මාඕ ත්සේතුං  172

 

 

ලී මින් සහ ලී නේ යන තම දියණිවරුන් දෙදෙනාට මාවෝ බෙහෙවින් ආදරය කළ ද තම පුතුන් දෙදෙනා කෙරෙහි පැවති තද බව ඔවුන් දෙදෙනාටද එලෙසම ක්‍රියාත්මක කළේය. තම ආදරය ඔවුන්ගේ බලාපොරොත්තුවලට හිලව් නොකරන්නට ඔහු වගබලා ගත්තේය.


ලි මින් ගේ සුරතල් නාමය වුවේ ‘ජියෝ ජියෝ’ යන්නයි. ‘ආදරණිය, ආදරණීය, එහි තේරුම විය. ඇයට මේ නම තැබුවේ ඩෙන්ග් යින්චාඕ ය. ඇය ඉපුදුණ හැටියේම වාගේ ඇය වඩාගත් ඩෙන්ග් ඇය දෙස බලා ‘මොනතරම් ආදරණීය, ආදරණීය, දරුවෙක්දැ’යි” කීවාය. එතැන් පටන් ඇයට ඒ සුරතල් නම පට බැඳුණි. 1947 වසරේදි සෝවියට් දේශයේ සිට ආපසු පැමිණ චීනයේ පාසලකට ඇය ඇතුළත් කළ අවස්ථාවේ මාවෝ ඇයට ලී මින් යන නම තැබුවේය.


ඒ කාලයේ මාවෝ හැඳින්වුවේ ලී දේශාන් යන නමිනි. ‘නේ’ සහ ‘මින්’ කොන්ෆියු සියස්තුමාගේ කියමනකින් ලබාගත් වදන් දෙකකි. “මහත්වරුන්ගේ කතාව හෙමින්(නේ) වැඩ ඉක්මනින් (මින්)”ඒ කියමනයි. තම දියණියන් දෙදෙනා ත් එවන් අය කිරීමට මාවෝට උවමනා කළේය.


ගැහැනු ළමයි දෙදෙනාට කිසිදිනක තම පියා සමග ‘ඒ ශ්‍රේණියේ’ ආහාර ගන්නා ශාලාවේ එකට හිඳගෙන ආහාර ගැනීමේ වරප්‍රසාදය හිමි නොවීය. ඔවුන්ට ආහාර ගැනීමට සිදුවුවේ අනිත් අය මෙන් ‘සී ශ්‍රේණියේ’ ආහාර ගන්නා ශාලාවේදීය. ඔවුන් පාසල් සිසුවියන් කාලයේදි මෙන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදිත් අනිත් සිසුවියන් මෙන් නේවාසිකාගාරවල හය දෙනෙක් හෝ අටදෙනෙක් සමග තට්ටු ඇඳන්වල නිදා ගත් අතර අනිත් අය ගන්නා සාමාන්‍ය ආහාර ඔවුන්ගේත් ආහාරය විය. ඔවුහු ද අනිත් ළමයි මෙන්ම කපු රෙද්දෙන් කළ නිල් පැහැති පාසල් නිල ඇඳුම් ම ඇන්දෝය. නුන් සමග එකට වත්ත පිටියේ වැඩ පොළවල ද නිරත වුහ. අනිත් ළමයින් මෙන්ම ඔවුන් පාසල් ගියේ එක්කෝ පා ගමනින්ය. නැතිනම් පාපැදිවල හෝ සෙනග පිරි පොදු බස්රථවලය. ඔවුන් මාවෝ ගේ දරුවන් යැයි ප්‍රදර්ශනය කෙරෙන කිසිවක් හෝ නොවීය.


1956 වසරේ දිනක මාවෝ මා සමග ඇවිදිමින් යන අතරවාරයේ ඔවුන් දෙදෙනා ගැන මගෙන් ප්‍රශ්න කළේය. “ලි මින් හා ලි නේ දෙදෙනාගෙන් වඩාත්ම හොඳ කෙනා කවුරු කියලද තමන් හිතන්නේ?”


“ඒ දෙන්නම හොඳ ගැහැනු ළමයි.” මම කිවෙමි. “ඒ දෙන්නා බොහොම ගෞරවණිය විදිහට ඉන්න අය. ඉහළ නිලතල දරණ නිලධාරීන්ගේ සමහර ළමයි අප වගේ අය දැක්කහම නැහැය උඩට උස්සාගෙන යන්නේ. නමුත් එයාලා එහෙම නෑ. එයාලා ඉතා කැපවීමෙන් හැමදෙයක්ම ඉතාමත් හොඳින් කරන්න උත්සාහ ගන්නවා.”


“තමන් තරම් උත්සාහ කරන්නේ නෑ.”මාවෝ හිස ගස්සා කිවේය. 

 

 

“එයාලා තමුන් වගේ බලාපොරොත්තු තියාගන්න පු`එවන් අය නෙවෙයි. තමුන් තරම් ඔවුන් ජිවිතයේ දුක් විඳලා නෑ. දුෂ්කරතා ඉදිරියේ නොසැලෙන අයට තමයි ලෝකය අයත්වන්නේ.”
“ඔබතුමා කියන්නේ ඔවුන් මේ වෙනකොට හොඳට දුක් විඳලා නෑ කියන එකද?” මම ඇසුවෙමි. “සාමාන්‍ය පවුල්වල ළමයින්ටත් වඩා ඔවුන්ගේ ජීවිත කටුකයි.”


“මම ඒ කතාවට එකඟ වෙන්නේ නෑ.” මාවෝ හිස වනමින් කිවේය. “තමුන් ඒ ගැන වැරදි කෝදුවකින් මනින්නේ. තමුන් අදහස් කරන්නේ මගේ දුවලා හුඟක් දුක් නොවිඳ, සාමාන්‍ය පවුල්වල ළමයින්ට වඩා හොඳ ජිවිත ගත කළ යුතුයි කියන එකද? ඇත්ත, එයාලා කෑමට ගන්නේ තමාලා කෑමට ගන්න එකම ආහාර තමයි. නමුත් ‘සී ශ්‍රේණියේ’ ආහාර ශාලාවේ කෑම බොහාමයක් චින ගැමියන්ගේ කෑම වලට වඩා හොඳ නැද්ද?.”


“නමුත් ඒක සාධාරණ නෑ.”මම ඊට එරෙහිවිමි. “සභාපති සහෝදරයා, පහළ මට්ටමේ අයගේ ජිවන පැවැත්මත් එක්ක ඔවුන්ගේ කාරණය සංසන්දනය කරන එක වැරදියි. පාසල් භෝජනාගාරවල දෙන ආහාරවලට වඩා බොහොමයක් නගර වැසියන් ගන්නා ආහාර හොඳ නෑ කියලා මා හිතන්නේ නෑ. මා ගැන කිවොත් ‘සී ශ්‍රේණියේ” භෝජනාගාරයෙන් අපට ලැබෙන කෑමවලට වඩා හොඳ කෑම මට අපේ ගෙදරින් ලැබෙනවා.”


“ඒකෙ වරදක් කියන්න බෑ.”මාවෝ සිනාසෙමින් කිවේය. “ඒ මොකද කිවොත් තමුන් විප්ලවයට දායකත්වය දිලා තියෙනවා. නමුත් ළමයි දෙන්නා තවමත් කිසිම දායකත්වයක් දිලා නෑ. තමුන්ට වඩා පහළ ජිවන මට්ටමක ඉන්න කෙනෙකුට තමයි ඒකෙ වෙනස තේරෙන්නේ.


විප්ලවයට දායක නොවී භෞතික සම්පත් වලට ඔට්ටුවෙන මිනිහා නින්දිතයෙක්.” එය සත්‍යයකි. ලී නේ ට තරම් ඇගේ සහෝදරියට සහ සහෝදරයින්ට ඔවුන්ගේ ජිවිත කටුක නොවුණි. ඇය සාමාන්‍ය පවුලක දරුවෙකු වුවා නම් මේ දුක් ගැහැට වලින් ඇයට මගහැර සිටින්නට හැකියාව තිබුණා යැයි මම තවමත් විශ්වාස කරමි.


1947 වසරේ මා මාවෝ ගේ පෞද්ගලික ආරක්ෂකයෙක් ලෙස සේවයට බැඳෙද්දි ඇය වයස අවුරුදු හතක දැරියකි. ඒ වසරේ සිට ඇගේ ජිවිතය ගෙවී ගියේද අපේ ජිවිතවලට සමගාමිවය. නිරන්තරයෙන් පාගමනේ යමින්, අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින්, සතුරු ගුවන් ප්‍රහාරවලට මුහුණ දෙමින්, ගුවන කපාගෙන ඇදීයන වෙඩි උණ්ඩ මැද, තුවක්කු වෙඩි බෙහෙත් ගඳ උහුලාගෙන ජිවත්වෙන්නට ඇයටද සිදුවිය.

 

 

 

 

 

 

 

 

 


ආරියනන්ද දොඹගහවත්ත