ලෝකාර්ථ සිද්ධිය උදෙසා කලින් කලට බිහි වූ යුග පුරුෂයන් සේම ලොව විනාශය සඳහා ද සිය ආධිපත්‍යය පතුරුවන ඒකාධිපතින්ගෙන් ද අඩුවක් නොවීය. 40 දශකයේ විසූ ඇඩොල්ෆ් හිට්ලර් නමැති ජර්මානු ආඥාදායකයාගේ චරිතය ද එවැනිය. දෙදෙනකුගෙන් ඇරඹි තම නාසි හමුදාව මෙහෙයවමින් රට තුළ යුදෙව් ජාතිය සමූල ඝාතනය කිරීම තුළින් මූලික ප්‍රජා අයිතීන් උල්ලංඝනය කිරීම ප්‍රථම පියවර විය.

 


මුලින්ම දුර්වල දේශයන්ද, පසුව යුද, වෙළෙඳ, භෞමික හා සංස්කෘතිකමය ශක්තිය හා ගිවිසුම් මත ප්‍රබල වූ සෑම රටකටම හිට්ලර් තම බලය විහිදුවාලීය. වරින් වර විසීමට හිට්ලර්ට ප්‍රසිද්ධ හා රහස් බළකොටු කිහිපයක්ම තිබූ අතර පිටත සතුරන්ට මෙන්ම ඔත්තුකරුවන්ටද ඔහු සොයා ගැනීම උගහට විය. එහෙත් බූවල්ලකු වැනි ඔහුගේ බල පරාක්‍රමය ලොවම සසල කරමින් පැතිර ගියේය.


බර්චස් ගැඩන්හි අබිරහස් ගල් පර්වත යුත් බෑවුමක අඩි 6,000ක් උස කුජස්ටින් කඳු සිඛරය මත “හර් හිට්ලර්”ගේ උකුසු කූඩු රහස් මාලිගය පිහිටියේය. එය ඇල්ඩර් හොස්ට් මන්දිරයයි. කඳු පාමුල දක්වා කැපූ උමගක් ද, එතැනින් අඩි 600ක් උසට ශිඛරය වෙත තනි එල්ලේ කැපූ මාර්ගයක් ඇතිව මෙය ඉදිවී ඇත. වක්‍රාකාර වීදුරු මන්දිරය තැනීමෙහිලා කම්කරුවන් 3,000ක් මාස ගණනක් ශ්‍රමය වැය කළහ. උමං දොර ශක්තිමත් වානේ වලින් තැනවීය.


කදු සිඛරය නැගීමට තිබූ එකම මාවත විදුලි දබරයයි. මුර කුටියට උඩින් නවීන පන්නයේ විදුලි භාණ්ඩවලින් යුත් මුළුතැන්ගෙය විය. සුඛෝපභෝගී අංගසම්පූර්ණ ගෘහ උපකරණ සහිත මන්දිරයේ ඉහළම කුටියේ වාඩිවී  හිට්ලර් අනාගතය සැලසුම් කළේය.


ජර්මනිය සමග අසල්වැසි මහා රාජ්‍යයන් කුඩා රටවල්, අරාබි හා ඈත පෙරදිග රටවල් මෙන්ම ආසියානු කලාපයේ රටවල් ද දේශ සීමා වෙළෙඳ හා ආරක්ෂක ගිවිසුම් රැසකින් බැඳී සිටියහ. පළමුව ලෝක සංග්‍රාමයෙන් හෙම්බත්ව සිටි ලෝකයාට සැනසුමට තිබුණේ නව බලවතුන්ගේ පිහිටාධාර පමණි. ජර්මනිය නැගී එන බලවතා වූ හිට්ලර් භාර ගනිද්දී ඉතාලියේ සුක්කානම මුසොලිනි අතට ගත්තේය. සෝවියට් දේශය වී. අයි. ලෙනින් භාරගත් අතර ඉන්දියාව ගාන්ධිවරුන්ට අවනත විය. යුරෝපයේ ලෙඩා යනුවෙන් හැඳින් වූ තුර්කිය මුස්තාපා කැමල් පාෂාගේ ජාතික සේවයෙන් ඇළලී ගියේය.


“මම දැන් අට කෝටියක නායකයා”
හිට්ලර් තම රටේ කාර්මික, ආරක්ෂක, වෙළෙඳ, පරිපාලන, ප්‍රවාහන හා ආර්ථික දියුණුව දැක උදම් ඇනීය. ඔහුගේ යටිකූට්ටු පරමාර්ථය වූයේ ලොව දස දෙසටම සක්විත්තා වීමය.


තමන්ට අවනත නොවන රුසියාව, බි්‍රතාන්‍යය, ජපානය වැනි දැවැන්තයන් ගිවිසුම්වලට සිර කිරීමට ඔහු ගත් උත්සාහයන් අසාර්ථක විය. ජර්මන් මැති සබය අමතා ඔහු ශාන්ත දාන්ත කතාවක් පැවැත්වූවේය. එම යෝජනා මෙසේය.


“මනුෂ්‍ය ජාති භේද හා සමාජ තත්ත්ව අනුව ජර්මන් දේශ සීමා ප්‍රමාණවත් පරිදි සාධාරණව නිරවුල් කළ යුතුය”.


“ජර්මනියේ මෙන්ම අග්නිදිග යුරෝපයේ රටවල වෙසෙන නොයෙකුත් ජාතීන් පිළිවෙළකට පදිංචි කළ යුතුය”.


“යුදෙව් ප්‍රශ්නය වහා නිරාකරණය කළ යුතුය”.


“සියලු රටවල් සමග වෙළෙඳ සබඳතා යළිත් ඇති කළ යුතුය”.


“ජර්මනිය හා රුසියාවත් විසින් සහතික කරන මධ්‍යස්ථතාවක් ඇතිව පෝලන්ත රාජ්‍යයක් පිහිටු විය යුතුය.”


මෙම යෝජනා හොඳින් ක්‍රියාත්මක කිරීමට බැරි වූ තැන හිට්ලර් තම නාසි හමුදාව යොදවා මුළු ලොවම ලේ ගංගාවක් කළේය. බි්‍රතාන්‍යය ඇතුළු මිත්‍ර රටවල් සන්ධානගත නොවන්නට හිට්ලර් භීතිකාව මුළු ලොව ගිනි ජාලයක් කරනු ඇත. පළමු ලෝක සංග්‍රාමයේදී ද මීට සමානම සිදුවීම් විය. විශාල විනාශයක් මිත්‍ර රටවල් සන්ධානගත වීම නිසා වැළකී ගියේය.


එකල ලෝක ජනයාගේ උදහසට ලක්ව සිටියේ ජර්මන් ජාතිය නොව එහි නායකයා වූ කෙයිසර් හෙවත් දෙවැනි විල්හැල්ම් අගරජුය. ඔහු සිංහාසනයෙන් පහකිරීම මිත්‍ර පක්ෂයේ සමාදාන ගිවිසුමේ පළමු කොන්දේසිය විය. ඔහුට එරෙහිව ජාත්‍යන්තර උසාවියේ නඩු ඇසිය යුතු යැයි ඔවුහු යෝජනා කළහ. නමුත් වූයේ විල්හැල්ම් රට හැර නිරුපද්‍රිතව යාමය. ඔහු ඕලන්දයට යාමට පෙර අත්සන් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.


“ජර්මන් ප්‍රසියන් රාජ්‍යයේ සිංහාසනයත් කිරීටයත් මගේ අයිතිවාසිකමුත් අදින් පසු සම්පූර්ණයෙන් අත්හරිමි. මා පත් කළ සියලු නිලතල දරන්නන් හා සේනා නායක නිලකාරයන් මෙන්ම හමුදා හේවායන් හා ගිවිසුම්වලින් බැඳුණු හමුදා සේනාංක එම දිවුරුම්වලින් නිදහස් කරමි. අභිනව ජර්මන් අනු රාජ්‍යයක් බිහිකිරීම සඳහා ආධාර දෙන්නැයි සැමගෙන් ඉල්ලා සිටිමි.”


(1918.11.28 වැනිදා දෙවැනි විල්හැල්ම් වන මමය)
රජුට බැලූ බැල්මට අහිංසකයකු සේ රටින් පලා යාමට ඉඩදීම ගැන බොහෝ දෙනා කුපිත වූහ. ඒ නිසාම ඕලන්දයේ මාලිගයක සිටි විල්හැල්ම් කෙයිසර් රජු පැහැර ගැනීමටත් එයින් ඇමරිකාවේ ගෞරවය රැක ගැනීමටත් ඕනෑ විය.


මෙයට සැලසුම් රැසක් යෝජනා විය. ඇමරිකානු රජයටත් හොරෙන් කාලතුවක්කු හමුදාවේ හේවාපන්නයේ අට දෙනෙක් උපායක් දියත් කළහ. එහි මූලිකයා වූයේ කර්නල් ලියුක් ලීය. රජු වසන මාලිගයට රිංගා ඔහු සොරකම් කරගෙන පැරිසියේ සඟවා තැබීම මෙම උපක්‍රමයයි.


1918.12.31 වැනිදා කිසිම දැනුම්දීමකින් තොරව ඔවුන් ඕලන්දයට රහසේ ගමන් ඇරඹුවේ හමුදා ඇඳුම් පිටින්මය.


පළමුව එකම මෝටර් රියෙන් දුරක් ගොස් පසුව රථ දෙකකට නැගුණහ. දේශ සීමා ගැටලුවලදී කර්නල් ලීම ඉදිරිපත් වී තමා ඇමෙරිකානු සෙනට් මන්ත්‍රීවරයකු බවත්, පුවත්පත් වාර්තාවක් සඳහා යන බවත් කියා ඕලන්දයට යාමට අවසර පැතීය.


ඇත්තෙන්ම ලී මහතා ඇමරිකානු පත්‍ර කාර්යාල දෙකක අයිතිකරු විය. 1919.01.05 දින ඕලන්දයට රාත්‍රී ළඟා වූ අතර මහ රෑ ජර්මන් රජු විසූ ඇමරොන්හි මාලිගාවට ළඟා වූහ.


ඕලන්ද මාලිගයේ විශාල දොරටු අසල අඳුරේ රැඳී සිටි ඇමරිකානු සොල්දාදුවන් දුටු දොරටු පාලකයා මවිත විය. මාලිගාව භාර නිලධාරින් සොයා දිවගියේය.


“අපට විල්හෙල්ම් රජු මුණගැහෙන්න ඕනෑ”


සුහද ආගන්තුක සත්කාරයෙන් පසු ලී ඇතුළු පිරිස කෙළින්ම කාරණයට පිවිසුණහ. විමතියට පත් කෙයිසර් රජුගේ පරිවාර නිලධාරියා මෙන්ම මාලිගයේ අයිතිකරුගේ පුත් වොන් බෙන්ටික් සිටුවරයා ඇතුළුගෙට ගොස් රජුට කරුණු සැල කරනු භටයන්ටද ඇසිණ.
දෙතුන් වතාවක් ඇවිටිලි කරමින් කාලය ගතවූ නමුත් සැක උපදවාගත් කෙයිසර් රජු ඇමරිකානු සෙබළුන් හමුවීම ප්‍රතික්ෂේප කළේය.
“අපි ආවේ ඇමරිකානු රජයේ අණකටවත් බලපෑමකටවත් නොවෙයි. පෞද්ගලිකව එතුමාගේ ප්‍රවෘත්ති වාර්තාවක් ගන්නයි”.
නොයෙක් උප්පරවැට්ටි යොදා රජු එළිමහනට ගැනීමට උත්සාහ කළ ද ආරක්ෂක බල වළල්ල මැද සිටි රජු ඊට නොරැවටුණේය.
“එහෙනම් ඇයි මෙහෙම රෑවෙලා ආවේ?”


රජුට ඇති වූ සැකය නිසා බලාපොරොත්තු කඩවුණු සෙබළ පිරිස ඊළඟට කළේ පණ බේරාගෙන ආ අයුරින්ම මව් රටට යාමයි. එසේ යන විට ඔවුහු තම ගමන පිළිබඳව සිහිවටනයක්ද ගෙන යාමට අමතක නොකළහ. එනම් කෙයිසර් රජුගේ සුරුට්ටු අළු ලන භාජනයයි. 
අද එය ඇමරිකානු කෞතුකාගාරයේ වෙයි.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි