“දුවේ ඔබ මා ළඟ ඉන්නවා නම් මං ආසයි. අපට තිබෙන මේ සුන්දර ලෝකය ගැන කියා දෙන්නට මල් ගැන තාරකා ගැන කඳු ගැන අපේ ලෝකයේ තිබෙන බොහෝ අරුම පුදුම දේ ගැන කියා දෙන්නට මං කැමතියි.” 


ඒ මුළුමහත් භාරතයේ රාජ්‍ය නායකයා වූ මුළු ජීවිත කාලය පුරා දරුපරපුරට පෙම් කළ සෞන්දර්යවාදියකු මෙන්ම ජාතික නිදහස උදෙසා සටන් වැද සිර බත් රස බැලූ අභීත නායකයකු වූද ජවහර්ලාල් නේරු තම දියණිය ඇතුළු දරුපරපුරට ලියූ ලිපියක උපුටනයකි. 


ඉන්දීය නිදහස් අරගලය වෙනුවෙන් ඉංග්‍රීසි පාලකයන්ට කළ අභියෝග නිසා සිරගෙට නියම වූ සටන්කාමීන් අතර නේරුද විය. එහිදී ද තම දියණියට ඔහු සංවේදී හැඟුම් දනවන ලිපි රාශියක් ලිව්වේය. 


දුවේ නිදහස සඳහා සටන් කරන අපට ජීවත් වෙන්න නිවාස දෙකක් තියෙනවා. එකක් අපේම මහ ගෙදර. අනෙක සිර ගෙදර.  මේ නිවාස දෙකේම වරින් වර සතුටින්  කාලය ගෙවීම මට දුකක් නොවෙයි. 


1899 නොවැම්බර් 14 වැනිදා අඳුරු ඉන්දීය අහස් තලයේ පෑයූ  රිදී රේඛාවක් මෙන් පණ්ඩිත මෝතිලාල් නේරු හා ස්වරූප් රාණි නමැති ප්‍රභූ දෙපළට දාව ජවහර්ලාල් උපත ලැබීය. මැණිකක්, ආභරණයක් යන අරුතින් පුතුට ජවහර් යන නම තැබිණි. ඔහුගේ මුල් ගුරුවරයා වූ එෆ්. ටී. බෲකස් වෙතින් විෂය දැනුමට බාහිරව ලෝකය ගැන මුල් අත්පොත හැදෑරිය. 


එංගලන්තයේ හයිරෝ පාසලින් උසස් අධ්‍යාපනය හදාරා කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලැබූ ජවහර්ලාල්  1916දී ශ්‍රීමති කමලා කාවුල් සමග විවාහ විය. ඔහු බිරිඳට නොදෙවනිව උපන් දැයට පෙම් කළේය. එහි නිදහස වෙනුවෙන් සටන් මගට බැස්සේය.


1916 දී මහත්මා ගාන්ධි හෙවත් බාපුගේ දර්ශනය අනුගමනය කරමින් මහා සත්‍යග්‍රහයන්ටද එක්විය. පුතාගේ සටන්කාමිත්වයට ගෞරව කළ පියාද ඉන්දීය නිදහස් සටනට එක්වූ අතර එතැන් සිට ජනතාව ඔවුන් හැඳින්වූයේ ශුද්ධ වූ ත්‍රිත්වය නමිනි. 


1921 දී අමිරිත්සාර් හිදී නිදහස් අරගලයට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් කළ පහරදීමෙන් ඉන්දීය වැසියන් 379ක් මියගිය අතර එතැන් පටන් ඉංග්‍රීසි පාලනය ගැන දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශූද්ධ වූ ත්‍රිත්වය තීරණය කළෝය. 
එම වසරේ මෙම පෙරළිකාරයා ඇතුළු දේශප්‍රේමීන්ට සිදුවූයේ සිරගෙදර කූරු ගණන් කිරීමටය. සිරකරුවෝ වනාහි මනුෂ්‍යයෝය කීවා සේ සිරගෙදර දිවිය දේශප්‍රේමීන්ගේ සුහද හමුවක්ම විය. 


“ඉන්දියානුවන්ට තම ගෙදර මෙන්ම සිරගෙදරත් එක වගේය.” යනුවෙන් ජවහර්ලාල් පියා තම හුරුබුහුටි ඉන්දිරා දුවට එහි සිට ලියා එව්වේ එලෙසිනි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ  නායකත්වයට පත්වූ ජවහර්ලාල් 1947 අගෝස්තු 15 දින නිදහස ලැබූ මව්බිමේ ප්‍රථම අගමැති ලෙස තෝරා ගැනිණි. 


මහත්මා ගාන්ධිගේත් තම සීයා වූ පණ්ඩිත මෝනිලාල් නේරුගේත් පියාගේත් අඩිපාරේ යාමට තරම් සතුටක් ජවහර්ලාල්ගේ ප්‍රිය දියණිය වූ ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධිට තවත් නොවීය. 


චාචානේරු (නේරු සුළු පියා) යන සුරතල්  වදනින් රටේ ළමුන් තම පියා අමතන අයුරුත් මහා රාජ්‍යතාන්ත්‍රිකයකු වුවත් කුඩා දරුවකු මෙන් ළමා කැලට පියා ආදරය කරන අයුරුත් ඇයට රසඳුනක් විය. 
1917 වසරේ නොවැම්බර් 19 දින උපත ලැබූ ඉන්දිරා 1950 දී අගමැති පියාගේ පෞද්ගලික සහයිකාව ලෙස දේශපාලන පන්නරය ලැබුවාය. 


තමාටත් තම පවුලටත් මුළු දැයටත් නොබැඳී පිළිවෙත අගයන ලෝකයාටත් නෙතට කඳුලක් දෙමින් ජවහර්ලාල් නේරු 1964 දී උපන් බිමෙන් සදහටම සමුගන්නා විට ඇය රාජ්‍ය සභා සාමාජිකාවක ලෙස පත් කෙරිණි. 
අනතුරුව එළැඹි ලාල් බහුදූර් ශාස්ත්‍රියේ රජයේ ඇයට හිමිවූයේ තොරතුරු හා ප්‍රචාරණ අමාත්‍ය ධුරයයි. ඇගේ දේශපාලන දැනුම මුවහත් වනවිට ලාල් බහදුර් ශාස්ත්‍රි හෘදයාබාධයකින් මිය ගියේය. ශාස්ත්‍රිගේ විදේශීය ප්‍රතිපත්තිය   ඇයගේ පැසසුමට ලක්ව තිබිණි. පියා මෙන්ම යටත් විජිත හා වර්ණභේද  විරෝධී ප්‍රතිපත්තියක් ඇය අනුගමනය කළාය. 


“දුවේ ඉන්දීය පසට සදාකාලික මගේ අළු පොහොර වේවි. අපේ කුඹුරු ඉන් සාරවත් වේවි. මගේ අළු  ගංගානම් ගඟේ පාවී ගොස් සයුරට එක්වී ඉන්දියන් වෙරළ සෝදාවි”. ඒ නේරු ලියූ තම අන්තිම කැමැත්තයි. 
ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක පවුල හා ඉන්දියාවේ ගාන්ධි පවුල අතර පැවතියේ අසල්වැසිකමටත් වඩා සොහොයුරු බැඳීමකි. අපේ රටේ ලොකු අයියා ඉන්දියාව ලෙස තවමත් හැඳින්වෙයි. ඉන්දිරා හා සිරිමාවෝ පියවරුන් මෙන් තදනන්තරව බැඳුණහ. සිරිමාවෝ මැතිනි මෙරටත් මුළු ලොවෙහිත් පළමු අගමැතිනිය වනවිට ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ පළමු අගමැතිනියත් ලොව දෙවන අගමැතිනියත් වන්නට වාසනාව ලැබුවාය. දෙරටට නොබැඳි  විදේශ ප්‍රතිපත්තිය තුළින් ජයග්‍රහණ රැසක් ලැබිණි. 


බණ්ඩාරනායක මැතිනිය මෙන්ම එක දිගටම ඇය  සටන් වැදී ක්‍රියාමාර්ග රැසකට අත තැබුවාය. 1969 වරප්‍රසාද ලත් මහාරාජවරුන්  සතුව පැවති තෙල් බැංකු, පතල් ආකර ආදී  සම්පත් ජනසතු කළාය. 
‘දුප්පත්කම තුරන් කරමු’ 1971 ඇගේ ප්‍රධාන සටන් පාඨය විය. යුගෝස්ලොවියානු නායක මාර්ෂල් ටිටෝ, ඊජිප්තු නායක අබ්දුල් නසාර් වැනි ප්‍රබල නොබැඳි නායකයෝ පියාගේ අඩිපාරේ යන දියණියට උදව් කළහ. ඉන්දියාව නිදහස් නිවහල් දේශයක් හා ශක්තිමත් ආර්ථිකයක් ඇති බලවතකු කිරීමට සමත් වූ ඇය හැඳින්වූයේ “යකඩ ගැහැනිය” යන විරුදාවලියෙනි. 


1971 වනවිට නැගෙනහිර පකිස්ථානය ලෙස නම් කළ භූමිය බංගලාදේශය නම් ස්වාධීන රාජ්‍යයක් කිරීමේ ගෞරවය හිමිවන්නේ ද ඇයටය. 1962  දී චිනය සමග දේශසීමා  අරගලයක් ඇතිවී තිබිණි. එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට ඉන්දිරාගේ  නුවණට හැකි විය. 


1966-87 යුගය තුළ ඉන්දිරා සිව් වරක් විධායක බලතල සහිත අගමැතිවරිය වී සිටියාය. ඇගේ නොසිඳෙන පැතුම් දෙකක් විය. එනම් තම නෙත් දෙකවන් පුතුන් දෙදෙනා ගැනය.  තම දයාබර සැමියා වූ ෆෙරොස් ගාන්ධිගේ සමුගැනීමෙන් පසු 1980දී දේශපාලනයේ අත්පොත් කියමින් සිටි සංජේ ගාන්ධි අභිෂේක ලබන්න ඔන්න මෙන්න කියා තිබියදී හදිසි ගුවන් අනතුරකින් මිය ගියේය.  ඒ දුක ඇයට වාවා ගැනීම අසීරු විය. 
ඉන්දිරා රජයේ කඩාවැටීමද ඒ සමග ඇරඹිණි. ඉන්දියාව පුරා දේශසීමා ජනවාර්ගික අරගල ආගමික කලබල ද ආණ්ඩුව තුළ මත ගැටුම්ද ඇතිවිය. 


ජයප්‍රකාශ් නාරායන් රජය තුළ දූෂණ හිතුවක්කාර පත්වීම් මර්දනකාරී පිළිවෙත පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර එම අරගල හදිසි නීතිය යොදා පාලනය කිරීමට ඉන්දිරා තැත් කළාය. අලහාබාද් මහාධිකරණය හමුවේ එම චෝදනා රැසක් ඔප්පු කිරීමට ද ප්‍රතිගාමීහු සමත් වූහ. දේශපාලන විරුද්ධ මතධාරීන් අත්අඩංගුවට ගැනිණි. 


1971 දී පකිස්ථාන යුද්ධය මර්දනය කළත් වරින්වර එහි දුර්විපාක  බලපාන්නට වූ අතර 1980 දී යළි බලයට පැමිණි ඇයට පන්ජාබ් සික් බෙදුම්වාදීන් සමග ජීවිතය පරදුවට තබා ගැනීමට සිදුවීම ඛේදවාචකයකි. එසේම උතුරු නැගෙනහිර ගෝත්‍රික  අරගලය මැඩලීමට තම හමුදාව වෙහෙසවීමට ඉන්දිරාට සිදුවිය. 


1984 ඉන්දියාව ලේ විලක් කරමින් සික් ජාතික අන්තවාදීහු රන් දෙවොලේ සිට ඉන්දීය හමුදාවන්ට  අභියෝග කළහ. ඉන්දියානු හමුදා  ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් සිය ගණනකට ජීවිත අහිමිවිය. එය ඉන්දිරාගේ දේශපාලන ජීවිතයේ කළු පැල්ලමක් බඳුවිය. 


1984 ඔක්තෝබර් 31 වැනිදා උදේ  නවයේ කනිසම නාද විය. හරියට 9.20ට නවදිල්ලියේ සෆ්ඩර්ජුන් මාවතේ පිහිටි අංක 01 දරන අගමැති කාර්යාලය වෙත පාගමනින් යද්දී ඇගේම ශරීරාරක්ෂක  සික් ජාතික භටයන් දෙදෙනාගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමට සිදුවිය. තම පරපුර විසින් නිදහස් කර ගන්නා ලද ඉන්දීය දෙරණ  සිප ගෙනම ඇය මිය ගියාය. 


ඇගේ පූර්වාචාර්යන්වූ බාජුටද රට බාර ගන්නට සිටි පුත් රජිව්ටද අත්වූයේ එම ඉරණමමය. ගාන්ධි පරපුරෙන් ගිලිහුණු ධජය මුණුපුරන් වන රාහුල් සහ චරන් ඉදිරියට රැගෙන යනු ඇතැයි ඉන්දිරා පතන්නට ඇත.

 

 

 

 

 

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි