මාඕ ත්සේතුං

 

අවුරුද්දකට කිහිපවතාවක්ම පාහේ සායි වැනි අමුත්තෝ මාවෝ බැහැ දකින්නට පැමිණියහ. ඒ අය අතුරින් ඔහු වෙතින් සමුගෙන යන අය හැරෙන්නට අනිත් කිසිවෙකුවත් ඔහු සමග රාත්‍රී ආහාරය නොගත්හ. ලී ලියැන්ජින් සහ ටියාන් යුනු මාවෝ ගේ සේවයෙන් ඉවත්වී ගියපසු ලූනා අලුත් අවුරුදු නිවාඩු දිනයේ (මෙදින චාරිත්‍රානුකූලව පැරණි මිතුරන් හා ඥාතීන් බැහැ දැකිම සිදු කෙරේ.) ඔහු හමුවෙන්නට පැමිණියහ. මාවෝ ඔවුන් සමග රාත්‍රී ආහාරය ගත්තේය. ඒ කාලයේ මාවෝ නිතර මත්පැන් පානය නොකෙරුවද එදින ඔහු ඔවුන් සමග මුද්‍රික පානය ගෙන සව්දිය පිරුවේය. වයින් වීදුරුවක් දෙකක් බොනවිට ඔහුගේ මුහුණ ක්ෂණයෙන් රත්පැහැ ගැන්විණි. ඔහු අනිත් දෙදෙනා දෙස ළෙන්ගතු බැල්මක් හෙළමින් මෙසේ කීවේය. “ඔයාලට ඉඩකඩ තියෙන වෙලාවට මාව බලලා යන්න එන්න. ඔයාලා නැති අඩුව මට හොඳටම දැනෙනවා.”


තමා සමග වැඩකළ මිනිසුන්ගේ අග හිඟකම් වලදී ඔවුනට උදව්කිරිමට මාවෝ අදිමදි නොකළේය. “ඔවුන් මගේ වැඩවලට මට උදව් කරපු අය. ඔවුන්ට උවමනාවක් වුණු වෙලාවට පිටුපාන්න හොඳ නෑ.”ඔහු ඒ ගැන කීවේ එලෙසිනි. නමුත් මාවෝ කිසිම දිනක ඔවුනට නොගැළපෙන දෙයකට හෝ ආණ්ඩුවේ තනතුරු ගන්නට හෝ  ඔවුනට උදව් නොකළේය. ඔහුගේ සේවයෙන් ඉවත්ව යන අයට ඔහු දුන් උපදෙස වූවේ “තමන් කරණ කාර්යය ගැන හොඳින් අවධානය යොමුකරන්න. නිහතමානී වෙන්න. සිහි කල්පනාවෙන් කටයුතු කරන්න. දුෂ්කර අවස්ථාවක් ආවොත් මට ඒ ගැන විවෘතව ලියන්න.”


චීන විමුක්ති අරගලයේදී ලේ ඥාතීන් හය දෙනෙක්ම අහිමිකරගත් මාවෝ තම දරුවන්ට, දැඩි තීන්දු තීරණ ගන්නා ආදරණීය පියෙක් විය. යැන්ග් කායිහුයි සමග පැවති මාවෝ ගේ මුල් විවාහයෙන් ලැබුණු වැඩිමල් පුත් මාවෝ ඇනියන් සෝවියට් දේශයේ අධ්‍යාපනය හමාරකර පැමිණි පසු ඔහුට අණ්ඩ දැමු ඇඳුම් අන්දවා ෂැන්සි - ගැන්සු - නින්ග්සි දේශ සීමාවේ ආදර්ශ ගොවිපොළක ගොවිකම් ඉගෙන ගන්න යැවීම මු`එ චීනයම දන්නා කතාවකි. මේ අකාරයට මාවෝ තම දරුවන්ට සලකපු සිද්ධින් කිහිපයක් ගැන කියන්නට මට ඉඩ දෙන්න. 


බෙයිපින් සිට කැන්ග්ඩා (එය යැනෑන්හි පිහිටි චීන ජනතා ජපන් වීරෝධී හමුදා සහ දේශපාලන විද්‍යායතනයකි.) වෙත පැමිණි ෆූ නමැති සිසුවියක් සිටියාය. ඒ කාලයේ කුඩා ග්‍රාමීය නගරයක් වු යැනෑන්හි සිටි තරුණියන් ටික දෙනා අතුරින් ඇය ඉතා පියකරු තරුණියක් විය. ජියැන්ග් කුයින්ට ඇය ඇස ගැටුණු විට ඇගේ සිතට ක්ෂණීක අදහසක් මතුවිය. ඒ අනුව ජියැන්ග් එක් ඉරුදිනක ඇයටත් මාවෝ ඇනියන්ටත් රාත්‍රී භෝජනයකට ආරාධනා කළාය. ආහාරය අතරතුර ඔවුන් අතර පැවති සංවාදයේදි මාවෝ අනියන් හා තරුණිය අතර ළෙන්ගතු සමාගමක් ගොඩ නැගුණි. රාත්‍රී භෝජනය අවසානයේ තරුණිය ගියපසු ජියැන්ග් ඇනියන්ට කතාකර මෙසේ කිවාය. “දැන් ඔයා විවාහවෙන වයසත් හරි. ෆූ ගැන මොකද ඔයා හිතන්නේ?.”


මොහොතක නිහැඬියාවකට පසු මාවෝ ඇනියන් තරමක ලජ්ජාශීලී ලෙස කතා කළේය.  “තාත්තා මොනවා කියයිද දන්නෙ නෑ.”


“ඔයා එයාට කැමති නම් මම ඒ ගැන තාත්තා එක්ක කතා කරන්නම්. මම නම් හිතන්නෙ නෑ එයා විරුද්ධවෙයි කියලා.”


නමුත් ජියැන්ගේ උත්සාහය අඩපණ කරමින් මාවෝ හිස සලා මෙසේ කීවේය. “ඒ දෙන්නා හමුවුණේ එකපාරනෙ? ඉතින් ඒක විවාහයට ඉක්මන් වැඩි නැද්ද? තරුණයාට නම් බලා ඉන්න බැරිවුණත් ඔයාට ඉතින් එහෙම බැරිකමක් නෑනේ. මේ ගැන මට එයා එක්ක කතා කරන්න ඕනැ කියලා ඇනියන්ට කියන්න.”


“ඔයාගේ තාත්තට අර ගැන ඔයා එක්ක කතා කරන්න ඕනැලු.”ජියැන්ග් ඇනියන්හට කීවේ “දැන් සේරම තියෙන්නේ ඔයා අතේ.”යන කෑල්ලද ඊට එකතු කරමිනි.


“මට හිතෙන්නෙ එයා හරි ලස්සනයි කියලා.”ඇනියන් ලජ්ජාශීලී ලෙස මාවෝ ට කීවේය.


“එහෙම නැතිනම් ඔයා එයාට ආකර්ෂණය වෙන්නේ නෑ නේද?.” මවෝ ඇසුවේ සෙල්ලක්කාර සිනාවක්ද නගමිනි. “මට ඒ ගැන තොරෙනවා. ඒත් ඔයා ලස්සන පස්සේ පන්නන්නෙ ඇයි කියන එකයි මට තේරෙන්නෙ නැත්තෙ.”


ඇනියන් ලජ්ජාවෙන් නිහඬව සිටියේය. එවර මාවෝ ප්‍රශ්න කළේ තරමක බැරෑරුම් ස්වරයෙනි. “එයාගේ ලස්සන හැරෙන්න වෙන මොනවා ගැනද ඔයා දන්නේ?. විප්ලවයට එයාගෙ තියෙන පක්ෂපාතිත්වය කොහොමද? එයාගේ අධිෂ්ඨානශීලීබව? එයාගේ පෞරුෂය?. එයා බෙයිපින් ඉඳලා ටික කාලෙකට පෙර ආපු කෙනෙක්. ඉතින් එයා ගැන කිසි දෙයක් අපි දන්නෙ නෑ. ඔයාගේ විවාහය නිකම්ම නිකම් පෞද්ගලික විවාහයක් නොවිය යුතුයි. ඒක විප්ලවයත් සමග පැවතිය යුතු දෙයක්. ඔයා මාවෝ ත්සේතුංගෙ පුතා. ඔයාට ඒ වගේ දෙයක් ලේසියෙන් කරන්න බෑ. ඒක ඥාණාන්විතව කළ යුතුයි.”


මෙහිදි මාවෝ නිවැරදි බැව් වැඩිකල් යන්නට පෙර ඔප්පු විය. යැන්නෑන් ජිවිතය බොහෝ දුෂ්කරබව දැනුණු විට තරුණිය ආපසු බෙයිපින් කරා ගියාය. එපමණක් නොව ඇය විප්ලවය විවේචනය කරමින් පුවත්පත්වලට ලිපි පවා ලීවාය. මාවෝ හුනෑන් ඌරුවෙන් බර දමා මෙසේ කීවේය. “ලස්සන මුහුණකට යමෙක් රවටන්න පු`එවනි. නමුත් කිසි කෙනෙකුට තවකෙකුගේ විප්ලවයට ඇති පක්ෂපාතිත්වය රවටන්න බෑ.”

 

 

 

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත