මාඕ ත්සේතුං  188

1954 දී චීනය සහ ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම සාමය සහ සහජීවනය පදනම්කරගත් ප්‍රධාන කරුණු පහකින් සමන්විතවිය. මගේ හැඟිමේ හැටියට මෙම ගිවිසුමට අඩංගු මූලධර්ම වලින් දෙකක්ම මාවෝගේම ඒවා විය. විදෙස් රටවල් සමග චීනය පැවතිය යුතු සබඳතා සම්බන්ධයෙන්, නව දේශපාලන උපදේශන සමු`එවේදි මාවෝ ඉදිරිපත්කරණ ලද නියාමනයන් ඒවාට අඩංගුවී තිබුණි.


ඉන්දුනීසියානු ජනාධිපති සුකර්ණෝ 1955 වසරේ චීනයේ සංචාරයක නියැළුණු අතර එම සංචාරය නිමවී ඔහු ආපසු සියරට බලා යන ගමනේදි ඔහුට සමුදෙන්නට ගුවන් තොටුපොළට ගිය මාවෝ ආපසු එන ගමනේදි අවන්හලකින් සංග්‍රහයක්ද භුක්ති වින්ඳේය. අනතුරුව ඔහු නැවත ගමන අරඹා එන අතරතුරේ සෝවියට් ප්‍රදර්ශන මධ්‍යස්ථානය අසලදී වාහනය නතරකරණ ලෙසට එක්වරම රියදුරුට දැන්වීය. එදින එහි ජපන් කර්මාන්ත ප්‍රදර්ශනයක් පැවැත්විණි. මාවෝ ඉතා ආශාවෙන් ප්‍රදර්ශන භූමිය නරඹමින් ගිය අතර එහිදී ජපන්නු ඔහුට ට්‍රාන්සිස්ටර් ගුවන් විදුලි යන්ත්‍රයක් තෑගි ලෙස දුන්හ. එවකට චීනයේ මෙවැනි ගුවන් විදුලි යන්ත්‍ර නිෂ්පාදනය නොකෙරුණි. 


මාවෝ මේ ගමනේදි එහි සිටි ජපන් සත්කාරකයින් සමග කළ සංවාදයේදී පුන පුනා කියාසිටියේ ජපන් හා චින රාජ්‍යන් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොමැති නිසා දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කරගතයුතු බවය. එම ප්‍රදර්ශනය ගැන ප්‍රශංසාමුඛයෙන් කතා කළ ඔහු දෙරට අතර වෙළඳාම සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවන බව පැවසුවේය. ජපනුන් සමග මාවෝ කළ සංවාදයේදී මට හැඟි ගිය කරුණ නම් චිනයට පනවා තිබුණු සම්බාධක පරාජය කිරීමට ඇති හොඳම මාර්ගය මාවෝ කියන ලෙසට ඒ ඒ රටවල මිනිසුන් අතර සබඳතා වර්ධනය කර පිටත ලෝකය සමග ආර්ථික සම්බන්ධතා ගොඩනගා ගැනිම බවය.


1970 දශකය වන විට කරුණු කාරණා නාට්‍යානුසාරි වෙනසකට ලක්විය. මාවෝ මුලදි දැඩිලෙස කියා සිටියේ කුමන හෝ විදෙස් රටක් සමග සබඳතා වර්ධනය කරගන්නට පෙර ඒ සම්බන්ධ සියලු මූලධර්මයන් හා කරුණු කාරණා සකස් කළ යුතු බවය. නමුත් දැන් තත්ත්වය වෙනස්විමත් සමග වර්තමානයේ හඳුන්වනු ලබන “එහා මෙහා දෝලනයවන” ජාත්‍යන්තර සබඳතා පිළිගනු ලැබීය. එක් යුගයක් අවසන්වී තවත් යුගයක ඇරඹුම කල්තියා දුටු පළමුවැන්නා මාවෝ ලෙස හැඳින්විය හැකිය. කරුණු කාරණා ගැටුම්කාරි තත්ත්වයට පත්වෙන්නට ඉඩ නොදී සාකච්ඡා මාර්ගයෙන් විසඳාගතයුතු බව ඔහු දැන සිටියේය.


විසි වසරකටත් වැඩි කාලයක් චීනයත් ඇමරිකාවත් වෙන්කර වැසි තිබුණු අයිස්මෙන් ගල්වුණු රාජ්‍යතාන්ත්‍රික ද්වාරය බිඳ දමා එකිනෙකා හමුව සාකච්ඡා කිරිමේ ගරුකටයුතු ධෛර්යවත්බව සහ පෙරදැක්ම 1972 දි මාවෝ ත්සේතුං සහ රිචඞ් එම්. නික්සන් විදහා දැක්වූහ. මේ දෙදෙනාගෙන් අයෙක් ඉහළපෙළේ මාක්ස්වාදියෙක් මෙන්ම නිර්ධන පංති විප්ලවයේ නායකයෙක් සහ ගුරුවරයෙක්ද විය. අනිත් පුද්ගලයා ලෝකයේ විශාලතම ධනවාදී රාජ්‍යයේ ජනාධිපතිවරයා විය. මේ ඉහළපෙළේ ධනේශ්වරවාදියා සහ සමාජවාදියා එකිනෙකා සමග අතට අත දෙමින් දෙරට අතර දශක දෙකක් පුරාවට තිබුණු ආරාවුල අතහැර දමා සාකච්ඡා ඇරඹූහ. චීනයට පිටස්තර ලෝකයේ පියන්පත් විවරවූ පෙරමග මේ හමුව බැව් කිව යුතුය.


බලාපොරෙත්තු සුන්වි මාවෝ ඉච්ඡාභංගත්වයට පත්වෙනු මා මුලින්ම දුටුවේ කහ ගංගාව පිහිනන්න උත්සාහ කර නොහැකිවුණු අවස්ථාවේදීය. යිචුආන් ජයග්‍රහණයෙන් දින දෙකකට පසු චූ එන්-ලායි සියලුම නිලධාරීන් අමතා මෙසේ කීවේය. “සහෝදරවරුනි, මධ්‍යමකාරක සභාව හා සභාපති මාවෝ තීන්දුකර තිබෙනවා උතුරු චීනය කහ ගංඟාවෙන් එහා පැත්තට ගෙනයන්න.”


මෙම පුවත ඇසු අපි ප්‍රීති ඝෝෂා නගමින් උඩපනිමින් කෑ ගසන්නටවීමු. ඒ මක්නිසාද කියතොත් ඉන් හැඟි ගියේ අපි හු සෙන්ග්නන් පරාජය කර ඇති බව මෙන්ම විමුක්ති සටන හැරවුම් ලක්ෂ්‍යකට පැමිණ ඇතිබවය. අපි 1948 මාර්තු 23 වැනිදා කහ ගංගාවෙන් එතෙරවීමට ඇති චුඅන්කු වෙත ළඟාවුනෙමු. අප පිටත්ව යනු දැක බලා ගැනීමට ගං ඉවුරේ මෙන්ම අවට කඳු ගැටවලත් මිනිස්සු රැස්ව සිටියහ.

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත