ආර්ථික වශයෙන් නොදියුණු, දේශපාලනමය වශයෙන් කැබලිවලට බෙදනු ලැබූ අවධියෙහි ජර්මනියේ ශ්‍රමික බහු ජනතාව දෙයාකාර පෑගීමට භාජනය වූහ. එක් අතකින් රදලවාදී සම්බන්ධතාවන්ගේ නටබුන්ය. අනික් අතින් උපත ලබමින් සිටින ධනපති ක්‍රමයය. 1830 ගණන්වල අවසාන භාගයේ සහ 1840 මුල් භාගයේදී ජර්මනියේ පොදු ජනතාව අතර අසතුට අති විශාල වශයෙන් වැඩි විය. කම්කරු පංති ව්‍යාපාරය ජනිත විය. ධනපති පංතිය සහ බුද්ධිමතුන් අතර විවිධ විරුද්ධ පාක්‍ෂික ප්‍රවණතාවන් ඇති විය.


1842 දී කාල් මාක්ස් බොන් නුවරට ගියේ බොන් විශ්ව විද්‍යාලයේ උප මහාචාර්යවරයෙකු වශයෙන් පත්වීමක් ලබන අදහසිනි. නමුත් එකල ආණ්ඩුවේ ප්‍රතිගාමි ප්‍රතිපත්ති හේතුවෙන් විශ්ව විද්‍යාල වලින් පුරෝගාමි මත දරන මහාචාර්ය වරුන් පන්නා දමන ලදින් ප්රුසියානු විශ්වවිද්‍යාලවල පුරෝගාමි විද්‍යාත්මක චින්තනයට කිසිදු ඉඩක් නොමැති බව මාක්ස්ට පැහැදිලි විය. මේ අනුව ජර්මනියේ ප්‍රතිගාමිත්වයට විරුද්ධව සටන් කිරීම සඳහා මාක්ස් උපයෝගි කරගනු ලැබුවේ විශ්ව විද්‍යාලය නොව පුවත්පතය.


1842 වසරේදී වාම හෙගල්වාදී අදහස් දරන රයින් පළාතේ ලිබරල් ධනේෂ්වර නායකයෝ කිහිප දෙනෙක් විසින් (කැම්ප්හෝසන්වරු, හැන්ස්මන්වරු) කොලොන් නුවර ආණ්ඩු විරෝධි පුවත්පතක් ආරම්භ කළහ. එය ‘රයින් පුවත්පත’ නම් විය. 1842 වසන්තයේ සිට මාක්ස් රයින් පුවත්පතෙහි සංස්කාරක මණ්ඩලයෙහි සමාජිකයෙක් බවට පත්විය. පුවත්පතෙහි ප්‍රතිපත්තිය විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදය දෙසට බර වූවකි. සැබෑ විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් මාක්ස් මෙම පුවත්පතට සැපයූ ලිපි මගින් බහු ජනතාවගේ අයිතිවාසිකම් හා ඵල ප්‍රයෝජන වෙනුවෙන් පෙනී සිටින ලදි. විශේෂයෙන් ‘රයින්ලාන්ටාව’ එනම් රයින් පළාතේ ප්‍රාදේශීය පරිපාලන මණ්ඩලයේ පොදු ජනයා වෙනුවෙන් සේවයේ යෙදී සිටි ආකාරය විවේචනය කරමින් ඔහු ලියුලිපි මහජනතාවගේ අවධානය බෙහෙවින් ඇද ගත්තේය. මාක්ස් විසින් ලියන ලද ලිපි පුවත්පතෙහි ප්‍රගතියට රුකුලක් වුයෙන් 1842 ඔක්තෝබරයේ සිට ඔහුට ප්‍රධාන කතෘ පදවිය පවරන ලදි. රයින්ලාන්ටාවේ විවාදය, දැව සොරකම් කිරීමේ පනත ගැන විවාදය, මෝසල් ලියුම්කරුගේ නිර්දෝෂභාවය ගැන යනාදී ලිපි පෙළක්ම මාක්ස් විසින් මේ පුවත්පතට ලියන ලදි.


කාල් මාක්ස් දේශපාලන හා ආර්ථික ප්‍රශ්න ගැන පාඩම් ඉගෙන ගන්නට ආරම්භ කළ පළමු පාසල රයින් පුවත්පත බව සඳහන් කිරීමෙහි වරදක් නැත. හුදු දේශපාලනයෙන් ආර්ථික සබඳතාවන් විමසා බැලීමටත්, එමගින් සමාජවාදයට හැරෙන්නට තමා පෙලඹුවේ දැව සොරකම් කිරීමේ පනත ගැන තමා විසින් කළ අධ්‍යයනය සහ මෝසල් මිටියාවතේ ගොවියන්ගේ තත්ත්වය ගැන තමා කළ කරුණු සොයා බැලීම යැයි මාක්ස් ඔහුගේ ජීවිතයේ පසු කාලයේ බොහෝ වර කීවේ යැයි එංගල්ස් පවසා ඇත.


රයින්ලාන්ටාවේ හයවැනි විවාදය නැමැති ලිපිපෙළේ තෙවැනි ලිපිය මගින් දැවදඬු සොරකම් කිරීම පිළිබඳ නීතිය වටා ඇතිවුණු විවාදය මාක්ස් විශ්ලේෂණය කළේය. කැලෑ හිමියන්ගේ කෘරත්වය සහ අත්තනෝමතික ක්‍රියා හෙළිදරව් කළ ඔහු ඔවුන්ගේ සුරාකෑමට භාජනය වූ පොදු ගොවි ජනතාව තීරණාත්මක ලෙස ආරක්ෂා කළේය. “මෝසල් ලියුම්කරුගේ නිර්දෝෂිභාවය ගැන” නැමැති ලිපිය මගින් මාක්ස් පොදු ජනතාවගේ දුක ගැන ගැඹුරු අනුකම්පාවක් පෙන්වීය. සත්‍ය සාධක ඉතා පුළුල් ලෙස පාවිච්චි කරමින් මාක්ස් මෙසෙල් හි මුද්‍රිත වචන ගොවීන් විනාශයට මුහුණ පා සිටින අයුරු කදිමට විස්තර කළේය. ප්රුසියානු නිලධාරි පැළැන්තියේ අනුකම්පා විරහිතභාවය සහ ව්‍යජභාවය හෙළිදරව් කළ ඔහු ගොවීන්ගේ නියම තත්ත්වය වසන් කරලීමට ක්‍රියා කළ සැටි පෙන්වීය.


රයින් පුවත්පතේ මාක්ස් ලියු ප්‍රථම ලිපි පුවත්පතක නිදහස නැමැති ප්‍රශ්නයට කැපවිය. සෑම ජෛවමය චින්තනයක්ම මරා දමන ප්‍රතිගාමි පුවත් පාලනයට විරුද්ධව නැගි සිටි මාක්ස්, පුවත්පත ජනතාවගේ අධ්‍යාත්මික කැඩපත වියයුතු බවත්, එය ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ අභිප්‍රායයන් ප්‍රකාශ කළයුතු බවත් පෙන්වීය. පුවත්පත ලාභලබන ව්‍යාපාරයක් හැටියටත් සැලකීම සඳහා වූ හුදු ද්‍රව්‍යමය මාධ්‍යයක් හැටියටත් සැලකීම මාක්ස් කෝපාන්විත ලෙස ප්‍රතික්ෂේප කළේය. ‘ජීවත්වීමට සහ ලිවීමට හැකියාවක්  ලබා ගැනීම සඳහා සත්තකින්ම ලේඛකයා වැටුපක් ලැබිය යුතුය. එහෙත් ඔහු කිසි ලෙසකින්වත් වැටුප් ලබාගැනීම සඳහා ජීවත්වීම හෝ ලිවීම හෝ නොකළ යුතුය” පුවත්පත්වල උසස් ක්‍රියාකලාපය සහ ලේඛකයාගේ උදාර කාර්යභාරය ගැන ස්වකීය සාහිත්‍ය කටයුතුවල මුලාරම්භයේ දී මාක්ස් ඉතා කෙටියෙන් සහ පැහැදිලි ලෙස පැවසුයේ එසේය.
පුවත්පතෙහි කර්තෘවරයා ලෙස මාක්ස් ඉමහත් උත්සාහයක්, අතිවිශාල ඉවසීමක් හා ස්ථිර ගතියක් පෙන්වීය. මේ වන විට රයින් ප්‍රදේශයේ “නැපෝලියන්ගේ නීති සංග්‍රහය” ක්‍රියාවේ යෙදුණු නිසා ප්රුසියාවේ අනෙකුත් ප්‍රදේශවලට වඩා එහි පුවත්පතෙහි නිදහස තිබුණු අතර, එයද නොතකා පුවත් පාලනයේ නිලධාරින්ට විරුද්ධවත්, ආණ්ඩුවේ නිලධාරින්ට හා පුවත්පතෙහි කොටස්කරුවන්ට විරුද්ධවත් දිනපතාම සටන් කිරීමට මාක්ස්ට සිදුවිය.


රයින් පුවත්පතේ ප්‍රතිපත්තිය නිසාත්, එහි බලපෑම ව්‍යාප්ත වීම නිසාත් බිය වූ ප්රුසියානු ආණ්ඩුව පුවත් තහනම හා පාලනය වඩාත් උග්‍රකළ අතර 1843 අප්‍රේල් 1 දින සිට එම පුවත්පත මර්දනය කිරීමට 1843 ජනවාරි 19 වැනි දින නියෝග කළේය. වඩාත් අඩු සටන්කාමි ස්වරූපයක් දැක්විය යුතු යැයි කොටස්හිමියන් කළ යෝජනාවට එකඟ නොවු මාක්ස් 1843 මාර්තු 17 දින පුවත්පතෙහි කර්තෘධුරයෙන් ඉල්ලා අස්විය.
මේ අවධියේ පැතිරි ගිය ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදි විප්ලව අවස්ථාව සඳහා මාක්ස් විසින් පරිකල්පිත උපායමාර්ගය අනුව නව පුවත්පතක් ආරම්භ කරන ලදි. 1842 - 1843 කාලයේ මාක්ස්ගේ කර්තෘත්වයෙන් කොලොන් නුවරම පළ කළ සුප්‍රසිද්ධ රයින් පුවත්පතට කරන ලද උපහාරයක් වශයෙන් මාක්ස් තම නව පුවත්පත ‘නව රයින් පුවත්පත’ ලෙස නම් කළේය. නවරයින් පුවත්පතේ මුල් පිටපත පළවූයේ 1848 ජුනි 1 වැනිදාය. පුවත්පතෙහි නමට පහතින් ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශකයා” යනුවෙන් උප නමක්ද යොදා තිබුණි. ප්‍රධාන කර්තෘ මාක්ස් විය. එංගල්ස්, හෙන්රිච් බර්ගර්ස්, අර්නස්ට් ඩ්‍රොක්ස්, ජෝර්ජ් වියර්ත්, පර්ඩිනන්ඞ් වොල්ස් (රතු වොල්ප්) පර්ඩිනන්ඞ් ප්‍රෙලිග්‍රාත්, විල්හෙල්ම් වොල්ප් (ලුපස්) යනාදීන් කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෝ වූහ. පුවත්පත ආරම්භ කරන ලද අවස්ථාවේදීම කොටස්හිමියන් සීමා සහිත වීම නිසා මාක්ස් සහ බිරිඳගේ මුදල් වලින් තේලර් 7000 ක් පමණ ආයෝජනය කරන ලද අතර මාක්ස් සන්තකයේ තිබූ මුදල් හිඟවූ පසු ඔහු තම පවුලේ දේපොල වලින් තම උරුමය වෙනුවෙන් ඔප්පු ලබාදී මුදල් ලබා ගත්තේය.

 

 

 

මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්