“අපට සිදුවෙනවා  අධික ලෙස ආහාර පරිභෝජනය සීමා කිරීමට. ඒ මේ රටේ  සැපයුම හා මිල අතර තුලනයක් පවත්වාගැනීම සඳහායි. මම විශ්වාස කරනවා රටේ බහුතර වැඩ කරන ජනතාව මෙය පිළිපදී කියා...” මේ අපේ රටේ නායකයෙකු නොව ලෝක රාජ්‍ය නායකයෙකු කියන දෑයි. ඒ රාජ්‍ය නායකයා එසේ මෙසේ නායකයකු ද නොවේ. සමාජවාදයට වඩා බර රටක නායකයෙක්ය.


හියුගෝ චාවේස් නමැති අසහාය නව වාමාංශික නායකයා තැනූ 21 වැනි සියවසේ සමාජවාදී දේශය එනම් වෙනිසියුලාව අද වන විට ඉතා බිහිසුණු අර්බුදයකට තල්ලු වී ඇත. දැඩි ආහාර අර්බුදය, විරැකියාව, තරුණ අසහනය ආදී එකී මෙකී නොකී සියල්ලෙන්ම පීඩා විඳින වර්ග කිලෝමීටර 881,050 ක විශාලත්වයෙන් යුත් රාජ්‍යය වර්තමානයේ ලොව ප්‍රසිද්ධියක් උසුලන්නේ විශාලතම තෙල් නිධි සහිත රටක් ලෙසයි. 


මෙලෙස ලොව වැඩිම තෙල් සම්පත් සතු රටක් වුවද 1992 වන විට රටේ දිළිඳුකම පිටුදැකීම, ලතින් අමෙරිකාව තුළ සමාජවාදී පාලනතන්ත්‍රයෙන් ශක්තිමත් කිරීම, බොලිවාර් පිළිවෙත් අනුව යමින් ශක්තිමත් ලතින් ඇමෙරිකානු සහයෝගිතාවක් සඳහා කැපවීම හා ඛනිජ තෙල් කර්මාන්තයෙන් ලැබෙන ප්‍රතිලාභ දිළිඳු ජනතාව වෙත යොමු කිරීම. වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ දේශපාලන දර්ශනයේ අරමුණ විය. පිළිකා මාරයා පරාජය කර ගත නොහැකිව චාවේස් 2013 මැයි 5 වැනිදා මියගියේ ලතින් ඇමෙරිකාවේ තවත් ශක්තිමත් නායකත්වයක් හා එක් දේශපාලනික යුගයක් අවසන් කරමිනි. ඔහුගේ ඇවෑමෙන් බලයට පත් නිකලස් මදුරෝ අද දියත අතිරේකයේ කතා නායකයා වේ. මන්ද සතුරන්ගේ ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් අනූ නවයෙන් බේරීම නිසා වර්තමානයේ වඩාත් කතා බහට ලක්වී සිටින රාජ්‍ය නායකයාත් ඔහු වීම නිසාවෙනි.


වෙනිසියුලාව මෑත කාලයේ දේශපාලන වශයෙන් ලෝකයේ අවධානය දිනාගැනීමට එහි ඉතා ජනප්‍රිය නායකයෙකු වූ හියුගෝ චාවේස් ද එක් හේතුවක් විය. කෙසේ නමුත් පිළිකා රෝගයට ගොදුරුව 2013 වසරේ චාවේස් මියයාමෙන් පසු ජනාධිපති ධුරයට පත් වූ, ඔහුගේ අනුගාමිකයෙකු වන, 55 හැවිරිදි නිකලස් මදුරෝ චාවේස් තරම්ම ජනප්‍රිය නොවුවත් දිගටම සිය බලය රැකගෙන සිටීමට සමත්ව ඇත.


කෙසේ නමුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීමට බොහෝ පාර්ශ්ව සූදානම් නැත. විශේෂයෙන් එරට විපක්ෂයේ කණ්ඩායම් මෙන්ම ඔවුන්ට සහයෝගය දක්වන ඇමෙරිකා එක්සත් ජනපදය වැනි පාර්ශ්ව ද පවසන්නේ ජනාධිපතිවරණය සාධාරණ අයුරින් පැවැත්වුණු එකක් නොවන බවයි.  මෙහිදී විවිධ වංචනික ක්‍රියා සිදුවූ බවට ඔවුහු චෝදනා කරමින් සිටිති. මෑතක මදුරෝගේ රජය දිළිඳු ජනතාවට සහන මිලට මාසිකව ආහාර මල්ල බැගින් ලබා දීමේ ව්‍යාපෘතියක් ද හඳුන්වා දුන් අතර විපක්ෂ කණ්ඩායම් පවසන්නේ මෙය ද ඔහුගේ ඡන්ද ගුණ්ඩුවක් බවයි. නමුත් මදුරෝ එය සලකන්නේ මේ වනවිට දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙමින් සිටින වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් සිය සමාජවාදී වැඩපිළිවෙළ යටතේ සිදු කෙරෙන සේවාවක් වශයෙනි. 


හියුගෝ චාවේස් ජනාධිපති පදවිය දැරූ කාලයේ මෙන් නොව මේ වනවිට වෙනිසියුලාව දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී සිටින රටකි. සමාජවාදී අදහස් දැරූවෙකු ලෙස සැලකුණු චාවේස් එකල වෙනිසියුලාවේ පීඩිත ජනකොටස් වෙනුවෙන් ක්‍රියාත්මක කළ සමාජ සුබසාධන වැඩසටහන් ද මේ වනවිට බොහෝ අභියෝගයන්ට මුහුණ දී තිබේ. එරට ආර්ථිකයේ ඇති වූ මෙම කඩාවැටීමට ප්‍රධාන හේතුවක් වූයේ පසුගිය කාලයේ තෙල් මිල පහත වැටීමයි. තෙල් මිල අඩුවීමත් සමග රටේ ආදායම් අඩුවීමෙන් පසුගිය කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, සනීපාරක්ෂක භාණ්ඩ ඇතුළු බොහෝ දේ ආනයනය කිරීමට පවා අපහසු තත්ත්වයක් ඇති විය. 
ඇමෙරිකා එක්සත් ජනපදය, වෙනිසියුවෙලාවේ පාලනය පෙරළා දමා ඔවුන්ට හිතවත් පාලනයක් ඇති කර ගැනීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවට දැන් කාලයක සිටම චෝදනා එල්ල වෙමින් ඇති අතර ඉහත කී ආර්ථික අර්බුදය ද ඔවුන් ඒ සඳහා ප්‍රයෝජනයට ගන්නා බව මදුරෝ පෙන්වා දෙයි. 


හිටපු ජනාධිපති චාවේස් මෙන්ම මදුරෝ ද සැලකෙන්නේ සමාජවාදී දැක්මත් සහිතව කටයුතු කරන, ඇමෙරිකන් විරෝධී නායකයන් වශයෙනි. කෙසේ වෙතත් පසුගිය කාලය තුළ චාවේස් ගේ දර්ශනය අනුව එරට පීඩිත පන්තියේ ජනතාව ඉලක්ක කර ක්‍රියාත්මක කළ සුබසාධන වැඩසටහන් නිසා මෙම ජනතාවගේ සහය විශාල වශයෙන් චාවේස්ගේ පක්ෂය වන එක්සත් සමාජවාදී පක්ෂයට ලැබිණි. චාවේස්ගේ මරණයෙන් පසුව 2013 පැවති ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් සියයට 80ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.


කෙසේ හෝ වේවා චාවේස්ගේ මරණයෙන් පසු 2013 වසරේ මුල් වරට බලයට පත් වූ නිකලස් මදුරෝ දැන් දෙවැනි ධුරකාලයක් සඳහා ද සුදුසුකම් ලබා සිටියි. ඒ අනුව තවත් වසර හයක් වෙනිසියුලාව පාලනය කිරීමට ඔහුට හැකි වනු ඇත. එම කාලය තුළ සිය බලය ශක්තිමත් කරගනිමින්, වෙනිසියුලාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම ඔහු හමුවේ ඇති ලොකුම අභියෝගයයි. එහෙත් ඔහුට ඇමෙරිකාව වැනි පාර්ශ්ව වෙතින් ලොකු තර්ජනයක් එල්ල වීමට ඇති ඉඩකඩ ද ඒ සමගම ඉහළ යමින් තිබේ. ජනාධිපතිවරණයේ දූෂිත බව පෙන්වමින් ඇමෙරිකාවද වෙනිසියුලාවට එරෙහිව තවත් සම්බාධක ක්‍රියාත්මක කිරීමට යන බව වාර්තා වී ඇත. 


මදුරෝ අත්දැකීම් හෝ නායකත්ව දැක්මක් සහිත දේශපාලනඥයෙක් නොවීය. ඔහු චාවේස්ගේ දැවැන්ත සෙවණැල්ල යට සිටි අයෙක් ලෙස එරට දේශපාලනයට අනුගත විය. මදුරෝ, චාවේස් මෙන් වාසනාවන්තයෙකුද නොවීය. ඔහු දැනට ද උත්සාහ දරන්නේ චාවේස්ගේ ප්‍රතිරූපයට මුවාවී තමන් ආරක්ෂා වීමට යැයි එරට විපක්ෂ නායකයෝ පෙන්වා දෙති. තමා දැනටත් චාවේස්ගේ සොහොනේ නිදාගන්නා බවත්, චාවේස් කුරුල්ලකුගේ වෙසින් පැමිණ රට ගොඩගන්නා හැටි තමන්ට කියන බවත් මදුරෝ වරින් වර කළ කතාවලදී සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 


චාවේස්ගේ මරණයෙන් වසර 4ක් ඉක්මගිය තැන අද වන විට වෙනිසියුලාවට අත්ව ඇත්තේ කුමන ඉරණමක්ද? එරට ආර්ථික වර්ධන වේගය ඍණ තත්ත්වයක පසුවේ. එනම් බරපතළ ආර්ථික පසුබෑමකි. රටේ තෙල් කර්මාන්තය ප්‍රධාන ආදායම වුවද එහි නවීකරණයන් සිදු කර නිෂ්පාදන කාර්යාවලිය විධිමත් කිරීමට මදුරෝ රජය පියවර ගෙන නැත. ආයෝජකයන් පන්නා දමා ඇති නිසා රටට විදෙස් ආදායම් එන මං ඇහිරී තිබේ. 
ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බොහෝ නායකයන් කරන පරිදි මදුරෝද සටන්පාඨයක් යොදාගෙන තිබේ. ඒ දිවිහිමියෙන් එරට සමාජවාදී නායකයින් සිදු කළ විප්ලවය රැකගැනීමයි. එහෙත් එරට ජනතාව හමුවේ ඇත්තේ ඊට වඩා බරපතළ අවශ්‍යතාවකි. දිනෙන් දින, මුදල්, ආහාර හා සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වන තත්ත්වයක් යටතේ තම ජීවිකාව ඉදිරියට ගෙන යෑමයි. විප්ලවය සුරැකීමට පෙර ජීවිතය රැකගැනීමට ජනතාවට සිදුව තිබේ.
වෙනිසියුලාව මුහුණ දෙන සියලු ගැටලුවලට මූලික හේතුව ඇමෙරිකානු කුමන්ත්‍රණ බව ජනාධිපති මදුරෝ පවසයි. එහෙත් වඩාත් විශ්ලේෂණාත්මකව බැලීමේදි පෙනීයන්නේ වෙනිසියුලාවේ ප්‍රශ්නවලට මූලික හේතුව අදූරදර්ශී ආර්ථික සැලසුම්, දරාගත නොහැකි ආකාරයේ සුබසාධන වැඩසටහන් මෙන්ම ආර්ථික කළමනාකරණයකින් තොර වීම වැනි සාධක නිසා බව බටහිර රටවල මාධ්‍ය පෙන්වා දේ.

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි.