ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඉතා ශූර ලෙස ආමන්ත්‍රණය කරන ලද්දේ බහුතරයක් ඇමෙරිකානුවන් තුළ පැවැති මෙම මානසිකත්වයටය යන්න ඉතා පැහැදිලිය. ඔහු දේශපාලන අත්දැකීම් අඩු, ඉවසිලිවන්තභාවයක් නැති, කටට එන දෙයක් කියන, ජනාධිපති පදවිය වැනි භාරදූර පදවියකට සුදුසු නැති විහිළුකාරයෙකු යැයි ඇතැමුන් දරුණු විවේචන එල්ල කළද ජනතාව තුළ මෙම ක්‍රමයට සහ එහි සම්ප්‍රදායන්ට එරෙහිව පැවැති  ඉහත කී විරෝධය හමුවේ ඔවුන්ට ට්‍රම්ප් විහිළුකාරයෙකු නොව වීරයෙකු බවට පත් විය. ජනතාවගේ පැත්තෙන් ගත් කල මෙය ඇමෙරිකාවේ අධිපති ක්‍රමයට එරෙහිව ගැසූ කැරැල්ලක් වශයෙන් වුවද හැඳින්වනු ලැබේ.


ට්‍රම්ප් මෙම ජයග්‍රහණය ලැබුවේ ඔහුගේම පක්ෂය වූ රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවා ප්‍රතිපත්තිමය හේතු මත ඔහුට සහය දීමෙන් වැළකී සිටි පසුබිමක් යටතේ යැයි යන්නද අමතක කළ හැකි නොවේ. ඒ නිසා මෙය තනිකරම බහුතර ජනතාවගේ මානසිකත්වය හා අවශ්‍යතාවන් මත විශ්වාසය තබා කටයුතු කිරීමෙන් ලැබූ ජයග්‍රහණයකි.


කෙසේ වෙතත් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වූ හිලරි ක්ලින්ටන්ද කරට කර තරගයක් ලබා දුන් බවද අමතක කළ හැක්කක් නොවේ. දෙදෙනාම කරට කර තත්ත්වයට පත්වීම තුළ ඇමෙරිකානු සමාජයේ පවතින ධ්‍රැවීකරණය, බෙදීම ඉතා පැහැදිලිව හඳුනාගත හැකි වීමද විශේෂත්වයකි.


සාම්ප්‍රදායික ඇමෙරිකානු වටිනාකම් ලෙස පෙන්වන්නට හදන ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සුළු ජාතීන්ගේ අයිතීන්ට ගරු කිරීම ආදිය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන ලිබරල්වාදී ඇමෙරිකානුවන් වඩාත් කැමැත්ත දැක්වූයේ හිලරිට බව පැවැසිය හැකිය.


විශේෂයෙන්ම මුස්ලිම් සංක්‍රමණිකයින්ගේ පැමිණීමට එරෙහිව ට්‍රම්ප් පළ කළ අදහස් නිසාත්, ඇතැම් විට කාන්තාවන්ට සහ කාන්තා ප්‍රශ්නවලට අදාළව ඔහුගේ ප්‍රකාශ ආදිය නිසාත් ඉහත කී ලිබරල්වාදීන් අතර ඔහු සැලකුණේ පටු අදහස් ඇති, ඇමෙරිකාවේ අනන්‍යතාවට නොගැළපෙන, කලබලකාරයෙකු වශයෙනි. මෙවැනි පිරිස් අතර හිලරි වැඩි ප්‍රසාදයක් දිනාගත් බව සඳහන් කළ හැක. එසේම සුළු ජාතීන්ද විශාල වශයෙන් හිලරිට ඡන්දය  දී ඇති ආකාරය පශ්චාත් ජනාධිපතිවරණ විශ්ලේෂණයන්හිදී ප්‍රකාශයට පත්විය. ට්‍රම්ප්ට ඡන්දය දුන්නේ බහුතරයක් වන ඇමෙරිකානු සුදු ජාතිකයින්ය.


එසේම ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්ති (ඇමෙරිකාවේ පරම සතුරෙකු ලෙස බොහෝ දෙනා සලකන) රුසියාවට හිතකර ඒවා බවටද, මේ නිසා රුසියාව ට්‍රම්ප් ජනාධිපති කරන්නට කුමන්ත්‍රණය කරමින් සිටින බවටද එල්ල වූ විවේචනද ඇතැමුන් හිලරිගේ දිශාවට නැඹුරු කරන්නට හේතු වූවා විය හැකිය. ඒ අතර බැරක් ඔබාමා ද සාපේක්ෂ වශයෙන් ගත් කල ඇමෙරිකාවේ ජනප්‍රිය ජනාධිපතිවරයෙකු වන නිසා ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට හිලරි පියවර ගනු ඇතැයි යන විශ්වාසය නිසාද ඇතැමුන් ඇයට ඡන්දය දෙන්නට ඇත.


කෙසේ නමුත් ඇයට එරෙහිව එල්ල වූ කුප්‍රකට ඊමේල් සිද්ධිය පිළිබඳ චෝදනා නිසා විශාල පිරිසක් හිලරි සැලකුවේ විශ්වාසය තැබිය නොහැකි අපේක්ෂිකාවක වශයෙනි. එමෙන්ම ඇය ඇමෙරිකාවේ පවතින ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින, ව්‍යාපාරික පැලැන්තියට වැඩි සමීපත්වයක් දක්වන, ජනතාවගේ අවශ්‍යතාවන්ට වඩා එම පැලැන්තියේ අවශ්‍යතාවලට මුල් තැන දෙන කපටි තැනැත්තියකි” යන හැඟීමක්ද සමාජගතව තිබූ බව පෙනී යයි. 


කෙසේ හෝ වේවා විදෙස් මාධ්‍යවල සඳහන් වන්නේ හිලරි ක්ලින්ටන් ට්‍රම්ප්ට දුරකථනයෙන් කතා කර ඔහුට සුබ පැතීම පිළිබඳ පුවතයි. ඊළඟට පෙන්වූයේ ට්‍රම්ප් සිය ජයග්‍රහණයෙන් පසු සිය ආධාරකරුවන් හමුවේ ස්තුති කතාවක් කරන අන්දමයි. ඔහු එහිදී මුලින්ම කළේ හිලරි ක්ලින්ටන්ගේ සටන්කාමීත්වය සම්බන්ධයෙන් ඇය අගය කිරීමයි. එමෙන්ම පසුගිය වසර ගණනක් පුරා ඇය අතින් ඇමෙරිකාවට ඉටු වූ සේවය ගැන ඇයට ප්‍රශංසා කිරීමයි. අනතුරුව ඔහු පවසා සිටියේ දැන් පරණ මතභේද සහ බෙදීම් ඉවත දමා සියලු දෙනා එකමුතුව රට ගොඩනැගීමේ අවශ්‍යතාව ගැනයි. ජාතිකවාදී, ජාතිවාදී නැඹුරුවක් සහිත ට්‍රම්ප් බලයට පත් වුවහොත් රටේ වාර්ගික, සංස්කෘතික බෙදීම් වැඩි වනු ඇතැයි යනුවෙන් ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා නිශේධනය කරන්නට මෙම කතාවේදී ට්‍රම්ප් යම් උත්සාහයක් ගත් බවද දැකගත හැකි විය.


ඔහු ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ මොනවා කීවද මෙම ධුරයට පත්වීමෙන් පසු ඒ කියූ ආකාරයෙන්ම කටයුතු කරන්නට හැකි වනු ඇත්ද යන්න නිශ්චිතව පැවැසිය හැකි නොවේ. ඇමෙරිකාවේ ව්‍යාපාරික, ධනපති පැලැන්තියේද, විවිධ අධිපති ආයතනවලද, බලවේගවල සහ යාන්ත්‍රණයන්ගේද බලපෑම සමග ගනුදෙනු කරන්නට ට්‍රම්ප්ට නිසැකවම සිදුවන බැවිනි. මේ සියල්ල කළමනාකරණය කරමින් ඔහු, සිය ජනාධිපතිවරණ සටන තුළ පොරොන්දු වූ පරිදි ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ කෙසේද යන්න කවුරුත් කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයක් වනු ඇත.


ට්‍රම්ප්ගේ ජනපතිවරණ සටනේ තවත් සුවිශේෂි තොරතුරු රැසක් ඉදිරියට...

 

තිළිණි ද සිල්වා