මා ඕ ත්සේතුං 159 වැනි පෙළගැස්ම 

චෙන් යී, මීට වෙනස්ය. ඔහු මාවෝ හමුවට පැමිණි විට මුලින්ම සීරුවෙන් සිට පොළවේ අඩි හප්පා සභාපතිතුමාට ආචාර කර මෙසේ කියයි. ‘‘සභාපති සහෝදරය, චෙන් යී රාජකාරියට වාර්තාකර සිටී.’’ එසේ නැතිනම් ‘‘සභාපති සහෝදරයා චෙන් යි පැමිණ සිටී.’’ පවසයි. එවිට ඔහුට අසුනක වාඩි ගන්නා ලෙස ඉඟිකරණ මාවෝ මෙසේ කීවේය. ‘‘ඇයි හිටගෙන ඉන්නේ. වාඩිවෙලා කතා කරන්න.’’ඒ සමග චෙන්ගේ මුවින් සිනාවක් කඩා හැළේ. ඔහු පහසුවට පත්වේ. වැඩි වෙලාවක් යන්නට පෙර මුළු කාමරයම ජිවයෙන් පිරි යයි.

පක්ෂයේ සිටින මාවෝ ගේ එකම කවි මිතුරා චෙන්ග් ය. ඔහු නීති, රිති වලින් බැඳී නැති ගැඹුරු කටහ`ඩකින් යුත්, කවියට බොහෝ සෙයින් ඇලූම් කළ කෙනෙකි. ඉතා සරල ඇවතුම් පැවතුම් ඇති ඔහු කතා කරණ විට කතා කළේ සිනාසෙමින් අතපය දිගහරිමින්  ඉතා සැහැල්ලූ ලෙසිනි.


පිහිනීම, නැටීම වැනි ප‍්‍රසිද්ධ අවස්ථාවලදී මාවෝ තරුණ පිරිස් සමග එකට කටයුතු කරන්නට කැමැත්තක් දැක්විය. එවන් අවස්ථාවලදි ඔහු ඔවුන් සමග ඉතා සතුටින් පසුවිය. නමුත් පෞද්ගලික ජිවිතයේදි ප‍්‍රධාන වශයෙන් මාවෝ ගේ  මිතුරන් ඇතැමෙක් ‘‘කෞතුක කෑලි’’ ලෙස හඳුන්වනු ලැබූ පැරණි චීනය ගැන මනා අත් දැකීම් ඇති, ගතානුගතික ආකල්පවලින් යුත් වැඩිහිටි පුද්ගලයෝය. ඔවුන් අතුරින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතේ ගමන් කරන්නෝ මාවෝ ඉහළින්ම අගය කළහ.


ඒ සමගම මාවෝ තමන්ගේ පෞද්ගලික මිතුරන්ට ආචාරශීලී ලෙසත් ගෞරවණීය ලෙසත් සැලකුවේය. විප්ලවය ජයග‍්‍රහණය කිරීමෙන් පසුව මාවෝ චූ එන්-ලායි සමග එක්ව තම සමීප හිතවතුන් කිහිප දෙනෙක්ම කැඳවීය. ෂෙන් ලැන්, ලී ජිසෙන්, ෂෙන් ජුන්රු, ගුවෝ මොරු ඕ, සහ ෂෙන්ග් ෂව්ටොන්ග් ඒ පිරිසයි. ඔහු ඔවුන්ට සැලකුවේ පාක්ෂිකයින්ට සලකනවාට වඩා වෙනස් ලෙසකිනි. ඔවුන්ගෙන් කිසිවෙක් හෝ ඔහු හමුවන්නට පැමිණෙන විට හෝ එසේ පැමිණ ආපසු යන විටදී ෂැන්ග්, ලී, සෙන්, චෙන්,හේෂියැන්ග් නින්ග්, මා ෂලූන් හෝ ලියූ යසී, මාවෝ තම කාමරයෙන් පිටතට ගොස් ඔවුන් පිළිගනී. පිටත්ව යනවිට එවුන් පසුපස ගොස් බලා සිටී. ඒ අයගේ මෝටර් රථවලට නගින්න බහින්න උදව් කළේය. ඔහු ඔවුන් සමග එකට ගමන් කරද්දී ඔවුන් සමීපයෙන් ම ගමන් කරන්නට ද අමතක නොකළේය.


හැම අවස්ථාවකම තමන් ජාතික නායකයා ලෙස හැඳින්වීම ගැන මාවෝ එතරම් කැමැත්තක් නොදැක්වීය. මේ සම්බන්ධ එක් සිදුවිමක් මට මතකය. මාවෝ සේම හුනාන් පළාතේ වැසියෙක් වු එක් වැඩිහිටි මහතෙක් සිටියේය. ඔහු ජාත්‍යන්තර මට්ටමේ උගතෙක් බව මම පුවත් හරහා දැනගෙන සිටියෙමි. එ වගේම ජිවිතයේ නැගීම් බැසීම් ගැන ඔහු මනා අත්දැකීම්ද ලැබු අයෙකි. නව චීනය ගොඩ නැගීමෙන් පසු පළමු අවුරුදු කිහිපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරණ ප‍්‍රසිද්ධ චරිත බොහොමයක් නිතරම පාහේ මාවෝ බැහැදැකිමට පැමිණි අතර මෙම වැඩිහිටි මහතා ද ඉන් අයෙකි. වරක් මාවෝ ඔහු සමග කතා කරමින් සොන්ගන්හයි ගඟ අද්දර ඇවිදිමින් සිටියේය. මාවෝ ට මඳක් පසු පසින් සිරුර තරමක් ඉදිරියට නමාගෙන ඔහු ගමන් කරමින් සිටියේය. ගමනේ මැදදී ඔහු බෙල්ල ඉදිරියට දිගුකර මාවෝ ගේ මුහුණ වෙත හිස ඔසවා බලා අතේ මාපටැඟිල්ල ඔසවාගෙන මෙසේ කිවේය. ‘‘ඔබතුමා නම් නියම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් සභාපති මාවෝ,

ඇත්තටම ඔබතුමා නියම.........

මෙවිට නළල රැුල් ගන්වා ඔහු දෙස රවා බලමින් මාවෝ අත ගසා දමමින් කතා කළේය. ‘‘කරුණාකරලා ඔය විදිහට කතා කරන්න එපා. එක් යහළුවෙක් තවත් යාළුවෙකුට කතා කරන ක‍්‍රමය නෙමෙයි.’’මාවෝ ගේ එම විවේචනයට එදා ඒ වැඩිහිටි මහතාගේ දෙකන් රතුවනු මම දුටුවෙමි. නමුත් රාජ්‍ය වැඩකටයුතු වලදීත් මේ වැඩිහිටි මහත්මා ඔහුගේ ඒ අදහස් නිර්භීතව ගෙනහැර පෑවේය.


නමුත් මාවෝ ඊට එකඟ නොවිය. මේ පිළිබඳ මේ දෙදෙනා අතර උණුසුම් වාදයක් පවා ඇතිවිය. මෙය දැඩි ලෙස විවේචනය කරමින් මාවෝ කියා සිටියේ මතවාදය හා මිත‍්‍රත්වය එකිනෙකට අමුත්තන් බවය.

ආරියනන්ද දොඹගහවත්ත