ජනපති පුටුවට බිමින් නොව උඩින් ගිය ඇමෙරිකාවේ ව්‍යාපාරික ලෝකයේ සන්දන්තයකු වූ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අලු‍ත්ම පිම්ම ගැන මෙවර ‘දියත’ ඔස්සේ දිගහැරේ.


තම අභිමානය පෙරදැරි කරගනිමින්, ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කරලීමේ අරමුණින් ඇමෙරිකානුවෝ ඔවුන්ගේ 45 වැනි ජනපතිවරයා තෝරා ගත්හ. ඒ, ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු දේශපාලන පසුබිමක් නොමැති ව්‍යාපාරිකයෙකි. ඔහු හමුදා නිලධාරියකු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ නොවේ. මෙවැනි අයකු ජනපති ධුරයට පත්වුණු පළමු අවස්ථාව මෙයයි. එනිසාම මෙය ඓතිහාසික අවස්ථාවකි. 


බදු වංචාකාරයෙක්, කාන්තා ලෝලියෙක්, කාන්තාවන්ට නිගරු කරන්නෙක් ආදී විවිධ නම්වලින් හඳුන්වමින්, නිසි දේශපාලන දැක්මක් නැතැයි හා පැහැදිලි ප්‍රතිපත්තියක් නැතැයි බොහෝ දෙනාගේත් ජනපති ධුරයෙන් සමුගන්නා පළමු කළු ජනපති බැරැක් ඔබාමාගේත් හාස්‍යයටත් උපහාසයටත් ලක් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිර සටන ජයගනිමින්, ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ ඇමෙරිකානුවන් පමණක් නොව, සෙසු ලෝක වාසීන් ද මවිතයට පත් කරමිනි.


ලෝකෙට ලොක්කා යනුවෙන් හැඳින්වෙන ඇමෙරිකන් ජනාධිපති ජාත්‍යන්තර නායකයෙකි. ලොව සියලු‍ම ජගත් සංවිධාන පසුපස සිටින්නේත්, එම සංවිධාන පවත්වාගෙන යෑමට සියලු‍ පියවර ගන්නේත් මූල්‍ය ආධාර දෙන්නේත් ඇමෙරිකා ජනපතිවරයාය. ලෝක යුද්ධ ආරම්භ කරන්නේත්, අවසන් කරන්නේත් ඇමෙරිකන් ජනපතිවරයාය. ලෝක සාමය තීරණය කරන්නේ ද ඇමෙරිකන් ජනාධිපතිවරයායි. දැන් එම ධුරය හිමිවී ඇත්තේ ව්‍යාපාර මනසකින් යුත් ඩොනල්ඞ් ට්‍රම්ප්ටය.


ඇමෙරිකාව යළිත් ශේෂ්ඨත්වය කරා ගෙන යනවා යැයි ඇමෙරිකන් ජනතාවට පොරොන්දුවක් දී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක බලවතා ලෙස කුමක් කරාවිද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු අනතුරු අඟවා තිබුණු අන්දමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලෝකය විනාශ කරාවිද? තෙවැනි ලෝක යුද්ධයකට මුල පුරාවිද? සංක්‍රමණික අර්බුදය අවුල් ජාලයක් කරාවිද? රුසියාව සමඟ මිතුරු වී, උතුරු කොරියාවට බුරුළක් දේවිද? 


මේ මොහොතේ කාගේත් සිත්වලට නැගෙන්නේ මෙවැනි ප්‍රශ්නය. කිසිදු දේශපාලන පසුබිමක් නොමැති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනපති ධුරයට පත් වෙද්දී, ජනපති ආර්යාවක, සෙනෙට් මන්ත්‍රීවරියක, රාජ්‍ය ලේකම් වරියක ද වන ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන් පරාජයට පත්වූයේ, ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමට අවස්ථාව ලැබ එය ගිලිහුණු කාන්තාව වශයෙනි.


හිලරි ක්ලින්ටන් ජනපතිවරණයට පිවිසුණේ පැහැදිලි දැක්මක් සහිතවය. ආරම්භයේ දී ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ගේ සහාය පවා ඇයට හිමිවිය. ඒත්, හිලරිට අවාසියක් විය. ඒ, 2008 වසරේ ඔබාමා ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී, ඔබාමාගේ රාජ්‍ය ලේකම්වරිය වූයේ හිලරිය.


හිලරි, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සියලු‍ තොරතුරු රාජ්‍ය රහස් සිය පෞද්ගලික ඊ මේල් හරහා පරිශීලනය කළාය. මෙය බරපතළ වරදක් විය. මෙම ඊ මේල් අවභාවිතය ගැන අනාවරණය වූයේ හිලරිගේ පෞද්ගලික ඊ මේල් පරිගණක දත්ත සොරකු (හැකර්වරයකු) විසින් සොරා ගනු ලැබීමත්, විකිලීක්ස් වෙබ් ජාලය ඔස්සේ ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟය.


හිලරි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කරද්දී, ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට කැරැලිකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය. ඒ, 2012 වසරේදීය. ඒ වනවිට ඇමෙරිකාවේ සහාය ඇතිව ලිබියානු විපක්ෂ කැරැලිකරුවෝ ලිබියා නායක මුවම්මාර් ගඩාෆි මරා දමා රටේ බලය අල්ලා ගෙන සිටියහ. ඇමෙරිකාවේ සහාය ඇතිව ලිබියානු විපක්ෂය රජයක් පිහිටුවා තිබුණ ද ගඩාෆිට එරෙහිව සටන් වැදුණු සෙසු ඉස්ලාමීය කල්ලි (අයි. එස්. අයි. එස්. ත්‍රස්ත සංවිධානයත් මේ අතර සිටී) මෙම ලිබියා රජයට එරෙහිව යන්නට වූහ.


බෙන්ගාසි නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩා වැදී ඇමෙරිකන් තානාපති ක්‍රිස්ටෝපර් ස්ටීවන්ස් ඇතුළු ඇමෙරිකානුවන් සිවු දෙනෙකු මරා දැමීමට මෙම සන්නද්ධ කල්ලි කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් පසු, හිලරි ක්ලින්ටන්ට සෙනෙට් කමිටුවක් හමුවේ පෙනී සිටිමින් වග උත්තර බැඳීමට සිදුවූවාය. එහිදී හිලරි නිර්දෝෂී වුවත්, බෙන්ගාසි තානාපති කාර්යාලයට එම ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල විය. මෙය හිලරිට කළු පැල්ලමක් විය.


ජනපතිවරණයට ඔන්න මෙන්න තිබියදී ද හිලරිගේ ඊ-මේල් අවභාවිතය සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් ආරම්භ කිරීමට එෆ්. බී. අයි. කාර්යාංශය කටයුතු කළේය. බදු වංචාකාරයකු කියාත්, කාන්තාවන්ට නිගරු කරන්නෙක් කියාත් ගැහැනු පෙරේතයකු කියාත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොතෙක් චෝදනා එල්ල වුවත්, ඊ මේල් අවභාවිතය සම්බ්න්ධයෙන් හිලරි ක්ලින්ටන්ට ඇමෙරිකන් ජනතාවගෙන් කිසිදු සමාවක් ලැබුණේ නැත. එය ඇයට එල්ල වුණු දෙවැනි කළු පැල්ලමයි. ඇය ලැබූ පරාජයෙන් එය පැහැදිලිය.

 

තිළිණි ද සිල්වා