මාඕ ත්සේතුං  183

මාවෝ ට සේවය කරන්නන් අතුරින් දොස්තර ෂූ ටාඕ පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් දිනා සිටි නිසැක බුද්ධිමතෙක් වු අතර මාවෝ විසින් ඔහු ඉහළින්ම පිළිගනු ලැබිය. මාවෝ ඔහු සමග සතුටු සාමිචියේ යෙදුණා පමණක් නොව ශාස්ත්‍රීය කරුණු කාරණා ගැන වාදවිවාද පවා කළේය. නමුත් මේ වෛද්‍යවරයා සමග සංවාදයේදී ඔහු කිසි දිනක උස් හඬින් කතා කරණු අපට ඇසුණේ නැත. මාවෝ වරක් ෂූට මෙසේ කීවේය. “පාසැලේදී මම ස්වාභාවික විද්‍යාවට වඩා සමාජ විද්‍යාව ඉගෙන ගන්න කැමතිවුණා. ඒ හන්දා මගේ අධ්‍යාපනය සමතුලිත වුණේ නැහැ. එදා මට මග හැරුණු දේවල් ඉගෙන ගන්න දැන් කාලය.”


“මම ඒකෙම අනිත් පැත්ත.” මාවෝ ගේ වෛද්‍යවරයා කීවේය. “මටත් තියෙනවා, පොඩි මග හැරිච්ච දේවල් ටිකක් අල්ලා ගන්න.”


ඔවුන් දෙදෙනාගේ සංවාද දර්ශනය, දේශපාලනය, ඉතිහාසය, සාහිත්‍ය, පතල් කැනීම්, ලෝහ විද්‍යාව, යාන්ත්‍රික විද්‍යාව, රසායන විද්‍යාව වැනි විෂයයන් පළල් ඉසව් ඔස්සේ පැතිරුණි. කිසියම් හෝ බුද්ධිමතෙක් ගොවි, කම්කරු ජනයා ඉදිරියේ තමන්ගේ දැනුම විදහාපාමින් උද්ධච්ච ලෙස හැසිරුණොත් එ වෙලාවේදී මාවෝ කරණුයේ චීනයේ සිටි උසස් ඓතිහාසික චරිත ගැන ඔවුන්ට කියා දෙමින් හීනමාන තත්ත්වයට ගොදුරු නොවන ලෙසට ඔවුන්ට අවවාද කිරිමය. ඒ අවවාද ඔවුන් අසන්නේ නැතිනම් අතීතයේ සිටි සාර්ථක චරිත ගැන විස්තර කරදි ඒ අනුව ජීවිත හැඩගසා ගන්නා මෙන් කීවේය. එවන් සාර්ථකත්වයක් කරා ගමන් ගත් චරිත සම්බන්ධ කතා ඔහුගේ ශරිර ආරක්ෂකයින් අතුරින් මාවෝ විශේෂයෙන්ම කියා දුන්නේ ටියැන්ග් යූනු, ෆෙන්ග් යාඕසොන්ග්, ෂැංග් ෂියැන්ග්පෙන්ග් සහ මටය. මාවෝ කියාදුන් ඒ කරුණු කාරණාත්, ඒ උනන්දුමත් කිරිමත්, ඉවසිලිවන්ත පෙලඹවීමේත් ප්‍රථිඵලයක් ලෙස ටියැන්ග් යුනු සහ ලී ලියැන්ග්චෙන්ග් අවසානයේ පෙරහුරු පාසැලකට ඇතුළුවිමේ සුදුකම් ලැබුහ. ඔවුන් ඒ පාසලේ ඉගෙනුම ලැබූ කාලය තුළ මාවෝගෙන් ඔවුනට ඇවසි ආහාර හා පොත්පත් ලැබුණු අතර ඇතැම්විට කාර්යබහුල වේලාවලදි පවා ඔහුගේ වැඩ නතරකර ඔවුන්ගේ දෛනික කටයුතු හා ඉගැනිමේ කටයුතු පිළිබඳ කළ විස්තර වලටද සවන් දුන්නේය. ඔවුන් ඒ පාසලින් උපාධි හිමිකරගත් දා මාවෝ ඔවුනට රාත්‍රී කෑමට ආරධනාකර ඔවුන් සමග එකට සව්දිය පුරන්නටත් අමතක නොකළේය.   


මාවෝ සොන්නැන්ග්හයි හි අතිරේක කාලයේ ඉගෙනුම ලැබිම සඳහා පාසැලක් පිහිටවූවේය. ඒ සඳහා ගුරුවරු තෝරා ගත්තේත් ඔහුමය. එහි සිසුන්වූවේ ඔහුගේ පළමු ශරීර ආරක්ෂක බළඇණියේ ආරක්ෂකයින් සහ කිසිදිනක මුලික අධ්‍යාපනයක් නෙලැබූ සොන්නැන්හයි සිටි සියලුම ආරක්ෂක භටයින්ය. එහි විෂයමාලාව පාඨමාලා හයකින් යුක්ත විය. චීන භාෂාව, ගණිතය, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, භූගෝලය සහ ජීව විද්‍යාව ඊට අයත් විය. පාසලේ පංති පැවැත්වුවේ මාවෝ පදිංචිව සිටි නිවසේ බටහිර පැත්තට වෙන්නට පිහිටි මැද මිදුලේ හෝ පළමු ශරිර ආරක්ෂක බළකා මූලස්ථානයේ මිදුලේය. මේ වෙනුවෙන් අවශ්‍ය හැම දෙයක්ම වෙනුවෙන් මාවෝ පෞද්ගලිකවම වියදම් දැරුවේය. හැම සිසුවෙකුටම උවමනා පොත් බෑග්, පාඩම් පොත්, අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය මෙන්ම, ජිම්නාස්ටික් ක්‍රීඩාවේ සමාන්තර දඬු, දෙකොනබර විය. පපුව පළල් කරණ ව්‍යායාම උපකරණ වැනි ශාරිරික ව්‍යායාම උපකරණ, මිලදී ගෙන දෙන්නට මට පැවසුවේය. ඔහුට ලැබුණු සඟරා වැනි දේවල්ද ඔවුන්ගේ පරිහරණයට ලබා දුන්නේය.


වැඩ කටයුතු සඳහා මාවෝ නගරයෙන් පිටතට යන විටදි ඔහු සමග යන ශරිර ආරක්ෂකයින් ඔවුන්ගේ පාඩම් පොත්ද රැගෙන යා යුතුවු අතර ඔවුන්ගේ ගුරුවරුන් ද ඔවුන් සමග ගමන් කිරීමට කටයුතු සුදානම් කෙරුණි. ඔවුන්ගේ ඉගැනිමේ කටයුතුවල වර්ධනය පවත්වාගෙන යාම සඳහා වරින් වර ඔහු ඔවුන්ගේ පාඩම් ගැන ද විමසුවේය. වරෙක ඔහු තනිවමත් ඔවුනට ඉගැන්විය.


දිනපතාම වාගේ අපි ඔහුගෙන් යමක් ලැබුවෙමු. මාවෝ ගේ ඒ ප්‍රයත්නයට පිංසිදුවෙන්නට 1960 දි අපි ජේෂ්ඨපාඨශාලා සහතික විභාගය සමත්වුණෙමු.  සොන්නැන්ග්හයි හි මෙවන් පාසැලක් පිහිටවු එකම පුද්ගලයා ඔහු පමණක්ම විය. ෆෙන්ග් යාවො සෙන්ග් ඔහු උගත් දේ සිහිපත් කරමින් අප සියලුදෙනම වෙනුවෙන් එය ප්‍රකාශ කළේ මෙලෙසිනි. “මාවෝ මට පාඩම් හතක් ඉගැන්වුවා. ගුරුවරු උගන්වනවාට වඩා වැඩියෙන් එකක්. එනම් සමාජ සමීක්ෂණ කරන්නේ කොහොමද? එවායේ ප්‍රථිඵල ඉදිරිපත් කරන්නේ කොහොමද කියා.”


මාවෝ විසින් හරි වැරදි බලා නිවැරදි කළ, ආරක්ෂකයින් සහ ශරීර ආරක්ෂකයින් විසින් කරණ ලද ගෙදර වැඩ, සහ නිවාඩු කාලවලදී ඔවුන් ලියා මාවෝට භාරදුන් සමාජ සමීක්ෂණ වාර්තා මේ වන විට හමුදා කෞතුකාගාරයේ සුරැකිව තබා ඇත. මාවෝ  ත්සේතුං විසින් ලියන ලද පොත් පත් ‘සංස්කෘතික විප්ලවය” සමයේ කියැවිම තහනම් කෙරිණි. හමුදාවේ සිටින විට මාවෝ විසින් ලියන ලද අප විසින් විශේෂයෙන් කියැවූ මාර්ක්ස් සහ ලෙනින් පිළිබඳ පොත පත පවා තහනම් කෙරුණි. මෙය කිසිදිනක මාවෝ දකින්නට බලාපොරොත්තු නොවුණු දෙයකි.

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත