ජනවරම ඇඟේ හලාගත් ආණ්ඩුවක කතාවක්-3

ප්‍රධාන තේමාව වූවේ ඒකාධිපති ඉන්දිරා පාලනය පලවා හරිනු යන්නය. තම තමන්ගේ පක්ෂ අතර අහසට පොළව මෙන් පවතින ප්‍රතිපත්තිමය ගැටුම් සහ මත භේදද කාලාන්තරයක් මුළුල්ලේ මෙම දේශපාලන කරුණු මත පවතින නයි - මුගටි වෛරයද නොසලකා ඉන්දිරා විරෝධය පමණක් උපයෝගී කර ගනිමින් මොවුහු සන්ධාන ගත වූහ.


බටහිර කඳවුරට බෙහෙවින්ම පක්ෂපාත මතවාදයක් දැරූ එමෙන්ම ටාටා බිර්ලා ආදී ධන කුවේරයන්ගෙන් ලැබෙන අරමුදල්වලින් පෝෂණය ලැබූ මොරාජි දේසායිගේ දක්‍ෂිණාංශික කොන්ග්‍රසය, මාක්ස්වාදය සහ සමාජවාදය ගුරු කොටගත් රාම් මනෝහාර් ලෝහියා ආරම්භ කළ ප්‍රජා සෝෂලිස්ට් පක්ෂය එවැනිම මතවාදයක් අනුගමනය කළ අශෝක මේතාගේ සංයුක්ත සමාජවාදී පක්ෂය ජායිපූර්හි මහාරාණිය නායකත්වය දැරු ඉන්දියානු සමාජයේ මහාරාජාවරුන්ගේ සහ ඉහළ රදල සමාජයේ අයිතිවාසිකම් හා වරප්‍රසාද නියෝජනය කරන ස්වතන්ත්‍ර පක්ෂය තනි හින්දු රාජ්‍යයක් සඳහා පෙනී සිටි අතල් බිහාර් වජ්පායි නායකත්වය දුන් ජාන් සාන් නැමති දක්‍ෂිණාංශික පක්ෂය ඉන්දියාවට නිදහස දිනාදීමේ වීරයා වූ අවිහිංසාවාදී මහත්මා ගාන්ධිතුමා මරාදැමීම සිදුකළ රාෂ්ටී්‍රය ස්වයං සෙවක් සංග් හෙවත් ආර්. ඇස්. ඇස්. පක්ෂය සහ අවසාන මොහොත තෙක්ම ඉන්දිරාගේ රජය තුළ කටයුතු කළ හරිජන නායක ජග්ජීවන් රාම්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කොන්ග්‍රසය යන සියලුම කණ්ඩායම් සහ හරියානා ප්‍රාන්තයේ මහ ඇමැතිව සිටි දේවිලාල්ගේ පක්ෂයද එක්ව භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී.) නමින් ඒකාබද්ධ සංධානයක් ගොඩනගා ගෙන තිබුණි. මෙම හවුලට පන්ජාබයේ ෂික් ජනතාවගේ ශිරෝමණි අකාලි දාල් පක්ෂයේ සහායද ලැබුණි. අගමැති නේරුගෙන් පසු අගමැති ධුරය තමන්ට උරුමයැයි යන අදහසින් පසුවු ඔහුගේ නැගණි විජය ලක්ෂ්මි පණ්ඩිතද මෙම ඉන්දිරාගේ සතුරු පිලට එක්වීම ඇයට විශාල පාඩුවක් විය. මාර්තු මැතිවරණයේදී හුදෙකලාව සටන් වැදුණු ඉන්දිරා ගාන්ධි පරාජයට පත්විය. දක්‍ෂිණාංශික බී.ජේ.පී. සභාගයට විශාල ජයග්‍රහණයක් අත්විය. උතුරේ කාශ්මීරයේ සිට දකුණේ කන්‍ය කුමාරි තුඩුව දක්වාත් බටහිර වෙරළේ හි ගුජරාටයේ සුරන්හි සිටි නැගෙනහිර දිග පිහිටි මයිසූරයේ බුවනේශ්වර් දක්වාද, සමස්ත ඉන්දීය භූමි තලය සිසාරා ගිය සුවිශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඉන්දිරා විරෝධීන්ට හැකිවිය. ඉන්දිරා ගාන්ධි අගමැතිනිය නියෝජනය කළ උත්තර ප්‍රදේශ්හි රායි බරෙල්ලි ආසනය ඇයගේ ප්‍රතිවාදියා වූ රාජ් නාරේන් දිනා ගත්තේ වැඩි ඡන්ද ලක්ෂ දෙකකට ආසන්න ගණනකිනි. ඇයගේ පුත් සංජේ ගාන්ධි ඔහුගේ ඇමැති අසුනින් පරාජය වූවේ එයටත් වැඩි ඡන්ද ගණනකිනි. 


ඉමහත් ප්‍රචාරයක් ලබාදෙමින් ගෙනගිය ඉන්දිරා විරෝධය සාර්ථක විය. කැබිනට් ඇමැතිවරු රොත්තක්ම පරාජය වූහ. අවශ්‍ය වෙනස සිදුවිය. සියල්ලන්ගේ සුබපැතුම් මැද මොරාජි දේසායි අගමැති තනතුරට පත් විය. දේවිලාල් නියෝජ්‍ය අගමැති විය. අනෙකුත් නායකයෝ වෙනත් ඇමැතිධුර භාරගත්හ. එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වසති යනුවෙන් කියමනක් තිබේ. ඉන්දියාවේ අලුත් රජය එවැන්නක් නොවීය. නොයෙකුත් වර්ගවල අසමාන කුරුල්ලන්ගෙන් එම රංචුව සමන්විතව තිබුණි. ආරම්භයේ එම රජය නයින් - මුගටින් එකට ලගින ගුහාවක් මෙනි. නියෝජ්‍ය අගමැති ලෙස පත්වීම් ලබා සිටි දේවිලාල් කිසිවෙකුට අවනත නොවන හිතුවක්කාරී වහා කිපෙනසුලු ගති පැවතුම් ඇති දේශපාලනඥයෙකි. ඔහු නියෝජනය කළ හරියානා උතුරු දිග පිහිටි පන්ජාබ් ප්‍රාන්තයේ හින්දුන් වෙනුවෙන් බෙදා වෙන් කළ ප්‍රාන්තයක් විය. එම ප්‍රාන්ත දෙකටම අගනුවර වූවේ අම්රිත්සාර් නගරයයි. අන්තවාදී හින්දුවෙකු වූ දේවිලාල් නිරන්තරයෙන්ම ෂික්වරුනට එරෙහිව කටයුතු කළේය. පසුව එය ඇමති මණ්ඩලයේ ආරවුලකට මෙන්ම රට බෙදී යාමේ අර්බුදයක් මෙන්ම සිවිල් යුද්ධයකට හේතු වූ බව කියනු ලැබේ. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මහා වියවුලකට මුල්වූයේය. මුදල් ඇමැති කරන් සිං ඉල්ලා අස්වූවේය. ප්‍රතිපත්තිමය විරෝධතා නිසා කැබිනට් රැස්වීම් නිමාවූයේ ගුටිබැට හුවමාරු කර ගනිමිනි. රජයේ ඒකමතික බව තිබුණේ ඉන්දිරා විරෝධය මත පමණි. මේ ක්‍රමයෙන් රජය දවස් ගෙවා ගනිද්දී ඉන්දිරා දූෂණ චෝදනා මත අධිකරණය හමුවට පමුණුවනු ලැබුවාය. ජාතික නිදහස උදෙසා ලෙයින් දහදියෙන් තම පරම්පරික ධනයෙන් අප්‍රමාණ පරිත්‍යාග කර ඇති පරපුරක උරුම කාරිය වූ ඇයට මෙසේ හිරිහැර කිරීම සාධාරණ නොවන බවට ජනතාව මත පළකරන්නට විය. මුලින් ඉතා ටික දෙනෙකුගෙන් ඇති වූ මතවාදය පසුව බොහෝ දෙනා අතර ව්‍යාප්ත විය. අනුක්‍රමයෙන් මෙය රජයේ මැති ඇමැතිවරුන් අතරටද පැමිණියේය. පසු පෙළ මන්ත්‍රීවරු කීප දෙනෙක් පාර්ලිමේන්තුවේදී මේ ගැන කියා සිටියහ. මේ කරන්නේ බොරුවක්. මෙය සම්පූර්ණයෙන්ම පළි ගැනීමක්. ඔවුහු කීහ. මෙසේ රජය තුළ මත දෙකක් පැවතුණි. මෙම සිදුවීම්වල ප්‍රතිඵලයක් වශයෙන් රජයේ පාර්ශ්ව රජයෙන් ඉල්ලා අස්විය. 


මන්ත්‍රී ආසනයක්ද නොමැතිව විපක්ෂය මෙහෙයවමින් සිටි ඉන්දිරා ගමෙන් ගමට නගරයෙන් නගරයට ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගොස් ජනතාව අමතමින් විශාල ජනතාවක් ඒකරාශි කර ගැනීමට සමත් වූවාය. එවකට හිස්වූ පාර්ලිමේන්තු ආසනයක් සඳහා අතුරු මැතිවරණයක් ප්‍රකාශයට පත්වූවේය. එය පැවැත්වීමට නියමිත වූවේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ චිග්මගලූර් ආසනයේය. තම රායිබරේල්ලි ආසනයට සැතපුම් දහස් ගණන් දුර චිග් මගලූර්හි අතුරු මැතිවරණයට ඉන්දිරා ගාන්ධි ඉදිරිපත් වූවේ කොන්ග්‍රස් (අයි) පක්ෂයෙනි. කොන්ග්‍රස් පක්ෂයේ නිල ලකුණ වූ එළදෙන සහ පැටියා ලාංඡනය ඇයට අහිමිව තිබුණි. ඇය තරග කළේ අත ලකුණ උපයෝගී කර ගනිමින් අලුත් පක්ෂයකිනි. අලුත් ලකුණකින් තරග කළ ඉන්දිරා ජය ගත්තාය. 


එසේ පාර්ලිමේන්තුවට පැමිණි ඇය එතෙක් පාළු ගෙයි වළං බිඳිමින් සිටි ප්‍රතිවාදීන්ට මුහුණට මුහුණ අභියෝග කිරීම ඇරඹුවාය. 1977 දී ජනතාවට ලබා දෙන බවට පොරොන්දු වූ ‘වෙනස’ කොහිදැයි ඇය විමසුවාය. ලාභයට ආහාර, සුව පහසු දිවියක්, දූෂණයෙන් තොර ඉන්දියාවක්. යහපත් පාලනයක් මේවා ඇතිකළේ භාරතයේද? පිටසක්වළ දැයි ඇය විමසුවාය. සමගියක් නැති ආණ්ඩුවක් නිසා රට අන්ත පරිහාණියට පත්ව ඇති බවට හිටපු අගමැතිනිය රජයට චෝදනා කළාය. 


ගතවූයේ කෙටි කාලයකි. ඉන්දිරා ගාන්ධිගේ නව පක්ෂයේ හා එහි ලාංඡනය වටා ජනයා එක් රැස්වූහ. එකිනෙකා කුලැල් කා ගනිමින් නොහොද නෝක්කාඩුවෙන් රට පාලනය කරමින් සිටි මොරාජි දේසායි රජය හදිසියේම ඇද වැටුණි. ටික කලකට පසු පැවති මැතිවරණයෙන් ඉන්දිරා නැවත ජයග්‍රහණය ලැබුවාය. 


ආසියාවේ අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ පමණක් නොව යුරෝපයේ පවා ජනසම්මත ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන රටවල මෙවැනි විපර්යාස බොහෝ විට සිදුව තිබේ. එදා ඉන්දියාවේ නම් අද වෙනත් රටකය.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ