ඇණයට පහර වදිනතුරු එය මිටිය ගැන විශ්වාසය නොතබන බව ගොවිපොල අවට ගම්බද ජනයා කියති. සිතිටා කියු දේවල් මා සිතින් ඉවත් කර තැබුවේ යළි සිදු නොවන භයානක අත්වැරැද්දක් මෙන් සලකාය. අනතුරුව මිටිය එක එල්ලේම අපගේ පාසලට එනම් ලීනා ලොවැටන්ගේ හිස මතට පහත්විය. වෙනසකට තිබුණෙ අද අලුත විවාපත් මනාලියක මෙන් එය සතුටින් පිළිගෙන ආදරය නමින් හඳුන්වමින් ඉවත්ව යාමය. 


අපේ කන්‍යාරාමයේ සිටි ලීනා, එලිසා, ලුවිස්, සිනිටා හා මට වඩා වසර කිහිපයකින්  වැඩිමහල්ය. නමුත් අප කන්‍යාරාමයේ විසූ අවසන් වසරේ දී අප සිටියේ පහළොවේ හා දාහතේ පිරිස මැද තිබු ඉඩකය. ලීනා ලොවැටන් රටේ නායකයාගේ ගොදුරක් බවට පත් වන විට අපි ඇය දැන හඳුනා අපි කෙරෙහි ඇල්මෙන් අසුවීමු. 


අප ඈ දෙස බැලුවේ ඈ සෙසු දාහත් හැවිරිදි සිසුවියන්ට වඩා බොහෝ වැඩිමහල් අයෙකු මෙන් සලකාගෙනය. අද ඇගේ වයසට වඩා උස මහතින් වැඩී ඇත. රතු හා රන්වත් පාට මිශ්‍ර හිසකේ සහිත වු අතර ඇගේ සම දිස්වූයේ ඒ මොහොතේ උදුනෙන් බා ගත් අයුරින්. උණුසුම් රන් පැහැ දිස්නයකින් යුතුවය. වතාවත් නාන කාමරයේදී සොකොරෝ කන්‍යා සොයුරිය ඉවත්ව ගිය විට එල්සා ඇයට බල කළෙන් ලීනා ඇගේ ගවුම ඉවත් කර වසර කිහිපයකට පසුව අපගේ පෙනුම දිස්වන අන්දම පෙන්වූවාය. 


ඈ ගීතිකා කණ්ඩායමේ ගැයුවේ සුර දූතියකගේ වැනි මිහිරි සරින්ය. ඇගේ අත් අකුරුද බොහෝ අලංකාර වුණි. ලීනා අපට කොණ්ඩය අගින් ඔතා ගන්නා අන්දම කියා දුන්නාය. රජෙකු මුණ ගැසුණු විට ආචාර කරන අන්දම අපට කියා දුන්නාය. අපි ඈ දෙස බලා සිටියෙමු. රූමත් ලීනාට අප සැමගේ ආදරය හිමිවිය. 


කන්‍යා සොයුරියෝද ඇයට ඇලුම් කළහ. පාසලේ කටයුතුවල දී ඇයට බොහෝ විට මුල් තැන හිමිවුයේ එබැවිනි. මාගේ සොයුරිය පැටි්‍රයා මෙන්ම ලීනා ද නිතරම සතියේ යහපත් හැසිරීම උදෙසා දෙන රිබන් පටිය දිනා ගත්තාය. ඈ එය ඇගේ ලොම් රෙද්දෙන් කළ නිල් පාට නිල ඇඳුම මතින් එය පැලඳ සිටියේ බොහෝ අභිමානයෙනි. 


එය ඇරඹි සැප්තැම්බරය මට තවමත් මතකය. එවිට අප සිටියේ එළියට වී වොලිබෝල් ක්‍රීඩා කරමිනි. අපගේ නායිකාව ලීනා අප ජයග්‍රහණය වෙත රැගෙන  යමින් සිටියාය. ඝනකමැති ගෙතූ කොණ්ඩය ලිහිල් වී මුහුණ රෝස පැහැයට හැරී සිටි ඈ බෝලය වෙත එහා මෙහා පනිමින් සිටියාය. 


සොකොරෝ කන්‍යා සොයුරිය කඩිනමින් පිටතට පැමිණියාය. ලීනා ලොවැටන් වහා ඉවත්ව යා යුතු වුණි. ඈ හමුවීම සඳහා වැදගත් ආගන්තුකයෙකු පැමිණ තිබිණි. මෙය බොහෝ  අසාමාන්‍යයෙක් වූයේ සතියේ දිනවල අපට ආගන්තුකයන් ගෙන්වීමට අවසර නොතිබූ බැවිනි. කන්‍යා සොයුරියන් එය දැඩි ලෙස ක්‍රියාත්මක කළේය. 


ලීනා ඉවතට ගිය පසුව සොකොරෝ කන්‍යා සොයුරිය ඇගේ කොණ්ඩා පටිය ගැට ගසා නිල ඇඳුමේ රැළි සකසා සාය ද කෙළින් සිටින සේ අතින් සැකසුවාය. අප යළි ක්‍රීඩාව ඇරඹු නමුත් අපගේ නායිකාව නොමැතිව එය පෙරදී මෙන් සාර්ථක නොවීය. 


ලීනා ආපසු ආවේ ඇගේ ළය මඩලේ ඉහළින් සවිකළ දිලිසෙන පදක්කමක් සහිතවය. අප ඈ වටා රොක්වූයේ ඇය බැලීමට පැමිණි වැදගත් අමුත්තා පිළිබඳව දැන ගැනීමටය. ‘ටෘහිලෝ ද’ යි අප සැවොම කෑ ගැසූවෙමු. ‘ටෘහිලෝ කියා බලන්න ආවා ද’ දෙවැනි වතාවටත් පිටතට පැමිණි සොකොරෝ කන්‍යා සොයුරිය කඩිනමින් අප නිහඩ කරවා උඩු මහළට යැවීමට කටයුතු කළාය. අපට ලීනාගේ කතාව ඇසීම සඳහා එදින රැයේ විදුලි පහන් නිවී යනතුරු බලා සිටීමට සිදුවිය.


එය සිදුව තිබුණේ ටෘහිලෝ පාසලට යාව තිබූ හමුදා නිලධාරියකුගේ නිවහනට ළඟාවීමක් වශයෙනි. 


පහළ මිදුලේ ක්‍රීඩා කරමින් අප නැගූ  ඝෝෂාව නිසා ටෘහිලෝ සඳැල්ලට විත් බලා ඇත. අපගේ සුරූපී ලීනා නෙත ගැටීමෙන් පසුව ඔහු එක එල්ලේ පාසල කරා පැමිණ ඈ හමුවීමට අවසර පතා තිබේ. ඔහු නැහැ, බැහැ යන්න පිළිතුරක් මෙන් භාර නොගනී. එබැවින් ඇසුන්ෂන් කන්‍යා සොයුරියට අවසානයේ ලීනා ගෙන්වීමට සිදුව තිබිණි. ලීනා පැවසු අන්දමට සොල්දාදුවන් වට කරගෙන සිටිය දී ටෘහිලෝ සිය නිල ඇඳුමේ තිබූ පදක්කමක් ගලවා ඇයට පලදා තිබුණි. 
ඉතින් ඔයා මොනවද කෙරුවෙ? අප සැම දෙනාටම දැන ගැනීමට උවමනාවිය. විවෘත කවුළු තුළින් ගලා එන සඳ එළියෙන් ලීනා ලොවැටන් එය අපට පෙන්වා දුන්නාය. මදුරු දැල ඔසවා පිටතට පැමිණි ඈ අප ඉදිරියේ සිටගෙන හිස නවා ආචාර කළාය. 


මින් පසුව ටෘහිලෝ බොහෝ විට ලා වේගා වෙත පැමිණීමෙන් එසේ පැමිණි හැම වතාවකම ලීනා ලොවැටන් දැක ගැනීමට පැමිණියේය. පාසලට තෑගි ද එවනු ලැබිණ. පෝසිලේන් බැලරිනාවක්, විවර කළ විට රෝස උයනක සුවඳ දෙන නමුත් බැලූ බැල්මට දියමන්ති කැට මෙන් පෙනෙන කුඩා විලවුන් බෝතල් වගයක්. සේද පෙට්ටියක දැමූ හදවත් හඩ සහිත රන් අත් පලඳනාවන් එල් අකුරු හැඩයක් යනාදී තෑගි ඒ අතර තිබිණි. 


පළමුව කන්‍යා සොයුරියෝ බියපත් වූහ. නමුත් අනතුරුව ඔවුහු ද ත්‍යාග පිළිගන්නට වූහ. අගනුවර විසූ ස්පාඤ්ඤ සිත්තරෙකු ලවා නෙලන ලද  කන්‍යාමරියතුමියගේ නව ප්‍රතිමාව  සඳහා පෙසෝ දහසක පරිත්‍යාගයක් කන්‍යාරාමයේ ඇතිරිලි සඳහා මස්ලින් රෙදි රෝලක් තුවා වැනි දෑ ඒ අතර තිබිණ. 


ටෘහිලෝගේ ආගමනයක් පිළිබඳ ලීනා ඇයට තොරතුරු කීවාය. ඔහුගේ පැමිණීම ඇය තුළ ද නොඉවසිල්ලක් ඇති කළ සිදුවීමකි. පළමුව පන්ති නතර කිරීම සිදුවේ. අනතුරුව අපගේ නිදන කාමර තුළට පවා රිංගා බලන හමුදා භටයන්ගෙන් පාසල පිරි යයි. 

 

 

 

පරිවර්තනය :
මානෙල් ජයන්ති ගුණසේකර