මා ඕ ත්සේතුං

162 වැනි පෙළගැස්ම

 

දිගු කාලයක් යැන්ග් මහත්මියට උදව් කළ අතර මිතුරන්ගේ සහ ඥාතීන්ගේ අමාරු කාලවලදී තමන්ගේ වැටුපෙන් හෝ පොත්පත් ලීවීමෙන් ලැබෙන ආදායමෙන් ඔවුනට ආධාර උපකාර කළේය. නමුත් පක්ෂ කටයුතු වලදී ඔහු ඒ කිසිවෙකුට හෝ වැඩි සැලකිල්ලක් නොදැක්වීය.

 නව චීනය ගොඩ නැගූ අලූත ඔහුගේ අනුග‍්‍රහයන් බලාපොරොත්තුවෙන් දහස් ගණන් ලිපි ලැබුණේය. එම ලිපිවලට මාවෝ ලියන ලද පිළීතුරු වලින් ඔහු මොන තරම් ප‍්‍රතිපත්ති ගරුක අයෙක්දැයි අනාවරණය කරගත හැකිය. මාවෝ ගේ මස්සිනා වූ යැන්ග් කයිෂි උදව් ඉල්ලා එවන ලද එක් ලිපියකට ඔහු යැවූ පිළිතුරු ලිපියක මෙසේ සඳහන් විය.


‘‘මේ වගේ දේවල් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. බීජිං වෙත එන්නත් එපා.’’ඒ සමගම ඔහුට අවවාද කරමින් මාවෝ කියා සිටියේ තමන්ට උවමනා කරණ දේ පවතින ක‍්‍රමයට අනුව ලබා ගන්නවා මිස ඊට පිටින්  ලබා ගන්න උත්සාහ කරන්න එපා.’’ යනුවෙනි.


                    මාවෝ ගේ පැරණි පාසැල් මිතුරෙකු වූ මාවෝ සෙන්පින් ට යවන ලද තවත් පිළිතුරු ලිපියක මෙසේ සඳහන් විය. ‘‘රජයට සේවය කිරීම සඳහා ඔබ කර ඇති ඉල්ලීම ඉතා වටිනා එකක්. කෙසේවෙතත් එය දැනට ආණ්ඩුවට පිරිස් බඳවා ගන්නා ක‍්‍රමවේදය අනුව සිදුවිය යුතුයි. ඔබට හිමි තැන ලබාගන්න තිබෙන හොඳම ක‍්‍රමය ඒකයි. ඔබ කරණ කැපකිරිමට ගෞරවයක්                          ලැබෙන්නේ එය ජනතාව වෙනුවෙන් කරණ පරිත්‍යාගයක් සේ කිරීමෙනුයි. එහිදි මගේ නිර්දේශ ඔබේ හොඳ නමට කැළලක් විය හැකියි. මේ කාරණය සම්බන්ධයෙන් මගේ මේ අදහස් ඔබේ සැලකිල්ලට යොමුකරණවා නම් මම සතුටුවෙමි.’’


                           ඇනියන්ගේ මව, යැන්ග් කායිහුයි සහ ලියූ ෂියැන්ග් සම්බන්ධයෙන් ඔහු තුළ පැවති ඉමහත් ළෙන්ගතුකම ඔහු ලියන ලද එක් කවියක මුල් පදයේ සඳහන් විය. මේ කවියට ජියැන්ග් කුයින් කැමති නොවීය. ඊට ඇය දැක්වු ප‍්‍රතිචාරය ගැන සඳහන් කරමින් මාවෝ මට මෙසේ කීවේය. ‘‘ජියැන්ග් කුයින්ගේ තවමත් තියෙන්නේ සු`එ ධනේෂ්වරවාදි චින්තනයක්. එයාට තියෙන්නේ කරදර තමන් ළඟට කැන්දා ගන්නා හැකර කටක්.’’ මේ කතාව ජියැන්ග් දැනගත් පසු ඇය මාවෝ සමග අමනාපයෙන් දින ගණනාවක්ම ඔහු සමග කතා නොකර සිටියාය. නව චීනය ගොඩ නැගුවාට පසු මාවෝ ලී සුසී සමග දිගටම ලියුම් ගනුදෙනු කළේය. නමුත් ඉගෙනීමේ කටයුතු සඳහා බීජිං පැමිණීමට ඇය මාවෝගෙන් රාජතාන්ත‍්‍රික උදව් ඉල්ලූ විට ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය.

 

මාවෝ සමග මා ගතකළ පහළොස් වසර තුළ ඔහුගේ මිතුරන් හෝ ඥාතීන් ඔහුගෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නවා හෝ දෙනවා මා දැක නොතිබුණි. නමුත් බොහෝ අවසථාවල ඔහු ඔවුන් සමග උණුසුම් බැඳීමෙන් සිටිනු මට දැකගත හැකිවිය.


           එවන් එක් අවස්ථාවක් මට තවමත් හොඳට මතකය. දිනක් වියපත් කාන්තාවක් ඔහු හමුවන්නට පැමිණියාය. ඇය බොහෝ කලක සිට මාවෝ දන්නා හඳුනන ඔහුගේ ගම්පළාතේ කෙනෙක් විය. ඇය පැමිණ සිටියේ ඇගේ ගම ගැන මාවෝ ට කියන්නටය. ඔහු ඇයට සැළකුවේ වෙනත් අයට සලකනවාට වඩා   වෙනස් ආකාරයකටය. ඇය අසුනක වාඩිවෙන විට මෙන්ම ඉන් නැගිටින විට ඔහු ඇයට උදව් කළේ ‘‘හෙමින්, හෙමින්,’’කියමිනි. ඔහු ඇයට පඩිපෙළ නගින්න බසින්න උදව්කරමින් යන අතරවාරයේදී ‘‘හෙමින්, හෙමින්, මම හොඳට ඇවිදගන්න බැරි වයසක ගැහැනියක්.’’ යැයි මාවෝ කියූ ස්වරයෙන්ම ඇය කීවාය.

 

මගේ පැත්තෙන් සැලකීමේදී එම සිද්ධිය මට අමතක නොවන්නකි. ඒ වියපත් කාන්තාව උදෙසා මාවෝ දක්වන ලද සැලකිල්ල ඇය ලබාගත්තේ ඇයට ලැබිය යුතු දෙයක් විලසිනි. පෞද්ගලික ආරක්ෂකයෙක් ලෙස ඔහුට සේවය කළ කාලයේදී මගේ නිරික්ෂණයට හසුවුණු එක් දෙයක් නම් ඔහුගේ සමීපතමයින් ලෙස කටයුතු කළ අප සමග ඔහු ඇසුරු කළේ රටේ නායකයා ලෙස නොව සාමාන්‍ය මිනිසෙකු ලෙසින් බවයි.

 

 1950 වසරේ මුලදි දිනක් චීනයට මිතුරු රටවලින් එකක තානාපතිවරයෙක් ඔහුගේ අක්තපත‍්‍රය මාවෝට ප‍්‍රදානය කරන්නට පැමිණීයේය. එහි පිළිවෙළ අනුව චින ජනරජයේ සභාපතිවරයා හැටියට මාවෝ ඉදිරියේ තානාපතිවරයා තම අක්තපත‍්‍රය කියවා පත්විම් ලිපිය දෙනතුරු ඔහු ඉදිරියේ සිටගෙන සිටිය යුතු විය. චාරිත‍්‍රානුකූලව තානාපතිවරයා හමුවෙන්නට පෙර මාවෝ කොණ්ඩය, රැුවුල කපා පිළිවෙළකට සැරසී සිටිය යුතුය.          

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත