ට්‍රම්ප්ගේ පළමු රාජකාරි දෙසතිය අමෙරිකාව පමණක් නොව සමස්ත ලෝකයම කැලඹීමට ලක් කළේය. ඒ ඔහු ජනාධිපති වශයෙන් හා හ පුරා කියා අත්සන් තැබු ජනාධිපති විධායක නියෝගවල ඇති බරපතළකම හා ඔහු ජනාධිපති වශයෙන් පළ කළ දැඩි ස්ථාවරය නිසාවෙනි. ට්‍රම්ප් දැනටමත් මුල් පෙළේ යුද්ධ තුනක් ප්‍රකාශයට පත්කර තිබේ. 


ඒ මෙක්සිකෝවට එරෙහි දේශසීමා සංක්‍රමණික හා වෙළෙඳ යුද්ධය සහ මුස්ලිම් සංක්‍රමණිකයන්ට එරෙහි යුද්ධයයි. ඊට අමතරව ට්‍රම්ප් පාලනය යටතේ සිදුකෙරුණු ප්‍රථම අමෙරිකානු හමුදා මෙහෙයුම යේමනයේදී පසුගිය බ්‍රහස්පතින්දා සිදුවිය - එහිදී අමෙරිකානු නාවික සීල් කමාන්ඩෝ භටයෙක් මියගිය අතර තවත් තිදෙනෙක් තුවාල ලැබුහ. අල් කයිඩා සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන් 27 දෙනෙක්ද මියගිය බව වාර්තා වේ. ඊට අමතරව ජනාධිපති ට්‍රම්ප් ඉරානයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙයි ඔබාමා හා ඉරානය අතර පැවති න්‍යෂ්ටික එකගතාව පසෙකලා ඉරානයට නවසම්බාධක පැනවිමට අමෙරිකාව සුදානම් වන බව ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශ තුළින්  පැහැදිලි විය. 2017 ජනවාරි 20 දින පදවිය භාරගත් දා සිට ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති වශයෙන් අත්සන් කළ නියෝග කිහිපයක් වන්නේ ට්‍රාන්ස් පැසිෆික් වෙළෙද සම්බන්ධතා අවලංගු කිරිම, ගබ්සා වැඩසටහන් වලට අමෙරිකානු අරමුදල් ලැබිම තහනම් කිරිම, මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ තාප්පයක් ඉදිකිරීම හා එම දේශසිමාවේ නීතිවිරෝධි සංක්‍රමණ වැළැක්විම,මුස්ලිම් රටවල් 6ක පුරවැසියන්ට අමෙරිකාවට පැමිණීම තහනම් කිරිම හා සිරියානු සරණාගතයන්ට අමෙරිකාවට පැමිණීම තහනම් කිරිමයි.


මේ ජනාධිපති නියෝග අමෙරිකාව හා ගෝලීය ප්‍රජාව කැලඹිමට පත්කළ හා ලෝක මාධ්‍ය වල පුවත් මැවු ක්‍රියාමාර්ග බවට ගෙවීගිය දෙසතිය තුළ පත්විය. ඩොනල්ඞ් ට්‍රම්ප් මේවනවිට මෙක්සිකෝව ඔස්ටේ්‍රලියාව හා චීනය වැනි රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතුකරගෙන තිබේ.


ට්‍රම්ප්ගේ වඩාත්ම මතභේදාකාරි නියෝගය මුස්ලිම්වරුන්ට අමෙරිකාවට පැමිණීම තහනම් කිරිමයි. සරණාගතයන් අමෙරිකාවට ඇතුළත් කරගැනිමේ සියලු වැඩසටහන් දින 120කට සම්පුර්ණයෙන්ම අත්හිටුවනු ලබයි. ඉරාකය සිරියාව ඉරානය යේමනය සුඩානය ලිබියාව හා සෝමාලියාව යන රටවල වැසියන්ට අමෙරිකානු වීසා ලබාදිම සමිපුර්ණයෙන්ම අත්හිටුවනු ලැබේ. නියෝගය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වය පළකළ වැඩබලන නීතිපති සැලී යේට්ස් වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් පහකිරිමට ට්‍රම්ප් පියවර ගත්තේය.


මෙයද මෑතකාලිනව අමෙරිකානු ජනාධිපතිවරයෙකු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලැබු වඩාත්ම බරපතළ හා දැඩි තීන්දුව සේ සැලකේ. සැබැවින්ම ඩොනල්ඞ් ට්‍රම්ප් කරන්නේ කුමක්ද? නිරන්තරයෙන් ට්‍රම්ප්ට එරෙහි ප්‍රධාන ප්‍රවාහයේ අමෙරිකානු මාධ්‍ය ඔහුගේ ක්‍රියාකාරකම් පමණට වඩා උලුප්පා ලුණු ඇඹුල් දමා ඔහු යක්ෂාවේෂ වූවකු ලෙස මවාපෑමේ උත්සාහයක යෙදී සිටින්නේද? මේ ප්‍රශ්න දැන් ලෝකය හමුවේ පවතී. මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ග දෙස බැලිමේදී පැහැදිලි වන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප් ගෝලීයකරණයට එරෙහිව උඩුගං බලා යමින් අමෙරිකානු ජාතිකවාදී ධනවාදයක් කරා යොමුවන බවයි.


ට්‍රම්ප්ගේ ප්‍රධාන සටන්පාඨය “පළමුව අමෙරිකාව” යන්නයි ඒ යටතේ ඔහුගේ අපේක්ෂාව ජනාධිපතිවරුන් රැසක් යටතේ දිගුකාලීනව අත්හැර හා අමතක කර දමනු ලැබු අමෙරිකානු සුදු ජාතික වැඩකරන පංතියේ අවශ්‍යතා යළි අවධානයට ලක්කර ඔවුන් යළි නඟාසිටුවිමයි. අමෙරිකානු සමාගම් විදේශ ආයෝජන හරහා අමෙරිකාවෙන් බැහැර කරනු ලැබු රැකියා අවස්ථා යළි අමෙරිකාවට ගෙන ඒම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අරමුණයි. ගෝලීයකරණයේ අහිතකර බලපෑම් වශයෙන් අමෙරිකාවට හා එහි වැඩකරන ජනතාවට මුහුණ දීමට සිදුවු ගැටලු නිරාකරණය කර අමෙරිකානුවන්ට වැඩි සේවයක් සලසන අමෙරිකාවක් බිහි කිරිම ට්‍රම්ප්ගේ අභිලාෂය බව පෙනේ. ඒ හරහා මතුවී ඇති අභියෝගය අමෙරිකාව තුළින් ගෝලීය නිදහස් වෙළෙදාමට තර්ජන එල්ල කරන නව ආරක්ෂණවාදයක් ඉස්මතුවේද යන්නයි.


ඔහු නිදහස් වෙළෙඳ රටාවට අභියෝගි කරන්නේද යන්න ගැන ප්‍රශ්නයක් මතුව ඇත්තේ ට්‍රාන්ස් පැසිෆික් වෙළෙඳ සම්මුතිය අහෝසි කිරීමත් අනෙකුත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ගැන යළි සලකා බැලිමට ගෙන ඇති තීරණයත් හේතුවෙනි. ලිබරල් ධනවාදී ආර්ථික රටාවේ බල කේන්ද්‍රය වන අමෙරිකා එක්සත් ජනපදය සම්පුර්ණයෙන්ම ආරක්ෂණවාදයක් කරා ගෙනයාමට ට්‍රම්ප් වැනි ව්‍යාපාරිකයෙකු උත්සුක වේද යන්න ප්‍රශ්න කළ යුතුය. දැනට මතුපිටින් පෙනෙන පරිදි ට්‍රම්ප්ගේ අවශ්‍යතාව වී ඇත්තේ නිදහස් වෙළෙඳාම හා ගෝලීයකරණය තුළින් අමෙරිකාවට වී ඇති හානි අවම කිරිම මිස පුර්ණ නිදහස් වෙළෙදාමෙන් තොර ලෝකයක් හදුන්වාදීම නොවන බවක් හැඟී යන්නේය.


එසේ නම් ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධී වැඩපිළිවෙළ අයත් වන්නේ මේ ජාතිකවාදි ධනවාදී ගමනේ කුමන අන්තයටද? අමෙරිකාව යනු සංක්‍රමණික ජාතින්ගෙන් සැදුම්ලත් දේශයකි. ඒ ගැන කිසිදු විවාදයක් නැත. අමෙරිකාවේ සැබෑ අයිතිකරුවන් වන්නේ දැනට ඉතා සුළුතරයක් බවට පත්ව ඇති රතු ඉන්දියානු ගෝත්‍රිකයන් පමණි. එහෙත් දැනට අමෙරිකාවේ බහුතර හා බලවත් ජනකොටස වන සුදු ජාතිකයන්ගේ ස්ථාවරය වන්නේ සංක්‍රමණිකයන් නිසා තම රැකියා හා ආර්ථික ශක්තියත් අන්‍ය ආගමිකයන් හරහා සංස්කෘතිකමය පදනමත් දෙදරා යන බවයි. එමෙන්ම ඉස්ලාමීය රැඩිකල් කණ්ඩායම් වලින් අමෙරිකාවට ප්‍රබලතම තර්ජනය එල්ල වන බව ට්‍රම්ප්ගේ පිළිගැනිමයි.


ඔහු අමෙරිකාව හා රුසියාව අතර සාම්ප්‍රදායික එදිරිවාදිකම් පසෙකට ලෑමේ මුලික අරමුණද රැඩිකල් ඉස්ලාමීය බලවේග වලට එරෙහිව සටන් කිරීම බව ට්‍රම්ප්ගේ විවිධ ප්‍රකාශ තුළින් තහවුරු වේ. තමා මුස්ලිම් රටවල් හයක වැසියන්ට තහනමක් පැනවූයේ මුස්ලිම් විරෝධයක් නිසා නොව අමෙරිකාව ත්‍රස්තවාදී බලවේග වලින් බේරාගැනීමට බව ට්‍රම්ප් තම විවේචකයන්ට පිළිතුරු ලබාදෙමින් පැවසීය. සුප්‍රකට අමෙරිකානු දේශපාලන විද්‍යාඥ සැමුවේල් පී හන්ටින්ටන් 1996 දි රචිත “ක්ලෑෂස් ඔෆ් සිවිලයිසේෂන්ස්” ග්‍රන්ථයේ සඳහන් පරිදි බටහිර හා ඉස්ලාමිය ලෝකය අතර ගැටුම ට්‍රම්ප් යුගය තුළින් වඩාත් තිව්‍ර හා උච්ච තලයට පැමිණෙන්නේද යන්න සලකා බැලිය යුතුය. එක මකුණෙකු කෑ කල සියලුම මකුණන් මැරිමේ ප්‍රතිපත්තියක් මුස්ලිම්වරුන් සමිබන්ධයෙන් ක්‍රියාත්මක වීමට ට්‍රම්ප් ගෙන ඇති තින්දුවේන් අමෙරිකාව තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයකට පත්වන ලකුණු පළවේ. ට්‍රම්ප්ගේ පිළිවෙත අනුව මේ ජනයාට දැනෙන්නේ තමන් තවදුරටත් අමෙරිකානුවන් නොවන බවකි. එසේම ඒ හරහා ඔවුන් තුළ අමෙරිකානු ක්‍රමයට එරෙහිව ස්වාභාවික විරෝධයක් ඉස්මතුවිම නොවැළැක්විය හැක්කකි.


එහි අවදානම වන්නේ අමෙරිකාවට පිටතින් ත්‍රස්තවාදීන් නොපැමිණුනත් අවතක්සේරුවට ලක්වන මුස්ලිම් ප්‍රජාව අතරින් අයි එස් මතධාරීන් බිහිවිමේ අවදානමයි.


ජනාධිපති ට්‍රම්ප් අමෙරිකානු ක්‍රමය තුළ සරණාගතයන්ට සහන සලසන ක්‍රමවේදයන්ට වැටබැඳීමටද සිය පළමු සතිය තුළ පියවර ගත්තේය. ඒ නීතිවිරෝධි සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ ඉල්ලීම සලකා බැලෙන තෙක් අමෙරිකානු සමාජය තුළ නිදැල්ලේ සිටීමට ඉඩ සැලසෙන නීතිරීති පවත්වාගෙන යන නගර හා ප්‍රාදේශීය ආයතනවලට රාජ්‍ය අරමුදල් කපාහැරීමය.


යළි රාජ්‍ය මුදල් ලබාගැනීමට නම් නීතිවිරෝධි සංක්‍රමණිකයන් අල්ලා සිරගත කිරිමට එම ප්‍රාදේශිය පාලනයන්ට සිදුවේ. ඇතැම් ප්‍රාදේශීය ආයතන ජනාධිපතිවරයාගේ නියෝගය පිළිගනිමින් සංක්‍රමණික පිළිවෙත වේනස් කිරීමට එකඟ විය. එම ආයතන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංක්‍රමණිකයන් දමනු ලබන සිරගෙවල් නඩත්තු කිරීමට අමතර අරමුදල්ද සපයන ලෙසයි.

තිළිණි ද සිල්වා