තමන්ගේ ජනපති ගැන අමෙරිකානුවන්ට ආඩම්බර විය හැකි පරිදි ධුරයේ කටයුතු කරන බවද ට්‍රම්ප් මේ පළමු කතාවේදී කීවේ සැබෑ වෙනසක් කිරීමට සූදානම් බව ඉඟි කරමින්. ලෝක ප්‍රජාවට ඔහු ලබාදුන් පණිවිඩයද වැදගත්ය. සෑම ජාතියක් සමඟම සමානව කටයුතු කිරීමට, ගැටුම් ඇතිකර නොගෙන ක්‍රියා කිරීමට අමෙරිකාව සූදානම් බව ඔහුගේ අදහසය. මෙතෙක් අප වැනි රටවල් සම්බන්ධයෙන් මානව හිමිකම් ආදී කාරණා මුල්කරගනිමින් අමෙරිකාව බැලූ දෘෂ්ටිකෝණය ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ යම් වෙනසකට බඳුන් වේ යැයි අපේක්ෂා කළ හැකිය.


රිපබ්ලිකන්, ඩිමොක්‍රටික් පක්ෂ දෙකෙන් කවරක් බලයට පත්වූවද අමෙරිකානු දේශපාලනයේ හෝ ඔවුන්ගේ ආරක්ෂක විදේශ ප්‍රතිපත්තීන්ගේ විශාල වෙනසක් සිදුවන්නේ නැත. එහෙත්, දේශපාලනඥයකුද නොවන ට්‍රම්ප්ට අවශ්‍යනම් යම් වෙනසක් කළ හැකිය. එය මේ වනවිට ඇමෙරිකාව තුළ සිදුවෙමින් පවතින්නක් බවද පැවසිය යුතුමය. ඔබාමාගේ වෙනස මෙන්ම ට්‍රම්ප්ගේ වෙනස ද වචන ගොඩක් පමණක් වේ දැයි ඉදිරි වසර දෙක, තුන තුළ දැකගත හැකියි.


පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් කොතෙක් සමාජ කතිකාවට ලක්වීද යන්න කියතොත්, ට්‍රම්ප් තරමටම ඔහුගේ මහා ධනස්කන්ධය සමාජයේ විවාදයට බඳුන් විය.


බොහෝ ව්‍යාපාර දියුණු කරන්නට ට්‍රම්ප් මහා පරිමාණ වශයෙන් බැංකු ණය ලබාගෙන ඇති බව බ්ලු_ම්ස්බර්ග් වාර්තාවක සඳහන්ව ඇත. පසුගිය වසරේ සිට බැංකු ණය ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 350 සිට අමෙරිකා ඩොලර් මිලියන 630 දක්වා රොකට් වේගයෙන් ඉහළ ගිය බවත් ඒ වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම අමෙරිකා ඩොලර් මිලියන 50කට අධික මුදලක් ජනාධිපතිවරණ සටනට ට්‍රම්ප් ලබාගෙන තිබෙන්නේද ස්වකීය ව්‍යාපාරවලිනි. බ්ලු_ම්ස්බර්ග් දක්වන කාරණාවලට අනුව ජනාධිපතිවරණයට ලබාගත් මුදල නැවත හිලව් කරන්නේ කෙසේද යන්න ගැන ට්‍රම්ප් කිසිදු සැලසුමක් සකසා නැත. මෙවැනි සැලසුමක් නැති වැඩ නිසා ට්‍රම්ප්ට අයත් කොම්පැනි විශාල සංඛ්‍යාවක් මෙයට පෙර හයවරක් පාඩු ලැබූ බව “පොලිටිෆැක්ට්” වෙබ් අඩවිය පෙන්වා දෙයි.


ජනාධිපතිවරණ ඡන්ද සටන අතරතුර කියූ ඇතැම් දේ නිසා ඩොනල්ඞ් ට්‍රම්ප් මඩ නාගත් අවස්ථා නැතිවාම නොවේ. ඉස්ලාමික සරණාගතයන්ගේ ඇමෙරිකා සංක්‍රමණ, ඇෆ්ඝනිස්ථාන යුද්ධය යනාදී කාරණා ගැන කතාකරන්නට ගොස් ට්‍රම්ප් හොඳටම එරුණු අවස්ථා ඇත. ඒ හැරුණුවිට මාධ්‍ය සම්මුඛ සාකච්ඡා සහ මැතිවරණ රැලිවලදී ඔහු කියා සිටි ඇතැම් කාරණා සම්බන්ධයෙන් මහජන විරෝධය මතුවුණු අවස්ථා ද එමටය. ඒ විරෝධයන් දුරදිග ගිය අවස්ථා ද නැතුවාම නොවේ. ඉස්ලාමිකයන් අමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ යුතු යැයි කළ ප්‍රකාශය එහිලා ප්‍රමුඛය. මේ නිසා මැදපෙරදිග සහ ලොව සෙසු ඉස්ලාම් ජනයාගේ හොඳ හිත දිනාගනිමින් ඔවුන් සමඟ සුහදව කටයුතු කරන්නට තිබුණු අවස්ථාව ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වන්නටත් පෙර ම නැති කරගත්තේද යන සැකය මතුවේ.


ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වූ දා සිට මනෝවිද්‍යාව පිළිබඳ උගතුන් ට්‍රම්ප්ගේ පෞරුෂත්වය ගැන වැඩි වැඩියෙන් කතා කරන්නට පටන් ගත්හ. “චිකාගෝ ටි්‍රබියුන්” වෙබ් අඩවිය ට්‍රම්ප්ගේ පෞරුෂත්වය ගැන දීර්ඝ විග්‍රහයක් කර තිබිණ. එහි අඩංගු කාරණා අනුව ට්‍රම්ප් විසංවිධානය වූ පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයෙකි. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පෞරුෂත්වය ගැන කතාකරන තවත් බොහෝ දෙනකු කියන්නේ ඔහු පෞරුෂ විසංවිධානාත්මක (භ්රජසිසිඑසජ චැරිදබ්කසඑහ ාසිදරාැර) තත්ත්වයෙන් පෙළෙන බවකි. ජනාධිපතිවරයෙකු කියැවීමට සහ හැදෑරීමකට යොමු විය යුතු බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. නමුත් ජනාධිපතිවරයකුවීමේ මඟට පිළිපන් ට්‍රම්ප් ස්වභාවයෙන්ම කිසිවක් කියවන්නේ නැති තමන් දන්නා දෙයින් පමණක් යැපෙන කෙනකු බවත් එහි දැක්වේ. එමෙන්ම ට්‍රම්ප් සංවේදී බවෙන් අඩු පුද්ගලයකු ලෙස චිකාගෝ ටි්‍රබියුන් වෙබ් අඩවියට ලිපියක් ලියන ජෙනිෆර් රුබින් සඳහන් කර තිබුණි.


ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන හැරල්ඞ් බොර්ස්ටෙයින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වරක් කතාකර තිබිණ. ඒ වාර්තාවට අනුව ට්‍රම්ප්ගේ රුධිර පීඩනය, අක්මාවේ තත්ත්වය මෙන්ම තයිරොයිඞ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයද සාමාන්‍ය මට්ටමක පවතී. වෛද්‍ය වාර්තාවේ කොතැනකවත් ට්‍රම්ප් රෝගියකු බව පෙන්වා දී තිබුණේ නැත. තමන් මත්ද්‍රව්‍ය මත යැපෙන්නකු නොවන බව ට්‍රම්ප් අවස්ථා රැසකදී තහවුරු කර තිබීම ඔහුගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇති තවත් වැදගත් කාරණයකි. අඩු තරමින් තමන් මධ්‍යසාර හෝ දුම්වැටි භාවිතයට ගෙන නොමැති බව රූපවාහිනි වැඩසටහන් කිහිපයකදීම හෙතෙම අවධාරණය කර තිබිණ. නමුත් ට්‍රම්ප්ගේ ඇවතුම් පැවතුම් ගැන කතා කරන කවුරුත් කියන්නේ ඔහු විෂබීජවලට බියේ ජීවත්වන මිනිසෙකු බවයි. මේ නිසා හෙතෙම අනෙක් අයට අතට අත දී ආචාර සමාචාර පවත්වන්නට යන කෙනකු ද නොවේ. මේ භීතිකාව මෙන්ම විසංවිධානාත්මක පෞරුෂ තත්ත්වය ලොව බලවත්ම රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ භූමිකාවට කෙතරම් බලපෑමක් එල්ල කරයිද යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇත.

තිළිණි ද සිල්වා