසූ විට “ඒ මොන ප්‍රතිකාරයද” කියා ඔහු ඇසුයෙන් ඔහු විශ්වාස කළ නොහැකි මිනිසෙකු බව මට හැඟුණි. 


අපි වට කිහිපයක් නැටුවෙමු. මැනුවෙල් ඩි මෝයා බිහිසුණු නැට්ටුවෙක් බව කිව හැක. මම සිනාසෙමින් සිටියෙමි. පැටි්‍රයා මදෙස බලා සිටියේ මා සතුටට පත් කළ හේතුව වටහා ගත නොහැකිවය. 


අනතුරුව සියල්ල සිදුවූයේ වේගයෙනි. මන්දගාමී බොලේරෝ නැටුමක් ඇරඹුණ අතර මා නොදැනුවත්ව මෙන් ටෘජිලෝ මහලු සෙනෙට් සභිකයාගේ බිරිය වූ සිත්කලු තඹවන් තැනැත්තිය හා රඟමින් සිටි දෙසට ගොස් තිබිණ. අප ඔවුන් හා එක පෙළට සිටියදී මැනුවෙල් ඩි මෝයා මගේ අත අතහැර අපගේ ආලිංගනය මුදා හැරියේය. 


“අපි බලමුද?” ඔහු මගෙන් විමසූ නමුත් නායකයා හිස සැලුවේය. තඹවන් ගැහැනිය අමනාපයෙන් දෙතොල උල් කෙරුවේ තමා ඉවතට ගසා දැමූ අයුරිනි. “හමුවීමක් කියන්නෙ දිගු නතරවීමක් නොවෙයි” ඈ නායකයාට මතක් කර දුන්නේ මැනුවෙල් ඩි මෝයාගේ උරහිසට උඩින් ඔහු දෙස නෙත් දල්වමිනි. 


මා දෑත් දෙපසින් තබාගෙන ස්වල්ප වෙලාවක් නතරව බලා සිටියේ වසර පහකට ඉහතදී වේදිකාව මත දැනුණ බිය නැවත මා ගතවෙළා ගන්නා විටය. ඔහු මගේ දෑතින් අල්ලා ගත්තේය. “මම සතුට විඳින්න ද” ඔහු එසේ විමසූ නමුත් පිළිතුරු බලාපොරොත්තු නොවීම මා ඔහු දෙසට ඇද ගත්තේය. ඔහුගේ විලවුන් සුවඳ කඩා හැලෙන සුලු වූවකි.

 

 

 

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර