මෙතැන් පටන් මිරැබල් සොයුරියන්​ගේ කතාව යොමුවන්නේ ඔවුනගේ පවුලේ බාලයා වූ මාරියා තෙරේසාගේ දින සටහන් වෙතය. ඈ අධ්‍යාපනය සඳහා කන්‍යාරාමය වෙත යැවෙනුයේ වැඩිමහල් සොයුරියන් තිදෙනාට පසුවය. ඒ වනවිට වැඩිමහල් සොයුරියෝ තරුණ වියට පා තබා සිටියහ. මාරියා තෙරේසා කන්‍යාරාමයේ දී හා ​ගොවිපොළේදී මුහුණ දුන් අත්දැකීම් ඔස්සේ මෙම සටහන් ලියා තිබේ.


පළමු අවස්ථාවේ පටන් පාසැලේ විවිධ අංග සඳහා මා තෝරා ගැනීම විස්මිත යමක් මෙන් හැඟිණ. මේ වනවිට කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබමින් සිටියේ මගේ සොයුරියන් අතරින් මිනර්වා පමණි. ඈ මා හොඳින් රැකබලා ගත් අතර මට මිතුරියන් රැසක් ද හඳුනා ගැනීමට ලැබිණ. මගේ පළමු සත්ප්‍රසාදය සඳහා ලැබුණු සුදු පාට සම් සපත්තු මට අමතක නොවන යමකි. වැඩිහිටි කාන්තාවන් පලඳින සපත්තුවල මෙන් එහි තරමක උස් අඩියක් තිබිණ, මා එය පැලඳ බොහෝ වාරයක් ඇවිදීමට පුහුණු වූයේ අල්තාරය දෙසට යනවිට වෙව්ලීමෙන් තොරව යනු පිණිසය.


මා පළමු සත්ප්‍රසාදය ලබනු දැකීමට අම්මා, ඬේඬේ හා පැටි්‍රයා ද මගේ කුඩා බෑනනුවන් වූ නෙල්සන් හා මගේ කුඩා ලේළිය නොරිස් ද ඔජෝ ඩි අගුවා සිට පැමිණියහ. තාත්තා නොපැමිණියේ කො​කෝවා අස්වැන්න නෙළමින් අවිවේකීව සිටි බැවිනි.


මම පාසැලේ වැඩ හොඳින් කළ අතර විශේෂ අවස්ථා සඳහා තෝරා ගන්නා සිසුවියක බවටද නිතැතින් පත්වීමි. මට දෙවතාවක්ම ලිවීම සඳහා වූ තෑග්ග දිනා ගැනීමටද හැකියාව ලැබුණි. නමුත් පමණට වඩා කැපී පෙනීමට යාමෙන් සෙසු සිසුවියන් ගේ හොඳ හිත නැතිව යන බව මට අවබෝධ විය.


පළමුව මා නිවසින් එවීමට අම්මා අකමැති වූවාය. නමුත් මිනර්වා කන්‍යා​රාමයේ ගත කළ අවසන් අවුරුද්ද එය වූ බැවින් මා බලා ගැනීම සඳහා ඈ සිටි බව සිතා අම්මා එකඟ වූවාය. මා කිසිවෙකුට කීමට අකමැති වුවත් කන්‍යාරාමයට එම සඳහා මා තුළ ද අකමැත්තක් විය.


අනතුරුව දෙසැම්බර් මස විසි වැනිදා මා මිනර්වා සමඟින් නිවාඩුවට ගෙදර බලා යන දිනය උදා වුණි. මා ඇතුළාන්තයෙන් මෙම දිනය උදාවන තුරු නොඉවසිලිමත්ව සිටි බව කිව හැකිය.


පුරා තුන්මාසයක් තිස්සේ ඇසින් නුදුටු තාත්තා දැකීමට මා තුළ බලවත් නොඉවසිල්ලක් තිබිණ. එමෙන්ම මගෙ සාවුන් වූ නීව් හා කොකෝ ද වූහ. දැනට මට අලු‍ත් සාවුන් කී දෙනෙකු ලැබී තිබුණි දැයි මා දැන සිටියේ නැත. අප ළඟ වැඩ කළ ටොන්ටෝ හා ෆීලා ද අප එනතුරු බලා සිටියහ.


මා මිනර්වා සමඟින් නිවසේ සිටි කාමරයේ ගෙවත්ත පැත්තේ ජනේලය විවර කළ විට එහි තිබූ බෝගන්විලා මල් පිරුණු ආරුක්කුව දිස්වූයේ කතාන්දර පොතක එන මායා රාජ්‍යයකට පිවිසෙන දොරටුවක් මෙනි.


එසේම මේට් කියා අමතනු ඇසීම ද සතුටකි. අපට පාසැලේදී අන්වර්ථ නම් කීමට අවසර නොතිබුනි. ඬේ ඬේ ට බෙල්ජිකා යනුවෙන් නමක් පටබැඳී තිබුණද පාසැලේදී ඇයට කිසිවෙකුත් එසේ නොකීහ.


එසේම නිවසේදී කන්‍යාරාමය සිහිපත්වන යම් දෑද තිබිය යුතුය. අපට බොහෝ දයාවෙන් සැලකූ මිලාග්‍රස් කන්‍යා සොයුරිය මට කොණ්ඩය ගොතා ගෙන රිබන් පටි ගැට ගසා ගැනීමට උදවු කළාය. මට නපුරුකම් කළ ලීඩියා හා ඬේසි ද පසුව ප්‍රියමනාපව සිටියහ. මිනර්වා ඔවුනට පුද්ගලිකව කතා කර තිබුණාය.


නමුත් මට උදේ පාන්දර හයට අවදි වීම හෝ නිදන ශාලාවේ ගොරවන්නන් අතර මැද නින්දට යාම හෝ ලෝකයේ ඕනෑ තරම් ලස්සන පාට තිබියදී නාවුක නිල්පාට ​ගොරෝසු නිල ඇඳුමෙන් නිතිපතා සැරසෙන්නට සිදුවීම අහිමිවීමක් මෙන් නොදැනෙනු ඇත. එමෙන්ම ඇති තරමට චොකලට් කුඩු නොයොදා සාදන චොකලට් පානය නැති අඩුවද නොදැනෙනු ඇත.


දුම්රියේ ආපසු එන අතරතුර මිනර්වා මට රූපසටහන් සහිතව බොහෝ ඈ විස්තර කළාය. මා තුළ විමතියක් ඇති නොවුණි. ඈ මට ඒ වන විටත් ඔසප් චක්‍රය ගැන කියා දී තිබුණාය. ඇරත් ගොවිපොළක වෙසෙන විට සතුන්ට පුද්ගලිකකත්වය කියා දෙයක් නැත. නමුත් තවදුරටත් මට ඒ ගැන ප්‍රියතාවක් ඇති නොවීය. මා වයසින් වැඩී විවාහ වන විට එවැනි දේ සඳහා විකල්ප ක්‍රමවේද සොයාගනු ඇතැයි මම යටි සිතින් ප්‍රාර්ථනා කළෙමි.

 


 

ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


දසවන කොටස

 


 

 

දුම්රියේ සිටි තරුණයෙකු අප වටා කැරකෙන බව පෙනුණි. ඔහු අප පසුපස එන්නට වූයේ තමා දැක තිබූ රූමත්ම තරුණිය මිනර්වා බව ඇයට කියමිනි. අප පාරේ යන පිට ඇයට නිතර මෙවැනි ප්‍රශංසා ලැබිණ.


අප වාඩිවීමට සැරසෙන විට මෙම තරුණයා වහා ඉදිරියට පැන ඔහුගේ අත් ලේන්සුවෙන් ආසනය පිස දැමුවේය. මිනර්වා ඔහුට ස්තූති කෙරුවේ වැඩිපුර ප්‍රතිචාරයක් නොදක්වමිනි. ඔහුට උවමනා වූයේ අප හා වාඩිවීමට ඇරයුමකි. එය නිවස බලා ඒමට මාරු වූ දුම්රියයි. ඔහුගෙන් ගැලවීමක් ලැබෙනු ඇතැයි අප සිතුවද ඔහු යළි අප කරා පැමිණියේ අවසන් නැවතුමේදී අප වෙනුවෙන් ගත්, බැදපු රටකජු ​ගොටු දෙකක්ද රැගෙනය. ආගන්තුකයෙකු දෙන දෙයක් කෑමට කැමැත්තක් නොතිබූ මා වෙත ඔහු එය දිගු කළේය.


එහෙත් මෙම රටකජුවල සුවඳින් මගේ උදරය කැලඹෙන බව දැනුණි. මම මගේ සොවට පත් බලු‍ පැටවාගේ දෑසින් මිනර්වා දෙස බැලු‍වෙමි. ඈ හිස සැලු‍වාය. “ඔබට ස්තූතියි” කියමින් මම රටකජු ගතිමි. තරුණයා එකවර මගේ වම් පසින් වාඩිවූයේ මගේ උකුල මත තිබූ සටහන් වෙත නෙත් යොමමිනි.


“ඕ, ලස්සන චිත්‍ර වගයක් නේ” යි ඔහු කියූ විට මට මැරෙන්න හැකිනම් කියා සිතුණි. එහි වූයේ එම දෙය සහ එහි ​බෝල දෙකය. මිනර්වා හා මා සිනාසෙන්නට වූ බැවින් මට රටකජු සිරවෙන්නට ගියේය. තරුණයා ඉවත බලාගෙන සිනාසුණේ තමා බොහෝ දක්‍ෂ යමක් කියූ බව සිතූ අයුරිනි.

 

 

නත්තල හා නව වසර උදාව මට නිමා නොවන සතුටක් ​රැ​ගෙන ආවේ නිවාඩු සියල්ල එකවර ලැබුණාක් මෙනි. මට එක තැන වාඩිවී රැඳී සිටීම අසීරු වූ අතර උවමනා වූයේ දුව පැන ඇවිදීමටය.


ඒ වනවිට මගේ වැඩිමහල් සොයුරිය පැටි්‍රයා විවාහවී මම දෙවතාවක්ම පුංචි අම්මා කෙනෙකු වී සිටියෙමි. ඇයට දුවෙකු හා පුතෙකු ලැබී සිටි අත​ර ඈ තෙවන වරටද ගැබ්ගෙන සිටියාය. වසරක් වියැති පුංචි බෝනික්කියක වැනි නොරිස් බොහෝ සුරතල්ය. නෙල්සන් තෙහැවිරිදි වියෙහි පසුවුණි. මා සතුන්ගේ හැරුණු විට පළමු වතාවට පිරිමියෙකුගේ කියා දෙයක් සමීපව දුටුවේ ඔහුගෙන්ය.


ජීවිතය ඉදිරියේදී බො​හෝ වෙනස් වන්නට යන බව මා දැන සිටියේ නැත.

 

 

 

 

 

 

පරිවර්තනය :
මානෙල් ජයන්ති ගුණසේකර