අප දෙදෙනා පරණ සිදුවීම් ඇදගෙන එකිනෙකාට චෝදනා කරමින් බැණගන්න වීමත් සමග ගැටුම වඩාත් උත්සන්න විය. එය 1952 සිදුවූ සිද්ධියට වඩා වෙනස් විය. එදා සිද්ධියේදී ඇය මට අපවාද නගමින් බැණ වදිද්දී මා කළේ මා වැරදිබව පිළි ගනිමින් සමාව ගැනීමය. නමුත් මෙවර අපි එකිනෙකා හඬමින් එකිනෙකාට චෝදනාකර ගත්තෙමු. අපි හැඬුවේ හරියට කුඩා ළමයින් දෙදෙනෙක් හඬන්නාක් මෙනි. එහි සිටි සාත්තු සේවිකාවන්ටවත්, ශරීර ආරක්ෂකයින්ටවත් අප නතර කිරීමට නොහැකිවිය. කෙසේ හෝ ටික වේලාවක් යනවිට මෙහි බරපතළකම මට අවබෝධවූ අතර ඒ හරහා තරමක් බියක්ද මා තුළ මතුවිය. ඒ හැර මාවෝ ට නියමව තිබුණු රැස්වීමක් සඳහා යන ගමනටත් මා එක්විය යුතුව තිබුණි. එනිසා අනිකුත් ශරීර ආරක්ෂකයන් මා කාමරයෙන් පිටතට ඇදගෙන යන්න උත්සාහ කරද්දී මම ජියැන්ගෙන් ඉවත්ව දිගටම හඬමින් මාවෝ ගේ කාමරය කරා ගියෙමි.

 

ඒ වනවිටත් නින්දෙන් අවදිවී සිටි මාවෝ මා හඬාගෙන කාමරයට කඩාපාත් වෙනවිට ලියැකියැවිලි කියවමින් සිටියේය.  මහ හඬින් හඬා වැටෙමින් කාමරයෙන් පිටතට ඇඟිල්ල දිගු කරමින් මම කතා කරන්නට වීමි. “ජියැන්ග් කුයින් වියරුවෙන් වගේ මට බණිනවා. මා එයාගේ වැඩකාරයෙක් මා එයා වෙනුවෙන් වැඩකරන්න ඕනැ කියලා එයා කියනවා.”


“මේ වගේ නිකරුණේ රණ්ඩු කරණ එක තමුන්ලට කවදාවත් නතරකරන්න බැරිද?.”ඉඳසිටි තැනින් නැගී සිටිමින් මා දෙස රවා බලාගෙන මාවෝ ඇසුවේය. “කොහොමද ඒ රණ්ඩුව පටන්ගත්තේ?.”


“අපි කාඞ් සෙල්ලම් කරමින් හිටියා. මම වරද්දනකොට ඇය මට බණින්න පටන් ගත්තා. මට ඔබතුමත් එක්ක සවස රැස්වීමට යන්න තිබුණ නිසා මට සෙල්ලම් කරන එක ගැන කල්පනාවක් තිබුණෙ නෑ. ඉතින් එයාට තරහා ගිහින් කාඞ් අත බිමට දමලා ගැහුවා.”


මා එය කියා නිමකරන්නටත් පෙර දොර දෙසින් කෑ ගැසීමක් ඇසුණු අතර ජියැන්ග් හඬාගෙන කාමරය තුළට පැමිණියාය. ඒ සැණින් අපි දෙදෙනා එකිනෙකාට එරෙහිව චෝදනා කරමින් කෑ මොර ගසන්නට වීමු. වහා ඉදිරියට පැමිණි මාවෝ මමත් ජියැන්ග් අතරින් සිටගෙන අපට කෑ ගැසිම නතර කරණ ලෙස අණ කළේය. නමුත් අපි දෙදෙනාගෙන් එක් අයෙක් හෝ කෑ ගැසීම නතර නොකළෙමු. මෙය නොවැදගත් දෙයක් මුල්කරගෙන හටගත් ආරවුලක් බව මේවන විටත් මාවෝ අවබෝධ කරගෙන සිටි අතර එක අතකින් මා කාමරය තුළට ඇදගන්නටත් අනිත් අතින් ජියැන්ග් කාමරයෙන් පිටතට තල්ලු කරන්නටත් උත්සාහ කරමින් උස් හඬින් කතා කළේය. “ඕක නවත්තලා දෙන්නම කට වහගන්නවා. තවත් එකපාරක්වත් කෑ ගහන්නෙ නෑ.”


ක්ෂණයෙන් සියල්ල නිහඬවිණි. “තමුන් එයාගේ ජේෂ්ඨයෙක්. එහෙම එකේ  තමුන්ට කටවහගන්න බැරි ඇයි?.” ජියැන්ග් කාමරයෙන් පිටතට තල්ලු කරණ ගමන් මාවෝ ඇගෙන් ඇසුවේය. නමුත් ජියැන්ග් එතැනින් ඉවත්වුණු වහාම මම ඇය ඉලක්ක කරගෙන කෑ ගසන්නට වීමි. එවිට ජියැන්ග්ට ඉවසා සිටින්න බැරි තැන හඬමින් හා අවලාද නගමින් මා වෙත යළිත් කඩා පැන්නාය. මාවෝ රවුමක් කැරකී මාදෙස කෝපාවිෂ්ඨ බැල්මක් හෙළුවේය. “තමුන්ට මොකද වෙලා තියෙන්නෙ?. එයා නවත්ත ගත්තා වගේ  තමුන්ට නවත්ත ගන්න බැරි ඇයි?.”


ඉන් මම නිහඬවීමි. නමුත් ජියැන්ග් ට එය කළ නොහැකිවිය. මාවෝ ඇයට කෑ ගැසීම නතර කරන්නට කීවත් ඇය මට බැණ වදිමින් දිගටම කෑ ගසන්නට වූ අතර මටත් එය අසා සිටීමට නොහැකිව ඇයට බැණ වදිමින් නැවත කෑ ගසන්නට වීමි. ඉන් මාවෝ ගේ රතු කට්ට පැන්නේය. එවර ඔහු හෙණ හඬක් නංවමින් කෑ ගැසුවේය. “නතර කරණවා!” ක්ෂණයෙන් සියල්ල නිහඬවිය. “ආයෙ දෙන්නගෙන් කවුරු හරි කෑ ගහන්න පටන් ගත්තොත් මේකට වගකිව යුත්තා විදිහට අල්ලා ගන්නේ එයා.”


එය අප දෙදෙනාම නිහඬ කරන්නට සමත්විය.


“නැති කරදර මා ගාවට ගෙනත් දාන්නෙ මට වැඩ මදි කියලා උඹලා හිතනවද?. රණ්ඩු කරමින් අපතෙ හරින්න තරම් කාලයක් අපට  තියෙනවද?. මිනිස්සු මේවට මොනවද කියන්නෙ කියලා නිකම් හිතලා බලපල්ලා. මාවෝ ගේ ලේකම්, ශරීර ආරක්ෂකයයි කාඞ් සෙල්ලමට ගිහින් එකිනෙකා ගහ මරාගන්නවා, අඬනවා, කෑ ගහනවා. නතර කරන්න කියාපුවාම නතර කරන්නෙ නෑ. මේක මහ විකාරයක් කියලා මිනිස්සු කියන්නෙ නැද්ද? ලැජ්ජා නැද්ද?.” අනතුරුව මාවෝ යටි තොල සපාගෙන ඔහුගේ අත ඉහළට ඔසවා හිස් අවකාශය මැදින් ඉරක් අඳින්නාක් සේ අත පහළට දමා මෙසේ කීවේය. “තමුසෙල දෙන්නට රණ්ඩු නොවී ඉන්න බැරි නම් අද ඉඳලා එක මේසෙ කාඞ් සෙල්ම් කිරීම තහනම්. ඒ වෙනුවට පොතක් පතක් කියවනවලා.”


ඒ සමග කාඞ් සෙල්ලමේ ජියැන්ගේ අනිවාර්ය පාර්ශවකරුවූ මගේ භූමිකාව ඉන් අවසන් විය.


ආරියනන්ද දොඹගහවත්ත