බලාපොරොත්තු නොවුණු ලෙස මාවෝ පිටත්ව යාමෙන් ස්වභාවයෙන් සිදුවන්නාක් මෙන් ජියැන්ග් කෝපාවිෂ්ට වූ අතර ඇය ඇගේ කෝපය මුදා හැරියේ ඇගේ සේවකයින් මතටය. කිසිදු දැනුවත් කිරීමකින් තොරව ඇය මෙය කිහිපවතාවක්ම කළාය.

අත්තනෝමතික ලෙස කෝපයෙන් කඩාපැන්න මෙවන් එක් සිද්ධියක් බිජිංහිදී සිදුවිය. ඒ සිදුවුණු දේ මෙයයි.


දිනක් ලී ලියන්චෙන්ග් ජියැන්ගේ කාමරයට ඇතුළුවන්නාත් සමග ඔහුට එල්ලවුණේ ජියැන්ගේ කෝපාවිෂ්ට කෑ ගැසිමකි. “යනවා යන්න මෙතැනින්. කාමරයට ඇතුළු වෙන්න ඉස්සර තමුන්ගේ සපත්තු ගලවලා එනවා.” එම නියෝගයට අනුව පසුබැස්ස ලී ඔහුගේ සපත්තු ගලවා දමා දෙපයේ මේස් පිටින් ආපසු ඇතුළුවිය.


කන්නාඩිය ඉදිරියේ කොණ්ඩය පීරමින් සිටි ජියැන්ග් නැවතත් කේන්තියෙන් කතා කරන්නට විය. “තමුන්ගේ ඔය බර අඩි සද්දේ මට දරා ගන්න බෑ. තමුන් ඇවිදින්නේ කිසිම ගරුසරුකමක් නැතිවයි.” ලී බිම බැලුවේය. බිමට එලා තිබුණු පලස අඟලකටත් වඩා ඝණ කමින් යුත් එකකි. ඒ මත වීදුරුවක් වැටුණත් කිසිදු හඬක් ඇති නොවේ. එම අවුරුද්ද මුලදී ජියැන්ග් මා සහ ලී සමග එක්ව ලින් බියාඕ හමුවන්න ගියාය. ඇගේ ගමනේ අරමුණ වූවේ සෞඛ්‍ය නංවා ගැනීම පිළිබඳව ඔහුගෙන් උපදෙස් ලබා ගැනීමය. කරුණු තුනකින් ඈත්ව සිටින ලෙසට ලින් එහිදී ඇයට උපදෙස් දුන්නේය. ඒ, හිරු එළියෙන්, ශබ්ද වලින් සහ ශිතල සුළඟින්. මෙය සාර්ථක කර ගැනීම පිණිස ජනෙල් තිර රෙදි කාලවර්ණයෙන් යොදන ලෙසත්, සම ශීතෝෂ්ණය පවත්වාගෙන යන ලෙසටත් ඔහු පැවසුවේය. ඊට අමතරව කාමරයේ බිම් පලස් එළන ලෙසටත් ඔහු උපදෙස් දුන්නේය. එතැන් සිට ජියැන්ග් කොහේ සිටියත් නිහඬබව රැක ගැනීම සඳහා ඇගේ කාමරයේ බිමට කාපට් එළා පිළියෙල කෙරිණි.


“එළියෙ ශීතලද?.”කන්නාඩිය අතරින් ලී දෙස බලමින් ජියැන්ග් ඇසුවාය.


“නෑ. ශීත නෑ, ජියැන්ග් කුයින්ග් සහෝදරිය.”


“එහෙනම් මම ඇවිදින්න යන්න ඕනැ.”කොණ්ඩය පීරා අවසානයේ නැගී සිටි ජියැන්ග් කීවාය.


ඇය කාමරයේ දොරින් පිටවන්නාත් සමග කෝපාවිෂ්ටව යටි ගිරියෙන් මෙන් කෑ ගසන හඬ ලී ට ඇසුණි. “මෙච්චර ශීත තියෙද්දි ශීත නෑ කියලා කීවේ කොහොමද?.”


“එහෙනම් මම ඔබතුමියට තවත් ඇඳුමක් ගෙනත් දෙන්නද?.” ලී කලබලයෙන් ඇසුවේය. “අද හොඳ සෞම්‍ය දවසක් මම හිතුවේ ඔබතුමිය හිරු එළියට එක්ක යන්නයි.”


“ඇත්තටම තමන් අදහස් කළේ ඒකද?. සම්පූර්ණයෙන්ම බොරු. මම ශීතලට අහුවෙනවා බලන්නද තමන්ට ඕනැ කළේ?.” ඇය එසේ කියමින් කාමරයට ඇතුළුවී තදින් දොරවසා ගත්තාය. එදින ඇය ඇවිදින්නට නොගියාය.


ලී ගේ මුවට උපහාසාත්මක සිනාවක් නැගුණේ ජියැන්ග් ගැන අනුකම්පාවකුත් සමගිනි. හැම කෙනෙක්ම ඇගෙන් ඈත්ව සිටින්නට උත්සාහ කිරීමත් සමග ජියැන්ග් තුළ නුරුස්සනා ගතිය මෙන්ම හුදකලාබවත් වර්ධනය විය. ඇගේ කෝපාවිෂ්ට බව වැඩිවන්නාත් සමග හැමදෙනෙක්ම වාගේ වඩ වඩාත් ඇය මග හරින්නට උත්සාහ කළහ. වහා ලී කැඳවාගෙන එන ලෙස ජියැන්ග් ඇගේ හෙදිය පිටත්කර හැරියාය. “ජියැන්ග්ට කාඞ් සෙල්ලම් කරන්න ඕනැලු. ඉක්මනට එන්න.”


නිකරුණේ කාලය ගතකළ නිසා ජියැන්ග් වෙනත් දෙයක් නොකර මු`එ දවස පුරාම කාඞ් සෙල්ලමේම නිරතවිය. ඇය පරාජයට අකමැතිවිය. නිතරම දිනන්නටම උවමනා විය. ඒත් ලෙහෙසියෙන් නොව අමාරුවෙනි. ඇය සමග කාඞ් සෙල්ලමේ යෙදීම මහ එපා කරපු වැඩකි. මේ සෙල්ලම කරණ අතරතුරේදි ලී වැරදි වංශයට අයත් කාඞ්පතක් ගැසීමෙන් ජියැන්ගේ ඉවසීම අවසන්විය.


“යනවා මෙතැනින් යන්න. මට තමුසේ එක්ක සෙල්ලම් කරන්න ඕනැ නෑ.” ජියැන්ග් කෝපයෙන් කෑ ගැසුවේ කාඞ් අත මේසය මතට වීසි කරමිනි. එසැණින් ලී කාමරයෙන් පිටවෙන විට ඇය නැවත මහ හඬින් කතා කළාය. “එහෙම ලේසියෙන් තමුසෙට යන්න දෙන්න බෑ. එහාට වෙලා හිටගෙන ඉන්නවා. තමුසෙට දෙන දඬුවම ඒක තමයි.”

ආරියනන්ද දොඹගහවත්ත