මාඕ ත්සේතුං 182

 

 

ඒ යුද්ධය පැවති කාලයේ සාමාන්‍යයෙන් අපි ගමන් ගන්නා විට ගෙනයන ගමන් මලු ප්‍රමාණය අඩු කළෙමු. අනිත්වා කෙසේ වෙතත් මාවෝ නම් පොත පතින් වෙන්කළ නොහැකි විය. ඔහු යන යන තැන ඒ සියල්ලම රැගෙන ගියේය. කුමක් හෝ දෙයක් ලියන ලද කොළ කැබැල්ලක් පවා ඔහු ඉවත නොදැමුවේය. ඩොන්ග් බීවූ වරක් ඒ ගැන සඳහන් කළේ මෙලෙසිනි. “මාවෝ ත්සේතුං කියන්නේ පොත් ලෝලියෙක්. ඒ නිසාවෙන්ම ඔහු පක්ෂයට කර තිබෙන්නේ ලොකු මෙහෙවරක්. පක්ෂ මධ්‍යම කාරක සභාවට තබාගත නොහැකිවුණ ඓතිහාසික වටිනාකමකින් යුත් මුද්‍රිත ලේඛන සහ ලිපි ගොනු සුරැකිව තබා ගැනීමට ඔහු කටයුතුකර තිබෙනවා. මේවා පක්ෂයට මහඟු සම්පත්.”


සාමාන්‍යයෙන් හමුදා පා ගමන ආරම්භ කරන්නට පෙර පාගමනේ යෙදෙන හමුදාවට උවමනා ආහාරපාන බඩු මුට්ටු කලින් පිටත්කර හැරිමේ සාම්ප්‍රදායික ක්‍රමයට විරුද්ධව මාවෝ කරන්නේ මුලින්ම ඔහුගේ පොත් පත් පිටත්කර හැරීමය. මේවා අඩංගු ලොකු ලෑලි පෙට්ටි දෙක නොමැතිව ඔහු ගමන් කරනු කිසිදිනක දැකගත නොහැකි දෙයකි. එකක් හතරැස් මිටරයක් තරමේ විශාලත්වයකින් යුත් මෙම පොත් පෙට්ටි දෙකේ සාහිත්‍ය හා දේශපාලන විද්‍යාවට සම්බන්ධ ආශ්‍රේය ග්‍රන්ථ සහ ලිපි ලේඛන පුරවා තිබුණි. දින කිහිපයක් ඇතුළත ඔහු ආපසු පැමිණෙන ගමනකදි පවා ඔහු ඒවා රැගෙන ගියේය. ඔහු නීරීක්ෂණ චාරිකාවක යන්නට සුදානම් වූ විට ඔහු වෙනුවෙන් වෙන්වුණු විශේෂ දුම්රිය පිටත් වෙන්නට පැයකට පමණ කලින් අපි ඔහුගේ පොත්පත් ඒ කරා ගෙනගොස් නිවසේ පැවති පිළිවෙළටම දුම්රියේද ඒවා ඇසුරුවෙමු. නිවසේ ඔහුගේ ඇඳේ තිබුණු කියවමින් සිටි පොත්පත් මෙන්ම කියවන්නට බලාපොරොත්තුවෙන් මේසයේ තබා තිබුණු පොත් පත්ද ඒ පැවති අනු පිළිවෙළටම දුම්රිය මැදිරියේද ඇසිරීමට අපි වග බලාගත්තෙමු. දුම්රියට ගොඩවැදුණු විට ඔහු කළ පළමු කාර්යය වුවේ මුහුණ පිසදා පොතක් අතට ගෙන කියැවීමය. නියම සාහිත්‍යකාමියෙකුවු මාවෝ කියැවීමේ ලෝලියෙකුද වුවේය.


ජියැන්ග් කුයින් විසින් 1947 ඔක්තෝබර් අග භාගයේදි කහ ගංගාවේ බටහිරි දෙස සිට ලී නේ ආපසු කැඳවාගෙන ආ විට ඇය බලා කියා ගැනීම පැවරුණ අලුත්ම හෙදිය වුවේ හැන් ගියුෂින් ය. මාවෝ ඇයට මෙසේ විස්තර කළේය. “ලී නේ ට දැන් වයස අවුරුදු හතයි. නමුත් වර්තමාන තත්ත්වය යටතේ එයාව පාසලකට යවන්න හැටියක් නෑ. අපි මොකද කරන්නේ?.” හැන් ප්‍රාථමික අධ්‍යාපනය හමාරකර තිබුණු නිසා ලි නේ ට ලියන්න කියන්න ඉගැන්වීම ඇයට කළ හැකිවිය.


හැන් ට ලී නේ හඳුන්වා දුන් දිනයේ ඇය ඇගේ පියාට මෙලෙස සහතික විය. “මම දඟ කරන්නේ නැතුව මහන්සිවෙලා ඉගෙන ගන්නවා.”


“මහන්සිවෙලා ඉගෙන ගන්නවා කියලා ඔයාම කියන එක මට සතුටක්.” එවිට මාවෝ සිනාසෙමින් කීවේය. “දඟ වැඩවලින් ඈත්වෙලා ඉන්න එක හොඳ සුදුසුකමක්. ඒත් පොඩි දඟකාරකමක් දෙකක් කළාට කමක් නෑ. ඒහෙම වුණාම ළමයා බුද්ධිමත් වගේම සෞඛ්‍ය සම්පන්නයි කියලා පේනවා.”මේ වදන් සම්ප්‍රදායික බුද්ධියට වඩා වැදගත් බව මගේ හැඟීමයි.


වරක් මාවෝ මා විවේචනය කරමින් මෙසේ කිවේය. “මගේ උපදෙස් ගණන් ගන්නේ නැතුව ඉගැනිම ප්‍රතික්ෂේප කිරීම තමුන් කරපු ලොකුම මෝඩකමක්.”


මාවෝ ගේ කාර්යය මණ්ඩලයේ මුල් කාලයේ සිටි අයෙක්වූ සැන්ග් බාවෝජින් මාවෝ හමුවෙන්න ආ විට කොතරම් කාර්යය බහුල වුවත් ඔහු මුණ ගැසී කතාබහ කරන්නට අමතක නොකළේය. එලෙස ඕනෑම වේලාවක මාවෝ හමුවි කතා කළ හැකි අපේ තරා තිරමේ එකම පුද්ගලයා වුවේ ඔහුය. සැන්ග්, විද්‍යාල අධ්‍යාපනය ලැබු බුද්ධිමතකු වු නිසා ඔහු සමග කතාබහ කරන්නට මාවෝ බෙහෙවින්ම කැමතිවිය.


විදුහලට ඇතුළු වෙන්නට පෙර සැන්ග් මාවෝ ගේ ශරිර ආරක්ෂකයෙකු විය. වරක් මාවෝ නින්දට යනවිට මහ හඬ නැගෙන සේ දරපළා නින්දට බාධා කිරීම නිසා ඔහුට පැය ගණනක් සිටගෙන සිටින්නට සලස්වා දඬුවම් පැමුණුවේය. ඔහුගේ අනිකුත් ශරීර ආරක්ෂකයින් හා සසඳන විට මාවෝ සැන්ග් ට එතරම් කැමැත්තක් දැක්වූවේ නැත. නමුත් ඔහු විදුහලට ඇතුළුවීමේ විභාගයට ඉදිරිපත්වි එම පරික්ෂණයෙන් ඉහළ ලකුණු ලබාගැනීම ගැන මාවෝ බොහෝ ආඩම්බර විය. 


මාවෝ ඔහු සම්බන්ධයෙන් අප සමග කතා කළේ මහා ඉහළින් ඔහු වර්ණනා කරමිනි. ඔහු ඒ වරණනා කළේ මෙලෙසිනි. “සැන්ග් බයෝජින් සහෝදරයා හැම වේලාවෙම හොඳම දේ කරන්න උත්සාහ කළා. ඔහුත් තමුන්ලා වගේම මගේ ශරිර ආරක්ෂකයෙක්. එයා ඉගෙන ගන්න බොහොම උනන්දු වුණා. වරක් ඔහු විද්‍යාලයේ විභාගයෙන් ඉහළම ලකුණු ගත්තා. එයා පිළිබඳ මගේ තක්සේරුව දැන් ඉහළයි. ඔහු හොඳට ඉගෙනුම ලබපු කරුණු කාරණා ගැන මනා අවබෝධයක් ඇති අත්දැකීම් බහුල කෙනෙක්.”

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත