අයතුල්ලා කුමේනිගේ ඒකාධිපති බලයට අභියෝග කළ නොහැකිව, රජකමෙන් පලවා හැරි ෂා මොහොමඞ් රිසා පාලවි රජු අවාසනාවන්ත ලෙස තම මව්බිමෙන් පිට රටක අවසන් හුස්ම හෙළීමට ප්‍රථම නවසිය පනස් ගණන්වලදී ඉරාන අගමැතිව සිටි මොසාඩෙක් විසින්ද රටින් නෙරපා හැර තිබුණු කාලයක් විය.


“ආයෙත් ඉරානයේ පස් පා ගන්නට ආවොත් බලාගෙනයි” යනුවෙන් තර්ජනය කළ එහි විදේශ ඇමැති, කෑලි කෑලිවලට කපා, වීදියට දැමීමට තරම් සාහසික වූ ෂාවාදී ජනතාව, 1953 අගෝස්තු මස 22 වැනි දින යළිත් ජයග්‍රාහී ලීාවෙන් තම ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපළට සම්ප්‍රාප්තිය දැක බලා ගන්නට ජනතාව එක් රැස් වූයේ දස දහස් ගණනිනි.


තමාට රිද්දවූ මොසාඩෙක් සිර අඩස්සියට දමා, ඔහුව අගමැතිකමෙන් ඉවත් කළ ෂා නව අගමැති වශයෙන් මේජර් ජෙනරල් සහේදි පත් කොට මොසාඩෙක්ගේ රජය විසින් හිස් කරන ලද භාණ්ඩාගාරය පිරවීමට අවශ්‍ය ඇමෙරිකන් ආධාර ලබා ගැනීම සඳහා තානාපති හෙන්ඩර්සන්ට අත වැනීමට පෙලඹුණේ නව අගමැති මාර්ගයෙනි.


රට අවුල් භාවයට පත්වීම නිසා තම ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බාධා ඇති වූ බවත්, එම ඉඩම් ගොවීන් අතර බෙදා දීම යළි ආරම්භ කරන බවත් කියා සිටි ෂා රජු, ඉරානයේ ධනවතුන් වැඩි දෙනා තම ධනය පිටරට ව්‍යාපාරවල යොදවා ඇතත්, දුප්පතුන් වෙනුවෙනුත් යමක් කරන්නැයි, ස්වදේශික ධන කුවේරයන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.


මොසාඩෙක් අගමැතිකමෙන් පහ කිරීම පිළිබඳව කරුණු දැක්වූ ෂා, ඔහු තමාට අකීකරු වීමට වඩා බි්‍රතාන්‍ය සතු තෙල් සමාගම් පිළිබඳව මොසාඩෙක් දැක්වූ දරදඬු පිළිවෙතද එක් හේතුවක් බවද, ඉරාන තෙල් ලෝක වෙළෙඳ පොළෙන් හරි අඩකට පමණ මිල කර විකුණා පවුම් කෝටි ගණනින් පෞද්ගලිකව අයුතු ලාභ ලැබීමට ගිවිසුම් ගසා ඇති බවද, එහෙත් ඒ ගිවිසුම් සියල්ල අවලංගු කරන බවද වැඩිදුරටත් කියා සිටියේය. 


තමා යළිත් ඉරානයට පැමිණි 1953 අගෝස්තු මාසයේදීම මොසාඩෙක්ගෙන් පළිගැනීම ආරම්භ කළ ෂා රජු හමුදා නිලධාරින්ගේ සමාජ ශාලාවේ රඳවාගෙන සිටි ඔහු 1953 අගෝස්තු 24 වැනි දින සිර ගත කෙරුණු අතර රාජාඥාවක් නොපිළිගැනීම හේතුවෙන්ද ඔහු රාජද්‍රෝහියෙකු සේ සලකා නඩු පවරන බවද ප්‍රකාශ කළේය.


මෙයින් නොනැවතුණු ෂා රජු, තමාට හිසරදයක් වූ ඉරානයේ කොමියුනිස්ට්වාදී “තුඬේ” පක්ෂයද තහනම් කිරීමට කටයුතු කළේය.
සිය රටට යළි අඩිය තැබූ සැණින්ම දුන් පොරොන්දුවට අනුව ෂා රජතුමා, ජනප්‍රියතාව වැඩිකර ගැනීමේ අභිප්‍රායයෙන්ද යුතුව, තම 34 වැනි උපන් දිනය සමරමින්, අක්කර 16 ඉඩම් කැබලි වශයෙන් ඉඩම් කැබැලි 1600ක් ගොවීන් අතර සින්නක්කරව බෙදා දුන්නේය.
1953 දෙසැම්බර් 21 වැනිදා මොසාඩෙක්ට විරුද්ධව නඩු විභාගය ආරම්භ කරන ලද අතර බරපතළ චෝදනා වූයේ රාජාඥාව නොපිළිගැනීම හා ෂා රජුට විරුද්ධව මාරාන්තික කැරැල්ලක් මොසාඩෙක්ගේ නායකත්වයෙන් ආරම්භ කිරීමය.


මෙම චෝදනාවන්ද ඇතුළත් කර විධිමත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ පැමිණිලි පක්ෂය, මොසාඩෙක්ට මරණ දඬුවම අනිවාර්යයෙන්ම දිය යුතු බවට යෝජනා කළේය. ඊට එකහෙළාම විරුද්ධ වූ ෂා රජු අපක්ෂපාතීව නඩුව විභාග වනු දැක්ම අපේක්ෂා කළේය.


කෙසේ වුවද පස් දෙනෙකුගෙන් යුත් මිලිටරි අධිකරණයකින් නඩු විභාගය ආරම්භ කෙරිණ. තීන්දුව වූයේ මොසාඩෙක් වැරැදිකරු කර සිර දඬුවමට යටත් කිරීමය. එම තීන්දුවට විරුද්ධව එවෙලේ ඇපිල් කළ අතර නඩුව යළි විභාග කිරීම ඇපල් උසාවියට යොමු කෙරුණි. සුප්‍රිම් උසාවිය ඊට විරුද්ධ වීම නිසා නඩුව යළිත් යුද්ධාධිකරණයකට යොමු කරන ලදී. 1954 මැයි මස 12 වැනි දින එමගින් දෙනු ලැබූ තීන්දුව වූයේ මොසාඩෙක්ට බරපතළ වැඩ ඇතුව තෙවසරක සිර දඬුවමකට යටත් කිරීමය.


මේ කාලසීමාව තුළ ලංකාවේ නව අගමැති වශයෙන් පත් වූ සර් ජෝන් කොතලාවල, 1954 දෙසැම්බර් 06 වැනි දින කැනඩාවට සැපත් වීමෙන් අනතුරුව ඇමෙරිකාවට පැමිණ අයිසන් ෆවර් ජනාධිපතිවරයාගේ රාජ්‍ය අමුත්තෙකු වශයෙන් වොෂින්ටනයේ බ්ලෙයාර් හවුස් මන්දිරයේ තුන් දිනක් නවාතැන් ගෙන සිටි අතර ඇමෙරිකාවේ නැෂනල් ප්‍රෙස් ක්ලබ් ආයතනය මගින් පැවැත්වූ සංග්‍රහයකටද සහභාගි විය.


එහිදී පැවැති පුවත්පත් සාකච්ඡාවේදී ඇමෙරිකානු යුද පිළිවෙත දැඩි විවේචනයට ලක් කළේ, කොතැනදීත් කෙළින් කතා කරන නායකයෙකු හැටියටය.


අග්නිදිග ආසියාවේ ඇමෙරිකාව ගෙනියන පිළිවෙත ලංකාව විසින් අනුමත නොකරන බවත්, රතු විරෝධී නම්, ඊට විරුද්ධ ආයුධයක් ලෙස වහාම එම රටවල ජනතාවගේ ආර්ථික තත්ත්වය නැංවීම පළමු තන්හිලාත්, අවි ආයුධ සැපයීමක් වෙතොත්, එය දෙවෙනි තන්හිලාත් කටයුතු කරනු දැකීම ලංකාවේ එකම අභිලාෂය බවත්, සර් ජෝන් අගමැතිවරයා ප්‍රකාශ කළේය.


ඊට සතියකට පමණ පසු එනම් 1954 දෙසැම්බර් 13 වැනි දින ඇමෙරිකාවේ අයිසන් ෆවර් ජනාධිපතිවරයා හමුවීමට සුහද සංචාරයක යෙදුණු ඉරානයේ ෂා මොහොමඞ් රිසා පාලවී රජුද “නැෂනල් ප්‍රෙස් ක්ලබ්” මගින් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ, ආසියාකරයේ ආරක්ෂාව පතා යුද අවි ප්‍රවාහනය කරවීමට වඩා දිළිඳු තත්ත්වයෙන් පවතින එම රටවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා කළ හැකි යමක් කරතොත් එය වඩාත් ඵලදායී බවය. එසේම කලට වේලාවට ආර්ථික, තාක්ෂණ ආධාරදී ඉරානයේ ව්‍යාපාර සඳහා ධනය ආයෝජනය කොට බටහිරට ලබාගත හැකි වැඩි වාසි ලබා ගැනීම මුලට තබා කටයුතු කිරීම ඉතා වටිනා බවද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේය.


අනතුරුව තම ඉඩම් අක්කර 1,75,000ක් ගොවීන් 7000ක් අතර බෙදා දීමට ක්‍රියාකර ඇති බවද ෂා රජු ප්‍රකාශ කළේය.
ෂා රජුගේ ප්‍රකාශය, සර් ජෝන් පැමිණ යෑමෙන් සතියකට පමණ පසු සිදු කිරීම නිසා දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස වූයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ෂා රජු සර් ජෝන්ගේ කීම අනුමත කිරීමක් වූ බවය.

 

 

 

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර